පලස්තීනයට පක්ෂව ඊශ්‍රායලයට එරෙහි වී සෙල්ලං පිටියේ දස වසක් සල්ලං | සිළුමිණ

පලස්තීනයට පක්ෂව ඊශ්‍රායලයට එරෙහි වී සෙල්ලං පිටියේ දස වසක් සල්ලං

 

‘ඔලිම්පික් තරගාවලිය මෙවර අවසන් වුවත් තවමත් ආගිය කතාවල අවසානයක් නෑ. වරින් වර මතුවෙනවා. කතා කරනවා. මොනවා කරන්න ද? ඒ අතර එන ඇතැම් කතාවන්ගෙන් කියැවෙන්නේ විවිධ දේශපාලන ප්‍රවණතාවන් සම්-බන්ධයෙන් විරෝධය දක්වන්න ගිය ක්‍රීඩකයන්ට මුහුණදීමට සිදුව ඇති දේ සම්බන්ධවයි. මේ එහෙම එකක්.’

තිස් දෙවැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල ටෝකියෝ නුවර දි අවසන් වූයේ පසුගිය අගෝස්තු 08 වැනිදා ය. ඒ නිසා ඊට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෑ දස්කම් හා ප්‍රතිඵල මේ වන විට මාසයකටත් වඩා පැරැණි ය.

කරුණු එසේ වුවත් එම ක්‍රීඩා උළෙලේ අලුත්ම ප්‍රතිඵල කීපයක් ම මේ දිනවල නිකුත් වෙමින් පවතින්නේ යැයි සඳහන් කළ හොත් එය කෙනෙකුට විමතිය දනවන්නක් වීමටද බැරි නැත.

ඉහත සඳහනට අනුව ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අදාළව නිකුත් කළ අලුත් ම ප්‍රතිඵල අතරට එක් වූ නැවුම් ම ප්‍රතිඵලය වී ඇත්තේ ජූඩෝ ක්‍රීඩාව වෙනුවෙනි.

එම ප්‍රතිඵලයේ විශේෂත්වය වන්නේ පදක්කම් පිරිනැමීමක් හෝ ප්‍රදානය කළ පදක්කම් නැවත අවලංගු කිරීමක් හෝ සිදු නොවීමත් හා ඉන් පරාජිතයන් මිස ජයග්‍රාහකයන් මතු නොවීමත් ය.

එම අලුත් ම ප්‍රතිඵලය අදාළ වී ඇත්තේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ජූඩෝ තරගාවලියට කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් ඉදිරිපත් වූ ඇල්ජීරියානු ක්‍රීඩක ෆෙනී නෝරීන් වෙනුවෙනි.

ඔහු ඔලිම්පික් ජූඩෝ තරගාවලියට එක්වූයේ අප්‍රිකානු කලාපයේ කිලෝග්‍රෑම් 73 බර පන්තියේ අංක එකේ ක්‍රීඩකයා ලෙසිනි. ඒ අප්‍රිකනු කලාපීය ජුඩෝ තරගාවලියේ පසුගිය වසර 3 ක් තිස්සේම කිලෝග්‍රෑම් 73 බර පන්තියේ රන් පදක්කම් දිනා ගත්තේ ෆෙනී නෝරීන් බැවිනි.

එහෙත් ටෝකියෝ ඔලිම්පික් ජුඩෝ තරගාවලියේ තරග කාල සටහන සකස් කිරීම සඳහා කුසපත් ඇදීම අවසන් වීමත් සමග මූලික වටයේ ‘ඩී’ කාණ්ඩයෙන් තරග වදින්නට ඔහුට නියම වීමත් සමඟ ෆෙනී නෝරීන් හා ඔහුගේ පුහුණුකරු අමාර් බෙනික්ලෆ්ද තරගාවලියෙන් ඉවත් වන බව ප්‍රකාශ කරනු ලැබීය.

මම පලස්තීනයට ඊශ්‍රායලයෙන් සිදුවන අඩන්තේට්ටම් හෙළා දකිනවා. ඒ නිසා මම පලස්තීනය වෙනුවෙන් මගේ ක්‍රීඩා හැකියාවන් බිලිදෙන්න කැමැතියි. යන්නද ඔහුගේ ප්‍රකාශනයට ගැබ්ව තිබුණි. ඔහුගේ පුහුණුකරුද ඊට සහයෝගය පළ කළේ ය.

ෆෙනී නෝරීන්ට ඩී කාණ්ඩයේ දෙවැනි තරගයේ දී ඊශ්‍රායල ක්‍රීඩක ටොහාර් බම්බුල්ට මුහුණදීමේ වැඩි ඉඩක් මතු වී තිබුණ හේතුව බම්බුල් ශ්‍රේණි ගත කිරීම් හි ඔහුගේ පළමු ප්‍රතිවාදියාට මෙන්ම නෝරීන්ටද වඩා ඉදිරියෙන් සිටින ක්‍රීඩකයෙකු වීම ය.

කෙහොම නමුත් දේශපාලනික ආගමික හෝ ජාතිවාදී අදහස් මතුවන ක්‍රියාදාම ප්‍රදර්ශනය කිරීම හෝ එවැනි ප්‍රකාශයන් කිරීම ඔලිම්පික් ප්‍රඥප්තියේ 50.2 වගන්තිය උල්ලංඝනය කිරීමකි. එබැවින් ජගත් ඔලිම්පික් කමිටුව නෝරීන්ගේ ප්‍රකාශය ඉවසුවේ නැත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ජගත් ඔලිම්පික් කමිටුව ෆෙනී නෝරීන් හා ඔහුගේ පුහුණුකරු අමාර් බෙනික්ලෆ් ද ඔලිම්පික් ක්‍රීඩා උළෙලින් ඉවත්

කොට ඔවුන්ගේ රටට පිටත් කර යවනු ලැබී ය.

අනතුරුව පසුගියදා ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවසන් වීමෙන් පසු ඉහත සිද්ධිය පිළිබඳව පරීක්ෂණයකින් පසු ෆෙතී නෝරීන්ට හා අමාර් බෙනික්ලෆ්ට වසර 10කට ජූඩෝ ක්‍රීඩාව තහනම් කළේ ය.

මේ වන විට ෆෙනී නෝරීන් 30 හැවිරිදි වියේ පසුවන බැවින් තරග තහනම අවසන් වූ පසු නැවත ඔහුට ජූඩෝ ක්‍රීඩාවට එක්වීමට ඇති ඉඩකඩ ඉතා අල්ප ය.

 

Comments