වෙනස් මාතෘකා ඔස්සේ කතා ලියන්න මම වඩාත් කැමතියි | සිළුමිණ

වෙනස් මාතෘකා ඔස්සේ කතා ලියන්න මම වඩාත් කැමතියි

කුඩා වියේ සිටම ලේඛන කලාවට ඇලුම් කළ පවනි උමයංගනා සිය පළමු කෘතිය වූ ´දඟකාර හා පැංචා´ ළමා කතාව ප්‍රකාශයට පත්කරන්නේ දස හැවිරිදි දැරියක්ව සිටියදීය. පාසල් වියේදී සිය කුසලතාව වඩාත් පෝෂණය කරගත් ඇය සාමාන්‍ය පෙළ ඉගෙනුම ලබමින් සිටියදී ´වස්ගම කැලේ වික්‍රමය´ නම් යොවුන් නවකතාව ප්‍රකාශයට පත් කළාය.

 

පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව´ අපි අඬන්නෙ නෑ කෘතිය ප්‍රකාශයට පත්කරමින් නවකතා ක්ෂේත්‍රයට පිවිසි පවනි උමයංගනා, මේ වන විට කෘති 17ක් ප්‍රකාශයට පත්කර ඇත.

විවිධ තේමාවන් යටතේ මනා අධ්‍යයනයකින් පසු නවකතා ලිවීමට වඩාත් කැමත්තක් දක්වන යොවුන් ලේඛිකාවක වන පවනි උමයංගනා, කලක් මාධ්‍යවේදිනියක සහ නිර්මාණාත්මක පිටපත් රචකයකු ලෙසද කටයුතු කළාය. මේ වන විට ඇය ´පවන ක්‍රියේෂන්ස්´ නමින් ප්‍රකාශන ආයතනයක් සහ ´පවන´ නමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්නීය.

ප්‍රවීණ ලේඛක සහ මාධ්‍යවේදී දෙපළක් වන ශාන්ත කුමාර විතාන සහ චන්දි කොඩිකාර වන සිය මවුපියන්ගෙන් සහ සැමියාගෙන් ලේඛන කටයුතු සඳහා ලැබෙන නොමඳ සහයෝගය පිළිබඳව පවනි උමයංගනා කෘතවේදී සිහිකළාය.

 

 

1. මම කැමතිම නවකතාව සහ එය ලිවීමට මුල් වූ හේතුව

 

මේ දක්වා ලියූ නවකතා අතරින් නවකතා දෙකකට මම විශේෂයෙන් කැමතියි. ඒ නිසාම ඒ නවකතා දෙකෙන් එකක් නම් කරන්නත් ගොඩක් අපහසුයි. ඒ ´මන්දෝදරී´ සහ ´සෙනොරීටා´ නවකතා ද්විත්වයයි. ´මන්දෝදරී´ නවකතාවට පදනම් වෙන්නේ රාවණා චරිතයයි. රාවණා කියන්නේ මිත්‍යාවක් කියලා සමහරු විශ්වාස කරද්දී ඇතැම් අය විශ්වාස කරන්නේ එය සත්‍යයක් බවයි. මම ඉන්නෙත් රාවණා සත්‍යයක් කියන අදහසින්. රාවණා සම්බන්ධ පොතපත, ලිපි කියවද්දී සහ වැඩසටහන් නරඹද්දී මම දුටු කරුණක් තමයි ඔහුගේ බිසව මන්දෝදරී ගැන සඳහන් වෙලා තිබූ ප්‍රමාණය අඩු බව. ඒ නිසාම මට හිතුණා රාවණාගේත් මන්දෝදරීගේත් ආදර කතාව අකුරු කළ යුතුයි කියා. ´මන්දෝදරී´ නවකතාව එහි ප්‍රතිඵලයයි. ´සෙනොරීටා´ කියන්නේ ඉංග්‍රීසි ගායකයකු වෙන ෂෝන් මෙන්ඩිස්ගේ සෙනොරීටා ගීතය අහද්දී හිතේ ඇදුණු කතාවක්.

 

 

2. ඒ නවකතාවේ මා වඩාත්ම සිත්ගත් සහ සංවේදී වූ අවස්ථා

 

´මන්දෝදරී´ නවකතාව පුරාවටම තියෙන්නේ මගේ සිත්ගත් අවස්ථා වගේම මනා අධ්‍යයනයකින් යුතුව සොයාගත් කරුණු.

ඒ නිසා ඒ පොතේ සියලු අවස්ථා මට විශේෂයි. ඒ අතරින් මගේ හිතේ තදින්ම තැන්පත් වෙලා තියෙන්නේ සීතා නිසා තමන්ගේ පුතාගේ මරණය සහ ලංකාවට සිදුවූ විනාශය දෙස රාවණාට බලාගෙන සිටීමට සිදුවූ අවස්ථාව. ඒ අවස්ථාවේ ඔහුගේ සිතිවිලි ඉතාම සංවේදීයි. ඒ අවස්ථාව අකුරු කරද්දි මමත් ගොඩක් සංවේදී වුණා. ´සෙනොරීටා´ නවකතාව ගැන කියනවා නම් ආරම්භයේදීම එහි ප්‍රධාන චරිතය වන රනුල හා ඔහුගේ බිරිය අතර ගැටුමක් ඇතිවෙනවා. මුළු කතාවම දිව යන්නේ ඒ ගැටීමත් සමඟයි. ඒ නිසා පොත පුරාවටම තිබෙන ඒ සිදුවීම් මගේ මතකයේ රැඳී තිබෙනවා.

3. මා වඩාත්ම සංවේදී වූ පාඨක ප්‍රතිචාරය

 

ලැබෙන හැම පාඨක ප්‍රතිචාරයක් ගැනම මම ගොඩක් සංවේදී වෙනවා. ඊට හේතුව ඒ ප්‍රතිචාර මතයි අපේ කතා ගොඩනැඟීමේ ශක්තිය ඇතිවෙන්නේ. තව තවත් ලියන්න අපට ආශාවක්, උනන්දුවක් ඇති කරන්නේ. ඒ නිසාම ලැබෙන හැම පාඨක ප්‍රතිචාරයක්ම මට එක සමානව වටිනවා. ඒවාට ස්තුතිවන්ත වෙනවා.

එවැනි පාඨක ප්‍රතිචාර අතරින් මම නිදහස් මාධ්‍යවේදිනියක් විදියට කටයුතු කරද්දි පුවත්පතක පළවූ මගේ ලිපි පෙළකට ලැබුණු පාඨක ප්‍රතිචාරයක් මට ගොඩක් විශේෂයි. ඒ ලිපි පෙළ කියවපු මහත්මයෙක් ඒ ලිපි පෙළ අගය කරලා ලිපි එව්වා. ඔහු කිසියම් ආබාධිත තත්ත්වයකින් පෙළෙන නිසා අකුරු හරියට ලියන්න බැරි නිසා ටයිප් රයිටරයකින් ටයිප් කරලයි මට ඒ ලිපි එව්වෙ. ඉතින් ඒ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා වගේම හැමදාම මතකයේ තියෙනවා. ඒ වගේම ´සෙනොරීටා ´නවකතාව මුහුණු පොතේ පළ වෙද්දී ලැබුණු ප්‍රතිචාර අමතක කළ නොහැකියි. එය ඉහළම පාඨක ප්‍රතිචාර දිනාගත් නවකතාවක්.

 

4. මගේ ඉදිරි නිර්මාණ සැලසුම්

 

වෙනස් මාතෘකා ඔස්සේ කතා නිර්මාණය කරන්නයි මම නිතරම උත්සාහ කරන්නේ. ඒ නිසා ඉදිරියේදී මෙතෙක් නොලියූ තේමා ඔස්සේ නවකතා එළිදකීවි. මේ වන විට මුහුණු පොතේ කොටස් වශයෙන් පළ කළ කතාවක් මුද්‍රිත පිටු අතරට ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා.

Comments