බුදු දහම සහ පාලි භාෂාව ලෝ පතළ කිරීමට දායක වූ යාත්‍රාමුල්ලේ ධර්මාරාම හිමියෝ | සිළුමිණ

බුදු දහම සහ පාලි භාෂාව ලෝ පතළ කිරීමට දායක වූ යාත්‍රාමුල්ලේ ධර්මාරාම හිමියෝ

 

සැමරුම් කිත්රැසෙන් මෙවර විමසා බැලෙන්නේ මෙතෙර මතු නොව එතෙරද කිතු ගොස පතළ කළා වූද, ලෝපතළ පඬිවරුනට ගුරු වූද වියත් සිළුමිණි යාත්‍රාමුල්ලේ ධම්මාරාම හිමිපාණන් පිළිබඳවය. පසු ගිය තීරුවෙන් විමසා බැලුණු රොබට් සීසර් චිල්ඩර්ස් පඬිතුමාට මෙන්ම තවත් එබඳුම ජගත් පූජිත පඬිවරයකු වූ රීස් ඩේවිඩ්ස්ටද පාලි භාෂාව ඉගැන්වූවාහු යාත්‍රාමුල්ලේ හිමිපාණෝය. බටහිර සාමාන්‍ය ජනයා පමණක් නොව උගතුන් පවා පෙරදිග ශිෂ්ටාරය මෙන්ම මිනිසුන්ද ම්ලේච්ඡත්වයෙහි ලා සැලකූ කලෙක එගලන්තයෙන් ලංකාවට පැමිණි සිවිල් නිලධාරියකු වූ රීස් ඩේව්ඩ්ස් මෙරටදී පාලි භාෂාව ඉගෙන යුරෝපයේ ප්‍රකට පාලි උගතකු බවට පත් වූ පසු 1894-95 වර්ෂවල බුදු සමය හා තදනුබද්ධ සාහිත්‍යය සම්බන්ධයෙන් ඇමරිකාවේදී පැවැත්වූ හිබර්ට් ‌දේශන මාලාවේදී පෙරදිග ශිෂ්ටාචාරයේ හා බුදු සමයේ වටිනාකම ගැන පවසමින් යාත්‍රාමුල්ලේ ධම්මාරාම හිමියන් ගැන මෙසේ සඳහන් කොට තිබේ.

“කසාවතක් පොරවා ගත් හිස මුඩු කළ ශ්‍රමණයකු කරා පරිවර්තකයකු නොමැතිව එළඹ නිර්වාණය, අර්හත්භාවය පිළිබඳ විමසන කල ඔහුගේ බස පමණක් නොව බෞද්ධ අදහස්ද පිළිබඳව අවබෝධයක් ඇතිව ඔබ කථා කළ යුත්තේ මිනිසෙක් තවත් මිනිසකුට කථා කරන අයුරින් මිස ප්‍රඥාවන්තයකු ම්ලේච්ඡයකුට කථා කරන ආකාරයෙන් නොවේ. බෞද්ධ භික්ෂුව කවරෙකු වුවද ඔබ සැවින්ම ආචාරශීලී විය යුතුය.

එවිට ඔහුද ගෞරවාන්විත ලෙස ආචාරශීලි ලෙස හැසිරීමට වග බලා ගනී. ඔබ නැවුම් අදහස්වලින් සහ විවෘත බවකින් කටයුතු කරන්නේනම් එය ආගන්තුක පරිශ්‍රමයක් වනු ඇත. වරක් මම එවැනි මිනිසෙකු දැන සිටියෙමි. ඔහු සිහින් සිරුරක් ඇති සහ රෝගී පෙනුමෙන් යුතු භික්ෂුවකි. ඔහු මුලින්ම මා වෙත පැමිණෙන විටත් මාරයාගේ හස්තය ඔහු වෙත දිගුව තිබිණ. උන්වහන්සේ සුව කළ නොහැකි වේදනාකාරී ව්‍යාධියකට ගොදුරුව මරණය කරා ළං වෙමින් සිටියහ. උන්වහන්සේ පාලි විශාරදයෙකු බවත් අසනීප තත්ත්වයෙන් සිටින බවත් මම දැන සිටියෙමි. එවැනි තත්ත්වයක සිටිමින් පවා ආගන්තුකයෙකුට ඉගැන්වීම සඳහා සිය ආවාසයෙන් බැහැරට පැමිණීම ගැන මම උන්වහන්සේට කෘතඥ වෙමි. උන්වහන්සේගේ ගිලුණු ඇස්වල අමුතු ආලෝකයක් තිබිණ. පාලි භාෂාව පිළිබඳ ප්‍රශ්න මග හැර බුදු දහම පිළිබඳ ප්‍රශ්න වෙත යොමු වීමට කැමැත්තක් තිබෙනු පෙනිණ. එතුමන්ට සූත්‍රවලට අදාළ සියලුම ගාථා සහ ආචාරධර්ම පිළිබඳ ගැඹුරු දැනුමක් තිබිණ. උන්වහන්සේ ඒ පිළිබඳ කථා කරනු අසා සිටීමට මම ප්‍රිය කළෙමි.

උන්වහන්සේ කෙරෙහි වූ විස්තර කළ නොහැකි ආකාරයේ ආකර්ෂණයත්, සරල ගුණයත්, උසස් මානසිකත්වයත්, මා තුළ මහත් ගෞරවයක් ඇති කළේය. යත්‍රාමුල්ලේ උන්නාන්සේගේ මේ ගුණාංග නිසා එතුමන් පිළිබඳ මට ඇති වූයේ උසස් විචිත්‍රවත් විදර්ශනාවකි. මා නැවත එංගලන්තයට ගිය පසු මියැදෙමින් සිටි බෞද්ධ විශාරදයා පිළිබඳ එවැනිම හැඟීමක් තමා තුළ ද වූ බව චිල්ඩර්ස් මහතා මට පැවසීය. අප දෙදෙනාටම වරදින්නට ඉඩක් නැත. දීර්ඝ කාලයක් පුරා ගෞතම සසුන සහ එහි අනුසස් දැකීමට ඇස් ඇති, ඇසීමට කන් ඇති මිනිසුන් නිර්මාණය කිරීමෙහි ලා යාත්‍රාමුල්ලේ උන්නාන්සේ විසින් ඉටු කරන ලද්දේ මහඟු මෙහෙයකි.”

ලංකාවේ ධර්ම ශාස්ත්‍ර පුනරුදයට දායක වූ පිරිස අතුරින් යාත්‍රාමුල්ලේ හිමියන් පිළිබඳ තොරතුරු හමුවන්නේ ඉතා අල්ප වශයෙනි. පසු ගිය සියවසක පමණ කාලය ඇතුළත ලියවුණු අපදාන අතරේ යාත්‍රාමුල්ලේ හිමියන්ගේ චරිතය හමු වන්නේ අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ගේ සමීපාතීතයේ බෞද්ධාචාර්යයෝ කෘතියෙහි පමණය. සෙසු කෘතිවල යාත්‍රාමුල්ලේ හිමියන් පිළිබඳ සඳහන් වන්නේ නාමමාත්‍රිකවය. යාත්‍රාමුල්ලේ හිමියන්ගේ උපත සිදුව තිබෙන්නේ 1827 වර්ෂයේදී බව අනුමාන වශයෙන් කිව හැකිය. බෙන්තොට ආසන්නයේ පිහිටි යාත්‍රාමුල්ල උන්වහන්සේගේ නිජ ග්‍රාමයයි. පියා කොම්මලබැද්දේ පොලිස් විදානෙ තනතුර දැරූ මලවර ආරච්චිගේ දොන් සිමන්ය. වයස අවුරුදු දාහතර සම්පූර්ණ වන විට දෙමව්පියන් විසින් බෙන්තර වනවාස විහාරාධිපතිව වැඩ විසූ බෙන්තර අත්ථදස්සී හිමියන් වෙත පමුණුවනු ලැබ සසුන්ගත කෙරිණ. ඉගෙනීමට විශේෂ දක්ෂතාවක් දැක්වූ අතර සාමණේර කාලයේදීම වනවාස විද්‍යස්ථානයේ ඉගැන්වීමේ කටයුතුවල යෙදුණු බව පැවසේ.

1851 වර්ෂයේදී යාත්‍රාමුල්ලේ සාමණේරයෝ උපසම්පදාව ලැබූහ. ඒ වන විට උන්වහන්සේ සූවිසි හැවිරිදි වියට එළඹ සිටියහ. මේ කාලය වන විට වනවාස විහාරස්ථ පිරුවෙනේ ආචාරයවරයකු ලෙස යාත්‍රාමුල්ලේ හිමියන්ගේ පාණ්ඩිත්‍යය, විශේෂයෙන් පාලි භාෂාව පිළිබඳ දැනුම බොහෝ සෙයින් ප්‍රසිද්ධියට පත්ව තිබිණ.

ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් පමණක් නොව විදේශවලින් පවා වනවාස පිරිවෙන කරා ශිෂ්‍ය පිරිස් ඇදී ආහ. රීස් ඩේවිඩ්ස් සහ රොබට් සීසර් චිල්ඩර්ස් යන බ්‍රිතාන්‍ය ජාතික සිවිල් නිලධාරීන් දෙදෙනා පාලි භාෂාව හා බුදු දහම ඉගෙන ගත්තේ යාත්‍රාමුල්ලේ හිමියන්ගෙනි. චිල්ඩර්ස් මහතා හා යාත්‍රාමුල්ලේ හිමියන් අතර පැවති මිත්‍රත්වය පිළිබඳ විස්තරයක් 1902 වර්ෂයේ පළවූ ඥානාදර්ශ සඟරාවේ සය වෙන කාණ්ඩයේ සය වෙනි වෙළුමේ දැක්වේ; “චිල්ඩර්ස් මහතා කලක් බෙන්තර තානායමේ නැවතී සිට ගෙන මුන්වහන්සේගෙන් ඉගෙනුම ලබා එංගලන්තයට ගියාට පසුත් නිතර නිතර ලියුම් මාර්ගයෙන් කථාබස් කර ගැනීමෙන් ඉගෙනීම ලැබුවා පමණක් නොව සංස්කෘත පොත්පත් බොහෝ රාශියක් හා ඉංග්‍රීසි පෙත්පත්ද වරින්වර මේ ස්වාමීන් වහන්සේ වෙත ත්‍යාග කර එව්වේය.” රීස් ඩේවිඩ්ස් පඬිවරයා එංගලන්තයට ගොස් පාලි පොත් සමාගම ආරම්භ කිරීමෙන් පසු පාලි භාෂා අධ්‍යයනය ලොව පුරා ප්‍රචලිත වන්නට පටන් ගත් අතර රොබට් සීසර් චිල්ඩර්ස් පඬිවරයාද පාලි භාෂාව ප්‍රචලිත කිරීම සඳහා එබඳුම මෙහෙයක් ඉටු කළේය. ලංකාවේ ඇරඹුණු ධර්ම ශාස්ත්‍ර පුනරුත්ථාන ව්‍යාපාරයේ ආලෝකය ලොව පුරා පතුරුවා හැරීමට මුල් වූ භික්ෂුන් වහන්සේ නමක් ලෙස යාත්‍රාමුල්ලේ හිමියන්ට විශේෂ ස්ථානයක් හිමි විය යුතු වුවද ලංකා සමාජයෙන් උන්වහන්සේට එබඳු පිළිගැනීමක් ලැබුණු බවක් නොපෙනේ.

පාලි භාෂාව පිළිබඳ පැතුරුණු දැනුමක් තිබුණු යාත්‍රාමුල්ලේ හිමියන් පාලි ත්‍රිපිටකයේ සියලු වචන සඳහා සවිස්තර අකාරාදියක් සම්පාදනය කිරීම අරඹා ඒ කටයුතුවල නිරතව සිටින අතරේ ව්‍යාධි තත්ත්වයකට බඳුන් වූ බැවින් ආරම්භ කළ කර්තව්‍යය නිම කිරීමට නොහැකි විය. එසේ වුවද රොබට් සීසර් චිල්ඩර්ස් මහතා පාලි අකාරාදිය සම්පාදනය කිරීමේදී යාත්‍රාමුල්ලේ හිමියන්ගේ උපකාර ලබා ගත් බව ඒ කෘතියෙහි ප්‍රස්තාවනාවෙහි මෙසේ සඳහන් කොට තිබේ; “මේ ප්‍රයත්නයේදී පාඨයක අර්ථ විවරණ සම්බන්ධයෙන් ගැටලු මතු වූ විට මට ලංකාවේ බෞද්ධයන් තිදෙනෙකුගේ ආධාර උපකාර ලැබිණ. යාත්‍රාමුල්ලේ ධම්මාරාම හිමියෝ ඉන් ප්‍රමුඛ වෙති. 1872 ජනවාරි මාසයේ සිදු වූ උන්වහන්සේගේ අකල් මරණය නිසා බුදු සසුන සතුව පැවති දීප්තිමත් ආභරණයක් අහිමි විය”.

යාත්‍රාමුල්ලේ ධම්මාරාම හිමියන්ගේ ජීවිත කාලය අවුරුදු හතළිස් පහකට පමණ සීමා වුවද රෝගී තත්ත්වයක සිටිමින් පවා ධර්ම ශාස්ත්‍ර පුනර්ජීවනය සඳහා උන්වහන්සේගෙන් ඉටු වූ මහඟු සේවය ජීවිත කාලයට සාපේක්ෂව අති විශාලය.

Comments