කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

අහස සිඹින කළු දුමා­රය

සිතේ දුර සිවු රිය­නක තබා
දෑස අග කඳු­ළක් වියා
ජීවිතේ මන­ර­ම්දැයි කියා
ඔවුන් දුර ඈතක ගියා
ලෝක­යම අද ගිනි අරන්...

මෑත සෙයි­ලමෙ රජ මැදුරූ
ඈත ලන්දේ පැලක අඳුරූ
තබා වෙන­සක් නැතුව හැම­තැන
දැවෙයි ලෝකය එකම සෑයක
තවත් ඇයි මේ කෝළම් බහුරූ...

පොතක පිටු­වක ආගමේ දහ­මක
රැඳුණු මිනි­සත් කම් සොයා ගෙන
දුවන සිත් ඇති වෙන තුරා­වට
ගැල­වු­මක් අපි කෙසේ සොයමු ද
මිනි­සුනේ ඇයි තව පමා...

කළු දුමා­රය අහස පුරා
හැම ගෙද­ර­කම කඳුළු උතුරා
අබ ඇටක් අපි කෙසේ සොය­මුද
විනේ නොකෙටු එකම පැල­කින්
ඉදින් අර­ඹයි අපේ හතුරා

චම්මින්ද වෙල­ගෙ­දර

-------------------

නොමළ ප්‍රේමය

හිතේ ගිනි ඇවි­ළිලා
ලසෝ තැවු­ලින් පෙළි
කුසේ මහ මෙර දරා
හඬා විඳ­ව­මින් ජිවිතේ...

නොමළ ගෙය­කින්
සොයො­න්නට අබ මිටක්
යන­වාද නුඹ තනි­යම
පණ දෙන්න නුඹේ ප්‍රේම­යට...

කුසේ මොරන තරු කැකුළ හට
තනිව මම වෙමි හිරු සදු
හෙළමි කඳුළු නොන­ව­තින ලෙස
ඵත් නොයමි හැරදා සියල්ල
මහ පොළො­වට....

සදා සිතින් බැදි­වුන් හින්දා
මහ යෝධ පවු­රක් වෙයි සිතු හින්දා
කිසි­වක් හිතා ගන්නට ඉඩ නොති­යාම
හැර­ගිය නිසයි ශෝකය මට...

සකූ මනො­දර

------------------

සුවඳ අතී­තය

වේවැල් කෝටු නාරං සිය­ඹලා අතූ
නැතු­වත් එදා මෙන් අපෙ යහ­පත ම පැතූ
පෙර ලෙස හමු­වු­ණත් නූණත් මෙයින් මතූ
හද තක්ස­ලාවේ ලියැ­වෙයි ඔබේ තතූ

උග­ත­මනා ශිල්ප­ය­මැයි මතු රැකෙනා
ඔබ කී වදන් රැව් පිළි­රැව් දී ඇසුනා
හිණි­මඟ නගිද්දී පාමුල ඔබ සිටියා
රහ­සින් හෙළූ කඳු­ළක උණු­සුම දැනුණා
.
ඉරි කොටු තිත් කොමා පත්ඉරු අතර රැඳෙයි
“පත අට එකට සිඳ“ දුන් ජීවි­තය රහයි
හිස මත තැබූ සුරතේ බර තවම දැනෙයි
“දුක සැප කුමන්දා“ විමසූ නිරිඳු ඔබයි

ඒ. ඩී. එස්. ඉන්ද්‍රාණි

-----------------

අකු­රට යන අල්ති­නායි

අශ්ව­ගාල ඉස්කෝලේ මව් ඇකයේ නැළ­වීලා
දුප්ප­ත්කම පෙර­න්ගාලා කඳුළු බින්දු අකුරු කළා
සර­සවි බිම නැණ වඩන්න අයි­ලයේ මායිම පැනලා
ගුරු තරු­වෙන් සමු­ග­නිද්දි ඇඬුවා ඇය කඳුළු සලා

බොරලු ඇනෙන දෙපා රිදුම් මිහි­මව සිත පෑරිලා
පොප්ලර් ගස්ගාව ඇගේ කඳුළු බින්දු සැඟ­වීලා
ආදී මිනිසා පොළව දිනුවා අහසේ තරු රටා දැකලා
ස්ටෙප්ස් තණ ඉහළ අහස දිණුවේ නැණ පියා­සලා

කන්ද උඩින් බැස ඇවි­දින් තුරු වදුලේ නැළ­වෙන සඳ
නැළ­විලි ගී රාව උඩින් නෙත්විල මිණි දිලි­සු­නාද
කොක්කු ඇවිත් පාන්ද­රින් සිත් අහ­සට ඉඟිළු­නාද
ඔටුන්න හිස දා එන මඟ අම්මා ළඟ ඉන්න­වාද

නිල්මිණි කුමාරි
 

--------------------

නම නොදත් විසල් තුරු හිස

දහ­සක් හුදී ජන යනෙන මඟ
කාටත් එක ලෙස ම අතු­ප­තර විහි­දන
සෙව­ණත්, සිසි­ල­සත් එක සේ බෙදන
නම නොදත් විසල් තුරු හිස නුඹ...

ලිහන මල් මුහුළ දිග හළ
හොවා තුරු බඳ පුරා පෙමින් උණු­හු­මට
දිගතු සිප වැලඳ සන­හා­ලන
බඹර ගුම් නද මිහිර දිගු විය....

තුරු අත් දිගැර අඬ ගසන
සරු මියුරු ඵල බුදි­නු­වස් මිතුරු පිරි­වර
සැලු විය­පත් පතින් බිම පොහොණි කර වඩන
තිර මුල් රැසින් නැඟි තෙදැති සකි සඳ...

ගෙවා ලූ කල් නිමා­වන ලකුණු දැක දැන
ඇසු දුටු හැම මුදා­හැර සසල සුළ­ඟට
පටු මාව­තින් නික්ම පුළුල් මාව­තට ඉඩැර
හිස නමා­ගෙන නෙත් පියා­ගත්
නම නොදත් විසල් තුරු හිස නුඹ...

චාමලී සම­න්තිකා නව­රත්න

------------------

මගෙ දුක

නිසල නිස­සල නුවර නිහඬ වැව් තීරයේ
දළදා මැදුර ළඟ පාළු වූ වීදියේ
සිරි­පොද වැස්ස යට පිය­මැ­නපු වංගියේ
විඳි මත­ක­යන් පමණි ඔබට පිදු ප්‍රේමයේ...
මුදු සිනා පිරි මුවින් දෙඩුව බස් මිහි­රියේ
සිහි­නිඟ උකු­ල්තල දෑතෙ සුව හැඳි­නියේ
නෙත­ට­නෙත මුණ­ගැසී පෙම්හැ­ඟුම් මිමි­ණියේ
ඔබ නොමැත මා පමණි වැවද දුක හැඳි­ණියේ...
හන්තාන කඳු­මුඳුන ඈත කඳු පේළියේ
නොය­න්නෙමි අද­ත්මම නෙත­ගැ­ටෙන මානයේ
මැදක තනි­කර දමා නුඹ උන්නු හීනයේ
වියෝ දුක ඉති­රි­කර සබඳ ඔබ ඇයි ගියේ...

මයුරි කොඩි­කාර

----------------

 

තනි­කම

රටා ඇඳ­ගෙන
රාශි­යක
ලැගුම් ගත් තරු අතර
තනි
තරු­වක්
හැම රෑම
කවුලු අස
රෑ අහසේ
මා
ඇසග
ලැගුම් ගෙන

වජිර කුමා­ර­සිංහ

-------------------

රාජ්‍ය සේව­කයා

උපා­ධි­යක් කර­ම­තට ගෙන
සේවය කර­න්නට රජ­යට
බලා සිටින දහ­සක් දෙන
අත­රින් කෙනෙ­කුද ඔබ?...

පෞද්ග­ලික සේවක වර­දාන
හිමි නැත රාජ්‍ය සේව­යට
මහන්සි වී වැඩ කළද
නැත වැඩි වුණේ පඩිය...

ගන්නට ගිය විට බැංකු ණය
මැනේ­ජර් ගෙන පඩි පත අතට
බැලු විට මුහුණ දෙස
ඉර­ණම එයයි රාජ්‍ය සේවක...

විඳ­ගෙන දුක් කම්ක­ටොලු එම
කළද සේවය රජ­යට
වන්නද තෘප්ති­මත් කෙළෙස
රාජ්‍ය සේව­කයා එක­තැන!

ඉන්ද්‍ර­ජිත් කරු­ණා­රත්න

----------------------

ඇය අම්මා ය

පුපු­ර­මින් මුහුණ,
කෝටු­ව­කින් පහ­රක් ගැසූ ඇය...
ඉස්කෝලෙ යන්න බැහැයි කියූ මට,
හොටු කඳුළු පෙර­මින්..

හඬ හඬා සිටි මා,
දමා ගියා සෝදන්න කියා මුහුණ ...
නාන කාම­ර­යට ගිය විගස...
දුටුවා ඇගේ කඳුළු පිරි දෙනෙත.

දූන්යා විජේ­සිරි

---------------------------

නුඹ­ටත් හැකිය පුත

මල්ව­ලින් අර­ගෙ­නයි පාට හත දේදුන්නෙ ගෑවේ
කවු­රුන්ද මල්ව­ලට දේදුන්න යැයි අත­පෑවේ
සුර­ඟන කතා මිහිරී යදි­න්නන් කිරු­ළුලා රජවේ
දුක සතුට හින්දයි ජීවි­තය පන්න­රය ලෑවේ

සිසි­ර­යක් මඟ තනයි අරන් එන්නට වසන්තේ
සුළං ඔබ­මොබ හමයි සුවඳ අර­ගෙන දිගන්තේ
වාලුකා කත­ර­කත් කොතන හරි දිය බිඳු ඇතේ
වැටුණ රිද­වුණ තැන් තමා පාඩම් වුණේ ජීවිතේ

එකයි දෙන්නයි කරුණා කළේ සංසාරේ
බිඳුණු සම­නල තටුය බිම වැටී පාරේ
නුඹ­ටත් හැකිය පුත නගි­න්නට එන වාරේ
ඉව­ස­පන් ඒත් තාමත් සිරිපා අවාරේ

හර්ෂනී මහත්මා ආරච්චි

----------------------

ප්‍රේමය

පුංචිම දේකට
තරහ ගිහින් නුඹ
මා රිද­ව­න්නට
පිටුපා ගිය දින
සුන්දර හැඩ­රුව
දුටුවා නදි­යක
මා පසු­ක­ර­ගෙන
හිමීට බැස­යන...

නිවුනා හද­වත
සැලුණා නෙතු­පිය
නැඟුණා කඳු­ළක්
සුසු­මක කෙළ­වර
ආයෙත් කිසිදා
නොබි­ඳමි ඔය සිත
නුඹ මගෙ හුර­තල්
ගංගා කොම­ළිය...

අයිවෝ විරන්ත ප්‍රනාන්දු

-------------------

ඈ සොයමි මම තවම

පැහැ­දිලි නැති අහ­සක
ඉද­හිට වැටෙන හිරි පොදක
හඹා යන මඳ පව­නක
සොයමි මම ඇය නිබ­ඳ­වම...

රබ­රෝ­සියා මල් අතර
කිචි කිචි­බි­චියෙ කොවු­ලන් අතර
ගලා යන දොළ අතර
නෑ තවත් දුටුවේ ඒ රුව...

කන්ජි­පු­රම් ඔස­රියේ
බෝරිච්ච් අත් හැඩයේ
රැලි පොට අතරේ
සැඟ­වුණේ කෙළ­ස­කද...

සුමුදු රත් දෙතොල්
උණු­සු­මින් පිරුණු
දිගු අතැ­ඟිලි අතර දැව­ටෙ­න්නට
අනේ මට ඇය සොයා දෙන්න

ජගත් දම්ප­හ­ළගේ

-------------------

 

කොරෝනා කාලේ

අවි­නි­ශ්චිත කල්ප­නා­වක
ගිලී ඇත උදෑ­සන
ලෝක­යම නැව­තිච්ච විරා­මෙක
නගයි තත්පර කට්ට මැසි­විල්ල ...
බ්‍රොයි­ලර් කුකුළු ජීවි­තය
අළු­ගෝසු කෝවිඩ්ට අව­න­තය ...

ගොලු­බෙ­ල්ලන්ද සීරු­වට මාරු වෙන
ඇත අලස නින්දක මහ පාර
බත්ප­තට හඬන පොඩි එකෙකු
බිඳී ඉද­හි­ටක නිහැ­ඬිය...

දැනෙන විසා­ලාවේ භීතිය
බිඳීයි පොඩි උන්ගේ කිචි බිචිය
ඇඳ අම්මගෙ පරණ සාරිය
දෝනි ටීචර්ය ඇගෙ නංගීට
නිමා­වක් නැති පුදුම පාසැ­ලක...

පුංචි ඇස් මාන­යෙය ලෝක­යම...
ලබාදී පොඩි උන්ට සින­හව
කියා­දෙයි වෛර­සය...ලොකු­උන්ට
උගත මුත් මෙතෙක් කල් කොතැන හෝ...
“වැර­දිච්ච පාඩ­මකි ජීවි­තය ...“

මංජුල ප්‍රභාත් හෙට්ටි­ආ­රච්චි

----------------------

අත­හැ­රීම

මට ඉන්නා හර­ක­බාන
තව දන්නෑ ඉන්න ගාන
ඉඩම් කඩම් ­අ­තන මෙතන
කාසි­ප­න­ම් ­හරි හරි­යට...

ගන්න ඕනැ අක්ක­රේම
සිතුණා හැම තත්ප­රේම
නිල­තල බල ඕනෑ තරම
තිබුණා මට එයට වරම...

මුදල් මිසක් වෙන මොන­වද
සතුටු වෙන්න හැකි මෙව­ලම
එදා සිතුවෙ මං එහෙ­මයි
මඟ හැරුණේ ගුණ දහ­මයි...

බුදුන් දහ­ම්‍ ­ස­ඟුන් සරණ
යන්න තාම නැහැ අස­රණ
කියා සිතුණ කාලෙ තරුණ
මතක් වුණේ නැහැ තිස­රණ...

හාමි­නේද මට ඉහ­ළයි
හාමි­නේට මා ඉහ­ළයි
දූ දරු­වන් මට ළෙන්ගතු
දකින්න බැරි­වෙයි මින්මතු...

මර­ණයෙ ඇති චෝදනා
කියන්නෙ මං ඉතින් කොහොම
මට දැනෙ­නව අනේ මෙහෙම
එයම තමයි අත­හැ­රීම...

සනත් කීර්ති කුමාර

-------------------

ආදර ප්‍රශ්නය

ඈත අහ­සක පාළු තරු­වක්
අමා­වක දා අඳුරේ ගිලී
සඳ නොමැති සෝ දුකින්
නිවෙන දැල්වෙන හැටි
ඔබට පෙනෙ­නවා ද...

අවා­රයේ පිපි මල් කැකු­ලක්
යළි පිපෙ­න්නට හුස්ම සොයා
තුරු ගසක් මුල වැටී
පණ අදින හඬ
ඔබට ඇසෙ­නවා ද....

හීන ඇතිරූ මල් පාර
කඳු­ළෙන් ම තෙත් වී නොදැ­නිම
සිත්තම් කළ සිතු­වමේ පාට
බොඳ වෙලා යන හැටි
ඔබට පෙනෙ­නවා ද....

වසන්ත මග­හැ­රෙන දව­සක
තනිව විඳි­මින් ඔබේ ඇසුර
සොඳුරු මත­ක­යක් වී ඔබ
ඉරි­තැ­ලුණු හද­වත මත
සට­හ­නක් තබා යන­වද...

තරුෂි ප්‍රනාන්දු

-------------------

 

තනිවූ අම්මා

කුසට නුඹලා එද්දි එක දෙක
සිතුවෙ මම ලොව දිනුව කිය­ලයි
හය දෙනා පොඩි පැටව් සංදියෙ
දැඟ­ලුවේ අපි ලොකු කර­න්නයි....
මහ උන්දැ කළු ගලුත් එක්කයි
පොර බැදුවෙ මුළු දවස තිස්සෙයි
හති දමන් බඩු මලුත් උස්සන්
රෑ වෙන්න පෙර දිව්වෙ ඒකයි...
රජුන් රැජි­නන් කර­න්නට වෙර
අපි දෙන්න දුක් වින්ඳෙ ඒකයි
අපේ වාරුව නැතුව උඹලා
නැගි­ටි­නව දැක සිනා සෙන්නයි...
කුසට හරි­යට වේල නැතු­වට
දව­ස­ටම දංකුඩේ විත­රයි
මදි හරිය කුස පිරෙ­න්නට මම
වතුර බිව්වා සත්ත ඒකයි...
හීන එක එක බිඳී වැටුනේ
උඹල ලොකු වී යන්න යාමයි
වාරු නැති ගත දැන් අසන්නේ
අනේ උඹලා ලොකු වුණේ ඇයි....

කාන්ති කණ්ඩම්බි

-----------------

 

මගේ පණ

මදු­රු­වෙක් නොදැ­නීම මැරු­ණට
මුර කුටියේ තිබු­ණේම ප්‍රේමය
සඳ එළිය මඳ සුළඟ හැරු­ණම
සොඳු­රි­යනි තිබුණේ මත­කය...

පුංචි දූ අත වඩා­ගෙන නුඹ
දෙපා වැන්දා කඳුළු ඇස් අග
බෑග් පවු තද කරන් ඇග­ටම
දෙපා තිබ්බා හැරන් නෑ මම...

හවස තේ එක හදා­ගෙන නුඹ
පුරු­ද්දට හෙට ගෙනේ­විද එය
පපුව රිද්දන විටදි හිත­පන්
කොහේ හිටි­යත් නුඹේ පණයි මම...

ගෙදර එන්නට දවස් ගැන ගැන
නුඹයි මං ගැන හෙව්වෙ නිත­රම
මැණික අහ­පන් හද­ව­තට ගෙන
කොහේ හිටි­යත් මගෙ පණයි නුඹ

පවන් සූමීර

-----------------

 


මුතු පොටක්

බින්දු­වෙන් පටන් ගෙන හීන කැටි පොදි බැඳන්
අන­න්තෙක දුර යන්න හිතත් හොඳ හැටි හදන්
නැගි­ටින්න සිතු­වාම දුරක නොව ළඟ ඉඳන්
ඉනි දිරූ ඉනි­ම­ඟක් ළෙන්ග­තුව දුන්නෙ උන්

දැන් ඉතින් ආයෙ­මත් ඉන්නෙ බින්දුවේ මන්
පියෙන් පිය ගාටන්න මං පෙතක් පාද­මින්
දුෂ්ක­රම පිය­ම­ඟක ඇර­ඹු­මක ළඟ ඉඳන්
එකින් එක එකින් එක බින්දු අමු­ණමි හෙමින්

අද නැතත් හෙට නැතත් කව­දාක හෝ ඉතින්
ඒ බින්දු දිලි­සේවි මුතු පටක මුතු ලෙසින්
හීන ලොව සැබෑ ලොව එක ලෙසින් ගළ­ප­මින්
අන­න්තෙක සුව විඳිමි බින්දු­වෙන් සැන­සෙ­මින්

ටානියා පෙරේරා

----------------

ආදර බලාපොරොත්තුවක පිබිදීම

සංගීත සංධ්වනියක් සේ
ඔබේ බැල්මක තත්පෙළ ගොළු විය
තරුකැට දහසක සෙවණැලි
මගේ කඳුළ තුළ සෙලැවිණ...

ඔබේ රෝසමය මඳහස
කැලතුන සුවඳක් වහනය කළා ය
ආදරයක රතුව ගිය බලාපොරොත්තු
අකාල විකල් සෘතුවක් මෙන්
එපෙති මතින් පිබිදෙන්නා සේ ය...

 

නූතන ප්‍රංශ කවි ක්සවියේ මොන්ලුබූ

(Xavier Monloubou)

 

නූතන ප්‍රංශ කවියෙකු වු ක්සවියේ මොන්ලුබූ ගද්‍ය පද්‍ය මුසු කිසියම් සිත්ගන්නා සුලු කෙටි බස් වහරකින් ලියයි. ප්‍රේමයේ සැඟවුණු නොයෙක් අදිසි පැතිමාන විස්තර විභාග කර ගැනීම පිණිස ගන්නා සියුම් ආයාසයක් ඔහුගේ බොහෝ කෘති පතුලත සැඟව ඇතැයි සිතේ. ඉහත කවිය ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වූ "ගල් දොරටු" නම් පොතෙන් උපුටා ගැණිණ. එහි සම්පුර්ණ මූලාශ්‍රය මෙසේ ය. Xavier Monloubou, Les portes des pierres, publibook, 2001, p.45.

 

අනුවාදය :

උදයංග අමරසේකර

**************************

කෘතිය - දුහුල් නැවතුම් අගිසි

කර්තෘ - පසන් සංජය සමරතුංග

මිල රුපියල් 250. පිටු 56

ගොඩගේ ප්‍රකාශනයකි

 

දුහුල් නැවතුම් අගිසි පසන් සංජය සමරතුංගගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. ප්‍රේමය, ආදරය සංතාපය, හුදකලාව ආදි වූ ප්‍රේමය වටා ගෙතුන බොහෝ දෑ එක්කරමින් දුහුල් නැවතුම් අගිසි ලියැවී ඇත.

දරුවෙකුත් සමඟ තනි වූ ගැහැනිය දරුවා ජීවත් කරන්නට බොහෝ දුක්විදී. ඇයට රැකියාවක් නැත. ස්ථිර ආදායමක් නැති. නිවෙසක් වුවද තිබෙන බව සැක සහිතය. එක්කෝ හිදින්නේ කුලී නිවෙසකය. එසේ සිටියදිත් දරුවා පෝෂණය කිරීම ඇගේ අරමුණය. කෙසේ හෝ කාගේ හෝ වරදින් හෝ යම් හේතූවකින් ඇයට රැකියාවක් හිමී වී ඇත. එය නම්බුකාර රස්සාවක් නොවේ. නමුදු ඇය එය කළ යුතුය. අකමැත්තෙන් හෝ. රැවටීම කළකරිම සමඟ ගෙවෙන ජීවිතයේ වෙනසක් ඇත්නම් ඇත්තේ ඒ දරුවන් සමඟ ගෙවන මොහොත පමණි. සියලු දේ අවසානයේ ඇයට සිහිවන්නේ දියණිය ගැනයි. එක් අතකින් එය ජීවිතයයි. තවත් අතකින් බැලූවේ නම් ගෙවෙන ජීවිතය තුළ තමන්වම රවටා ගැනීමක් බඳුය. කවිය “දොස් පරොස් එක සමයි ඒක මතකයි නේද?“ කවියේ අවසානය මෙසේය.

“හනි හනික ගේ දිහා ඇදෙනවා ඇති තාම

ලිප්ස්ටිකුයි කියුටෙසුයි හංග ගත්තා නේද

පොඩි එකි සිල් රෙද්ද හොය හොයා ඇති ගේම

ඕන් බලපන් හොඳට වටේ කළුවර නෑ තාම...“

දවසක ආරම්භයත් දවසක් අවසානයත් ගෙවෙන අයුරුත් පොඩි දරුවාගේ හෙට ගැනත් බොහෝ කතා කියන්නේ එලෙසිනි.

කවුළු ලෝකයෙන් එපිට ආදරය ප්‍රේමයක සිත් රිදීමක් සේ දැනෙයි.

“පටලාන ඇති හිත්

අත් දිගේ අත් හැරෙන

“පරිස්සමෙන් යන්න එහෙනම්“

දුක මුසු වූ ස්වරයෙන්

වෙන් වීම සනිටුහන් කරන හඬ

ඇරඹෙයි මෙතනින්...

පාළුවට ගිය බස් කවුළු ලෝකයෙන්

එපිට ආදරය මුහුකරයි

වෙන්වීම සනිටුහන් කරන හඬ

ඇරඹෙයි මෙතනින් ...

දෙමළ අකුරෙන් ලියූවද වෙනත් භාෂාවකින් ලියූවද අම්මා යන නමට හිමි ගෞරවය දයාව ආදරය කරුණාව ලෝකයේ කොයි අස්සක මුල්ලක තිබුණ ද එකය. රටේ අතුරේ දකුණේ පමණක් නොව අපේ රටේ පමණක් නොව ලෝකේ කොයි රටේ වුවද අම්මාට හිමි තැන එකමය. දරුවන්ගේ කදුළු වෙනුවෙන් දුක උහුලන්නේ දරුවන් වෙනුවෙන් අප්‍රමාණ වූ සෙනෙහසක් පුදන්නේ ඇයයි. මේ ඇය ගේ සීමා මායිම් නැති ඇගේ සෙනෙහස වෙනුවෙනි මේ. මාතෘකාව “දෙපැත්තක එකපැත්ත.

දෙමළ අකුරක හැඩද

සිහිල සුසුමක හැඬුමද

අගිස්සේ පෙනෙන්නේ

“අම්මාය“

හිතක් බැඳුණ විට මෙන් නොව හිතක් බිඳුණ විට දරා ගැන්ම අසීරුය. අපට වැරදුණේ කොතැනද ඒ අප හැම විටම සිතන තැන්ය. කෙසේ වෙතත් හැම හිතක්ම තනිවන මොහොතක් ඇත. ලියන්නේ ඒ කතාවයි. මේ හැම තැනකම ඇත්තේ මඟහැරුන ප්‍රේමයකැයි සිතේ. ප්‍රේමය හිමි වූ තැන් වලට වඩා අහිමි වු තැන් වල ඇත්තේම මහා පාළුවකි. එය ජීවිතය හා බැදීමකි. කවියා කියන්නේ එලෙසින් යයි හැඟේ. මාතෘකාව ඇස් අඟින් පෙනෙන පාට ඇමුණු කොක්ක.

“මට දුන්න හීන ඉතිං ඔබ ගෙන යන්න

පාට ඇමුණු කෝණඇස් අඟින් බෑ

අතඅරින්න

හිනා නැවතුම් නේන කාරණය දැන ගන්න

මට දුන්නු හීන අතින් ඔබ ගෙන යන්න...

මට දුන්න හීන ඉතිං ඔබ ගෙන යන්න

අතරමඟ නවතින්න එපා තව ඉඬ දෙන්න

වයිවර්ණ පිරි ලෝකයෙන්

ඈතකට වී ඉන්න

ග්‍රහ ලෝකයෙ තැනක ඔබෙ

හුස්ම කැට අමුණන්න..

මේ තෝරා ගත්තේ කිහිපයක් පමණි.

අංකුර කවියකු වන පසන්ට යා හැකි දූර බොහෝ ය.

 

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න කවි සිළුමිණ, ලේක්හවුස් - කොළඹ 10.
විද්යුත් තැපෑල [email protected]

 

Comments