මොන දේ කළත් ගුරු­ වෘ­ත්තිය අත­හ­රින්නේ නැහැ­ දි­නුක් බෙන්ත­රගේ | සිළුමිණ

මොන දේ කළත් ගුරු­ වෘ­ත්තිය අත­හ­රින්නේ නැහැ­ දි­නුක් බෙන්ත­රගේ

 

 

ජිවිතේ ට පැහැදිලි අරමුණක් තියෙනවා නම් ජිවිතේට එන ඕනෙම අභියෝගයක් ජයගන්න පුළුවන්. දිනුක් බෙන්තරගේ කියන්නෙත් එවන් වූ තාරුණ්‍යයට හොඳ උදාහරණයක්. දිනුක් භූගෝල විද්‍යාව උගන්වන ආදරණීය ගුරුවරයෙක්, මෘදුකාංග ඉංජිනේරුවරයෙක් සහ රංගන ශිල්පියෙක්.

 

මෝස්‌තර නිරූපණ කලාවට එන්නේ කොහොමද?

මගේ ගාව සුරතල් සුනඛයන් ඉන්නවා. මගේ නෑදෑ අයියා කෙනෙක්ගේ යාළුවෙක් සංදේශ් බණ්ඩාර. ඉතින් දවසක් මගේ ගාව ඉන්න සුරතලුන්ගේ ෆොටෝ ගන්න ගමන් මගේ ෆොටෝ ටිකකුත් ගන්නවා. ඒක තමා මගේ කියලා කරපු පළවෙනි ෆොටෝ ෂූට් එක. එතැනින් පස්සේ මට ඒ ගැන ආසාව වැඩි වුණා.

 

මේ වෙද්දී සුරතල් සුනඛයන් කී දෙනෙක් ඉන්නවද?

16ක් ඉන්නවා. American Bully කියන Breed එකෙන් බල්ලෝ 5ක් ඉන්නවා. ලංකාවේ ඉන්න හොඳම bullmastiff ලගෙන් එක්කෙනෙක් ඉන්නේ මං ළඟ තව German Shepherd, Labrador, Shih Tzu, pug වගේ වර්ග ඉන්නවා. ඒ අය එක්ක ඒ ගත කරන කාලය මගේ දින චර්යාවේම කොටසක්.

 

දිනුක්ගේ ජීවතේ හැරවුම් ලක්ෂ්‍යය මොකක් ද?

මගේ ජීවතේ හැරවුම් ලක්ෂ්‍යය දෙකක් තියෙනවා. එකක් විශ්වවිද්‍යාලයේ පළමු වසරේදී ලංකාවේම තියෙන රජයේ විශ්වවිද්‍යාල සියල්ලම එකතුවෙන් තරගයක් සංවිධාන කරනවා කැලණිය විශ්වවිද්‍යාලයෙන්. ඒක ෆැෂන් ෂෝ එකක්. එහිදී කඩවසම්ම තරුණයා සහ රූමත්ම තරුණිය තෝරනවා. විශ්වවිද්‍යාල සියල්ලේම කඩවසම් තරුණයා විදියට පළවෙනියා වෙන්න මට පුළුවන් වුණා. එතැනදී තමා මට ලංකාවේ හොඳම මොඩ්ලින් ඒජන්සි එක තියෙන බ්‍රයන්ව හඳුනා ගන්න ලැබෙන්නේ. එදා පටන් මේ වෙනකම් එයා යටතේ Brian Kerkoven Academy එකේ මෝස්‌තර නිරූපණ ශිල්පය හදාරනවා. විශ්වවිද්‍යාලයේ පළවෙනි අවුරුද්දෙ ඉඳන්ම මොඩ්ලින් කළා. ඒ අතරේ මියුසික් වීඩියෝවල රඟපාන්න අවස්ථාව ලැබුණා.

 

එතකොට රංගනයට එන්නේ

රංගනයට එන එක තමා මගේ ජීවතේ දෙවැනි හැරවුම් ලක්ෂ්‍යය. 2020 දෙරණ අවුරුදු කුමරා තරගයට මම ඉදිරිපත් වෙනවා. කොරෝනා වසංගතය නිසා තරගය පැවැත්වුණේ ඔන්ලයින් ක්‍රමවේදයකට. එතැනදී මට දෙවන ස්ථානය ලැබෙනවා. ඒ හරහා තමා පළවෙනි රංගන අවස්ථාව ලැබෙන්නේ දෙරණ නාළිකාවේ මිහි කියන නාට්‍යයේ ගිම්හාන චරිතය. ඊට පස්සෙත් මට දෙරණ නාළිකාවෙන්ම ආරාධනාවක් ලැබෙනවා රාවණා 3 ට සම්බන්ධ වෙන්න. එහි ප්‍රධාන චරිත අතරින් එකක් තමා මට ලැබිලා තියෙන්නේ එහි රූගත කිරීම් මෑතකදී පටන් ගනීවි. ඊට අමතරවත් තව ආරධනා දෙක තුනක් ලැබිලා තියෙනවා.

 

මේ සියල්ල අතරේ ඔබේ භූගෝල විද්‍යාව උගන්වන ගුරුවරයෙක්

උසස් පෙළ ඉවර වුණ ගමන් මුලින්ම උගන්වන්නේ මගේ හොඳම යාළුවෙක්ගේ මල්ලි කෙනෙක්ට. මොකද මම හරි ආසයි තවත් කෙනෙක්ට උගන්නන්න. ඊට පස්සේ මම ඉන්නේ දෙහිවල වුණාට ලංකාවේ හැම පැත්තකටම වගේ ගිහින් ඉගැන්වුවා. මම මේ හැමදේම කළේ සතුටින්.

 

රංගනය නිසා ගුරුවෘත්තීය නතර වෙයිද?

ගුරු වෘත්තියට මම හරි ආදරෙයි. ඒ නිසා මොන දේ කළත් ගුරුවෘත්තීය අතහරින්නේ නැහැ. ඒ වගේම තමා මගේ හීනයක් තිබ්බා කවදා හරි රංගනශිල්පියෙක් වෙන එක. ඒ නිසා රංගනය නිසා ගුරුවෘත්තියට වත් ගුරුවෘත්තීය නිසා රංගනයටවත් කවදාවත් බාධාවක් වෙන්න මම වැඩ කරන්නේ නැහැ.

 

Comments