ටියුමර් Fail කරමින් පේලේ Pass වෙයි | සිළුමිණ

ටියුමර් Fail කරමින් පේලේ Pass වෙයි

 

පාපන්දු ලෝකයේ සදාකාලික වීරයා බ්‍රසීලයේ පේලේ. එය අවිවාදිත සත්‍යයක්. පේලේ පසුගිය කාලේ මහා බඩවැල ආශ්‍රිතව හටගත් ගෙඩියක් හේතුවෙන් සැත්කමකට ලක්වුණා.

අසූ වියැති පේලේ මේ අර්බුදය මහාන්ත්‍රය තුළ පැවැතීම හේතුවෙන් සෑහෙන්න දුර්වල වෙලයි සිටියේ. මේ නිසා ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා ප්‍රතිකාර කරලා තිබුණා.

දැනට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුණු ආකාරයට බ්‍රසීලයේ සාඕ පෝලා හි රෝහලක සිදු කළ ශල්‍යකර්මයකින් අනතුරුව පේලේ දැන් සුව අතට හැරිලා තිබෙනවා.

මෙම සැත්කම කළ ඇල්බර්ට් අයින්ස්ටයින් රෝහල ප්‍රකාශ කර තිබුණේ මහා බඩවැලෙන් ඉවත් කළ ප්‍රදාහ වැඩිදුර පරීක්ෂණ පිණිස යොමුකර ඇති බවයි. මොකද සිරුරේ අභ්‍යන්තරයෙන් කපා ඉවත් කරන ගෙඩි තිබේ නම් ඒවායේ ඇත්තේ කවරාකාරයේ සෛලද යන්න සොයා බැලීමට ඒවා පරීක්ෂණාගාර තුළ සියුම් පරීක්ෂණයට භාජනය කෙරෙනවා. ඒ එවැනි අර්බුදයන්හි පිළිකා සෛල ඇත්දැයි සොයා ගැනීමටයි.

'දෙවියන්ට ස්තුතිවන්න මට දැන් සහනයක් දැනෙනවා.' අසූ වියැති වයෝවෘධ පාපන්දු වීරයා පවසා තිබුණා. ඒ ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් අඩවියේ සටහනක් තබමිනුයි.

'වාසනාවට මට මේ විජයග්‍රහණය ඔබලව පසෙකින් තබාගෙන සමරන්න හැකි වුණා. මම මේ තරගයට මුහුණ දුන්නේ මුහුණේ සිනහවක් ඇඳගෙනයි. බොහෝ සුබවාදීව ඊට මම මුහුණ දුන්නා. ඒ වගේම මගේ ආදරණීය පවුල සහ යහළුවෝ වටකරගෙන ඉන්න මට හැකිවුණා.' ඔහු කියලා තිබුණා.

කෙසේ නමුත් සැත්කම සමඟ පේලේ දැඩිසත්කාර ඒකකටය ඇතුළත් කරලා තිබුණා. පසුව රෝහල ප්‍රකාශ කර තිබුණේ දැඩි සත්කාරක ඒකකයෙන් ඔහුව මුදාහළ බවයි.

අපි පේලේ කීවාට පේලේ ගේ ඇත්ත නම එඩ්සන් ඇරැන්ටෙස් ඩො නැස්සිමෙන්ටෝ ය. ඔහු පසුගිය වසර කීපයම ගත කළේ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් නම් නොවෙයි. පේලේ 2019 වසරේ දී ත් පැරිසියේ රෝහලකට ඇතුළත් කරනු ලැබුණේ මුත්‍රා ආශ්‍රිතව හටගත් රෝගාබාධයක් හේතුවෙනුයි. එසේ ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව යළි බ්‍රසීලය වෙත පැමිණි පේලේ ගේ වකුගඩුවක තිබී ගලක් ඉවත් කර තිබුණා.

2014 වසරේ අග භාගයේ දී මුත්‍රා පද්ධතිය සම්බන්ධ දරුණු රෝගයකින් ඔහු පීඩා වින්ද අතර ඊට ප්‍රතිකාර ගැනීමේදීත් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා. ඒ වකුගඩු ආශ්‍රිතව මුත්‍රා පෙරීම් සම්බන්ධ ගැටලුවක් මුල්කරගනිමින්. එහිදී ඔහුගේ වකුගඩු ආශ්‍රිතව රුධිරය පෙරීමකටද මුහුණදීමට සිදුව තිබුණා.

එ් විතරක් නොවෙයි පේලේගේ උකුල ආශ්‍රිතව හටගෙන ඇති අර්බුදයක් හේතුවෙන් ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටි සෑම අවස්ථාවකදී ම ඒ සඳහා රෝද පුටුවක් යොදාගෙන තිබුණා. එසේම ඔහුගේ පුතා වන එඩ්හිනෝ තම පියා මානසික අවපීඩන තත්ත්වයක සිටින බවක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පේලේ තමන්ගේ රසිකයන්ට එවන් අර්බුදයකින් තමන් නොපෙළෙන බව ප්‍රකාශ කරන්න ඉදිරිපත් වුණා.

ඉතිහාසයේ ලෝක කුසලාන තුනක් ජයගත් එකම ක්‍රීඩකයා සේ සැලකෙන්නේ පේලේ යි. ඔහුගේ අද්විතීය භාවයට එයත් ප්‍රබල හේතුවක්. ඒ 1958, 1962 හා 1970 යන වසරවල දී යි. මේ අනුව ඔහු සැලකෙන්නේ පාපන්දුවේ සදාකාලික වීරයා ලෙසයි.

කෙසේ නමුත් පේලේ කෝපා අමෙරිකා පාපන්දු තරග ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස තබා තිබූ වාර්තාව බිඳහෙළීමට ලියොනල් මෙසී සමත් වුණා. ඒ අතින් බලද්දී නම් පේලේ ඉතිහාසයේ තැබූ එක් වාර්තාවකින් ෆේල් වුණා. ඒත් මෙසී නෙවෙයි රොනාල්ඩෝ හරි ඊටත් එහා ගිය ක්‍රීඩකයෙක් හරි ආවත් ඔහුගේ සදාකාලික වීරත්වය මකා දමන්න බෑ.

 

Comments