මානව හිමිකම් මුවාවෙන් චීනයට කරදර එපා! රටවල් 65ක් කියති | සිළුමිණ

මානව හිමිකම් මුවාවෙන් චීනයට කරදර එපා! රටවල් 65ක් කියති

මෙවර එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේදී සිදුවූ විශේෂිතම සිදුවීම ලෙස දැක්විය හැකි වන්නේ චීනයට සහය පළ කරමින් රටවල් 65ක් එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ ප්‍රකාශයයි. මේ ඒකාබද්ධ ප්‍රකාශය ඉදිරිපත් කිරිමට ආසන්නතම හේතුව වූයේ බටහිර රටවල් එක්ව චීනයට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කරමින් කිසියම් කුමන්ත්‍රණකාරී අයුරින් කටයුතු කිරීමට සූදානම් වන බව පෙනී යෑමයි.

 

චීනයට තම දේශසීමා ආශ්‍රිතව රටවල් කිහිපයක් සමඟ ගැටලු පවතින අතර ලෝකයේ බොහෝ රටවල තම දේශසීමා ආශ්‍රිතව ඒ සම්බන්ධව ගැටලු පවතින අතර දේශසීමා ගැටලු නොමැති රටක් නොමැති තරම් යැයි කිව හැකිය. එහෙත් චීනයට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල කිරීමේ කිසියම් කුමන්ත්‍රණකාරී ස්වභාවයෙන් යුතු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම සම්බන්ධව ආසියානු අප්‍රිකානු රටවල් රැසක් එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් එයට විරෝධය දැක්වීම සුවිශේෂ අවස්ථාවක් බව පෙනේ.

එම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරමින් ශ්‍රී ලංකාවද ඇතුළුව මේ රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ චීනයට චෝදනා එල්ල කිරීමට සූදානම් වන හොංකොං, ෂිංජියෑං මෙන්ම ටිබෙට් ප්‍රදේශය ආශ්‍රිතව සිදුවීම් චීනයේ අභ්‍යන්තර කටයුතු බවත්, ඒවා විසඳා ගැනීමට චීනයටම ඉඩ දිය යුතු බවත්ය. ඒ හැර එම සිදුවීම් පාදක කර ගනිමින් චීනයට මානව හිමිකම් චෝදනා එල්ල කිරීමත්, එම චෝදනා ඔස්සේ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට කටයුතු නොකළ යුතු බවත් මේ රටවල් හැටපහේම අදහස විය.

මේ ඒකාබද්ධ නිවේදනය සභාගත කිරීම පකිස්තානය විසින් සිදු කළ අතර එම නිවේදනය මගින් කිසියම් රටක ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම සහ ස්වෛරී රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසීම ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයක් බව ලොවටම අවධාරණය කර තිබිණි.

හොංකොං දේශයේ විශේෂ පරිපාලන කලාපය තුළ දැනට පවතින තත්ත්වය සම්බන්ධව එම ඒකාබද්ධ නිවේදනය මගින් මේ රටවල් අදහස් දක්වා තිබූ අතර එමගින් ඔවුන් පවසා තිබුණේ හොංකොං විශේෂ පරිපාලන කලාපය චීනය ප්‍රකාශයට පත් කර ඇති එක් රටක් පද්ධති දෙකක් යන මූලධර්මය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් සහයෝගය ලබා දෙන බවයි.

එමෙන්ම මේ ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබු රටවල් අවධාරණයට ලක් කර තිබූ තවත් කරුණක් වූයේ කලාප ගැටලු විසඳා ගැනීමට එම කලාපවලට නිදහස ලබා දිය යුතුය යන අදහසයි. ඒ යටතේ එම ඒකාබද්ධ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබුණේ මානව හිමිකම් පිළිබඳව කටයුතු කිරීමේදී ඒ සම්බන්ධව කටයුතු කිරීමට ස්වාධීන මාවතක් තෝරා ගැනීමට ඒ ඒ කලාපවල ජනතාවට ඇති අයිතියට ගරු කළ යුතු බවයි.

එමෙන්ම මේ ප්‍රකාශය සඳහා අත්සන් තැබූ රටවල් ලොව සෙසු රටවලින්ද ඉල්ලා ඇත්තේ ඵලදායී ලෙස සංවාදවල නියැළීමෙන් සහ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීමට කටයුතු කිරීමට එක්වන ලෙසයි. දේශපාලනික මතිමතාන්තර අනුව වැරදි තොරතුරු මත පදනම්ව චීනයට එල්ල කරන පදනම් විරහිත චෝදනාවලට තමන් තරයේ විරෝධය දක්වන බව මේ රටවල් විසින් තම ඒකාබද්ධ නිවේදනය ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය ඉදිරියේ පවසා තිබේ.

මේ ඒකාබද්ධ නිවේදනයට අත්සන් තැබූ රටවල් වූයේ ඇල්ජීරියාව, ඇන්ටිගුවාව, බහරේන්, බංග්ලාදේශය, බෙලරූස්,බෙනින්, බොලිවියා, බර්කිනා ෆසෝ, බුරුන්ඩි, කාම්භෝජය, කැමරූන්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොමරෝස් දූපත්, කොංගෝව, කියුබාව, ජිබුටි, ඩොමිනිකා, ඊජිප්තුව, සමක ගිනියාව, ඉතියෝපියාව, ගැබොන්, එරිත්‍රියාව, ගැම්බියාව, ග්‍රැනඩාව, ගිනියාව, ගිනියා බිසවු, ඉරානය, ඉරාකය, කිරිබෙටි, කසකස්තානය, ලාඔ ජනරජය, ලෙබනනය, ලිබියාව, මාලි, මුරිටානියාව, මොරොක්කෝව, මොසැම්බික්, මියන්මාර්, නේපාලය, නිකරගුවාව, නයිජර්, නයිජීරියා, පකිස්තානය, පලස්තීනය, පැපුවා නිව්ගිනියාව, රුසියාව, සවුදි අරාබිය, සර්බියාව, සියරාලියොන්, සොලමන් දූපත්, සෝමාලියාව, දකුණු සූඩානය, ශ්‍රී ලංකාව, සූඩානය, සුරිනාම්, සිරියාව, තජිකිස්තානය, එක්සත් අරාබි එම්රේට්ස්, උගන්ඩාව, වෙනිසියුලාව, යේමනය, සැම්බියා සහ සිම්බාබ්වේ ඇතුළු තවත් රටවල් කිහිපයකි.

Comments