හොඳ නරක තේරුම් කරන්න බැරි වෙළෙඳ සමා­ජ­යක නිවේ­ද­ක­යාට විත­රක් බැනලා වැඩක් නෑ | සිළුමිණ

හොඳ නරක තේරුම් කරන්න බැරි වෙළෙඳ සමා­ජ­යක නිවේ­ද­ක­යාට විත­රක් බැනලා වැඩක් නෑ

 

 

මුදල මූලික කරගත් ධනවාදී සමාජ ආර්ථික රටාවක ගුවන් විදුලි සංස්කෘතිය නොමග යමින් පැවති යුගයක දී සිත එෆ්. එම්. ගුවන් විදුලියේ සිත්තම් රෑ වැඩසටහන ඔස්සේ සුභාවිත ගීතය හා සාහිත්‍ය රසය ශ්‍රාවක මනසෙහි අවදි කරන්නට සමත් වූ වජිර ජයවර්ධන දැන් වී එෆ්. එම්. ගුවන් විදුලිය ඔස්සේ මී බැඳි කළුවර ගෙන එන්නේ ය. ජාතික රූපවාහිනිය හා ජාතික තරුණ සේවා සභාව එක් ව දීප ව්‍යාප්ත ව පැවැත්වූ තුරුණු ශක්ති නිවේදක තරගාවලියෙන් සමාජගත වූ වජිර පියෝ ටීවී මඟින් විකාශය කෙරෙන චරණ රූපවාහිනී නාළිකාවේ වැඩසටහන් කළමනාකරු ද වේ.

 

ඔබගේ වැඩි ඇල්ම ගුවන් විදුලියට ද රූපවාහිනියට ද?

ඒක හරියටම බෙදලා උත්තර දෙන්න බැරිතරම් ඒ දෙකටම මට ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල මම වී එෆ්. එම්. ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රාවකයන් වෙත ගෙන එන මී බැඳි කළුවර වැඩසටහනටත්, චරණ රූපවාහිනිය ඔස්සේ ගෙන එන කවි දහය ගී දහය යි වැඩසටහනටත් එකවගේ ගොඩාක් ප්‍රතිචාර ලැබෙනවා.

 

ගුවන් විදුලි හා රූපවාහිනී නිවේදන කාර්යයේ ඔබගේ වෙනස කෙබඳු ද?

මුලින්ම තුරුණු ශක්ති පළමු වටයෙන් පස්සේ මම කෙළින් ම ආවෙ ගුවන් විදුලියට යි. රූපවාහිනියෙ බැඳීමත් එක්ක ගුවන් විදුලිය මැදදී අතහැරුණා. ගුවන්විදුලි නිවේදකයා එක්ක ශ්‍රාවකයෝ බැඳෙන්නේ කටහඬ එක්කයි. මා තුළ ගුවන් විදුලි නිවේදකයෙක් සිටින බව මම හඳුනාගෙන සිටියා. ගුවන් විදුලි මාධ්‍ය ඇතුළෙ නිවේදකයාට ලොකු ඉඩක් තියෙනවා. රූපවාහිනී වැඩසටහනක නිෂ්පාදනයට වඩා ගුවන් විදුලි වැඩසටහනක් නිෂ්පාදනය කිරීම පහසුයි.

 

මී බැඳි කළුවර නිෂ්පාදනය පහසු ද?

ඇත්තට ම ඒක එතරම් ම පහසු නැහැ. එක දවසක වැඩසටහනක් සැලසුම් කරන්න මට පැය එකහමාරක් දෙකක් විතර ගත වෙනවා. සතියේ දවස් පහේ ම රෑ 7 ගුවන් කාලය මම මේ සඳහා යොදා ගෙන තියෙනවා. පොතපතෙහි සැඟවුණු දේ අපි පුංචි කාලේ ගුවන් විදුලියෙන් රසවිඳපු හා පසුකාලීන ව ඇසුණු සුභාවිත ගීතය සමඟ සුසංයෝග කර ඉදිරිපත් කිරීමක් තමයි මම මෙහිදී සිදු කරන්නේ.

 

ඔබ සාමාන්‍යයෙන් නිතර පොත් කියවන්නෙක් ද?

මගේ කියවීමට හසු වන ඕනෑ ම දෙයක් සුභාවිත ගීතයට බද්ධ කර ගැනීම මෙහිදී මගේ විශේෂත්වය යි. මම උසස් පෙළ ගණිතය අංශයෙන් කළ නිසා සාහිත්‍ය පොත පත මට එතරම් හුරු නැහැ. නමුත් තුරුණු ශක්ති තරගාවලියේ අනෙකුත් බොහෝ තරගකරුවන් සාහිත්‍ය පොතපත පරිශීලනය කරන අය බව මට හැඟුණා. ඒ අනුව මගේ හිඩස පුරවා ගැනීම සඳහා පොතපත කියවන්න ගත්තා. ඊට පස්සෙ ඒවායෙහි රස හඳුනා ගනිද්දි ඒ කෙරෙහි ආශක්ත වුණා. මී බැඳි කළුවරට ඒ කිය­ැවීම ලොකු අත්වැලක් වුණා. ජයනි අලුත්ගේ මේ සඳහා නව හැඩයක් එකතු කළා.

 

කවි 10ට ගී දහයක් වැඩසටහනෙත් කවි සහ පොත් ගැන නේද වැඩිපුර කතා වෙන්නේ?

ඔව්. ඒකෙ තියෙන්නෙ කවි සහ ගීත යි. අපේ පැරණිත ම කලා මාධ්‍යය කවිය යි. අපේ කවියට සාම්ප්‍රදායික හැඩයක් ඒ වැඩසටහනෙන් ලැබුණා. අද අපි කවි දකින්නේ පත්තරවල කවි පිටුවල විතරයි. කවියට දිරිගැන්වීම අඩුවුණා. රූපවාහිනියේ නම් කවියට ඉඩක් ඇත්තේම නැති තරම්. ගුවන් විදුලියෙන් ගීත වැඩසටහන් රූපවාහිනියට ආව නමුත් කවියට මඟක් තිබුණෙ නැහැ. මේ වැඩසටහන හරහා චරණ මාධ්‍ය කණ්ඩායම තමයි ඒ සඳහා මඟ විවර කළේ.

 

 

ලිවිසැරි ප්‍රේමයත් සාහිත්‍යය මතු කෙරෙන සංවාදාත්මක වැඩසටහනක් නේද?

පුවත්පත්වල තමයි සාහිත්‍ය මතු කෙරෙන සංවාද තිබුණෙ. සාහිත්‍යාත්මක මාතෘකාවලට වැඩි ඉඩක් පුවත්පත්වලින් ලැබුණා. මේ වැඩසටහනේදී හැංගුණ කලාවන්ට ප්‍රබෝධයක් ඇති වුණා. අනුරාධපුර සාහිත්‍යයේ සිට නූතනය දක්වා කියවා ගෙන එන්න පුළුවන් පසුබිමක් ආයෙමත් මේ වැඩසටහන හරහා ඇතිවෙලා තියෙනවා.

 

ඔබේ ජීවිතයත් කවියක් තරම් සුන්දර ද?

මම ඉපදුණේ බෙලිඅත්ත ග්‍රාමයේ යි. ඉගෙන ගත්තේ වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයේ. මම ගුවන් විදුලියට එන්න පටන් ගත්තට පස්සේ පැය හයක් බෙලිඅත්තේ ඉඳලා කොළඹ එනවා. අපේ පාසලට වසර අසූවක් වුණත් මං එනකම් මාධ්‍යවේදියෙක් කියලා කියන්න පුළුවන් කෙනෙක් මට හමු වුණේ නැහැ. පාසලේදී අපේ ගම් පළාත්වලින් චරිත බිහිවෙලා තියෙනවා. චන්ද්‍රරත්න මානවසිංහ බෙලිඅත්තෙන් බිහි වුණු කෙනෙක් වුණත් මගේ දශකයේ මට පේන මානේ මට උදවුවක් ගන්න පුළුවන් මේ ක්ෂේත්‍රයේ කවුරුවත් ගමේ හිටියේ නැහැ.

 

අලුත් නිවේදක පරපුර ගැන කරන අවතක්සේරු

කිරීම්වලට වගකිව යුත්තේ කවුද?

අලුත් නිවේදක පරම්පරාවට දොස් කියන්න බැහැ. මාධ්‍ය හිමිකාරීත්වය විසින් තමයි මාධ්‍යයට දර්ශනය හදන්නේ. මුදල සියල්ලට ම පදනම් වුණා ම ඕනෑ ම දෙයක් කරලා ලැබෙන මුදලින් නම් සාර්ථක අසාර්ථක බව මනින්නේ; ඒ සල්ලි ගේන්නේ කොහෙන්ද කොහොමද කියලා මාධ්‍ය හිමිකාරත්වය ට අවශ්‍යතාවක් නෑ. නමුත් සල්ලි හොයද්දි සදාචාරාත්මකව සල්ලි හොයන්න කියලා හිමිකාරිත්වය කියනවා නම් ඒ දර්ශනය ඊට වඩා වෙනස් වෙනවා. වෙළෙඳපොළ ඇතුළෙ හොඳ නරක තේරුම් කරන්න බැරි වෙළෙඳ සමාජයක නිවේදකයාට විතරක් බැණලා වැඩක් නෑ. මතුපිටින් පේන්නේ ඉදිරිපත් කරන කෙනා විතරයි. එයා කරන්නේ රැකියාවක්. හැමදාම සම්ප්‍රදායෙම ඉන්නත් බැහැ. අලුත් බව හොයන අතරේ ම වැඩසටහනක බලන් ඉන්න දෙයක් තියෙන්නත් ඕනේ. ලයිට් දාලා ලස්සන විෂුවල් එකක් හදන ගමන් ඒකෙ අන්තර්ගතය ගැනත් හිතුවොත් හැමදාම ප්‍රේක්ෂකයො ඉන්නවා. එහෙම නොවුණොත් පිපිලා පරවෙලා පැවැත්ම නැති වෙලා යනවා.

Comments