ඔබ එන්න ඉන්දියාවෙන් ඇරැයුමක් | සිළුමිණ

ඔබ එන්න ඉන්දියාවෙන් ඇරැයුමක්

 

ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස අවුරුදු 18 ක් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා කළ මට වසරේ මාස 12ක් ම ගමන් මල්ලක් වගේ ජීවත් වීමට අවශ්‍ය නෑ.

ජයවර්ධන අයි.පී.එල්. හි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරන නමුත් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම භාරගන්නේ නම් වෙනත් කිසිදු පුහුණු තනතුරක් දැරීමට නොහැකි ය.

'මහේල ජයවර්ධන දැන් ලෝක ක්‍රිකට් පිටියේ ගාඩියෝලා ය. අයි.පී.එල්. ද හන්ඩ්‍රඩ් බෝල්ස්, එංගලන්ත පිතිකරණ උපදේශක ආදි විවිධ තනතුරු වෙනුවෙන් ආරාධනා ලැබූ හා තාවකාලික පදනම යටතේ ඒවා පිළිගත් මහේලට පසුගිය දා ඉන්දීය ක්‍රිකට් ආයතනය ද ආරාධනාවක් ඉදිරිපත් කළේ ය. ඒ ඉන්දියාවේ නව ජාතික ක්‍රිකට් පුහුණුකරු තනතුරට ඉදිරිපත් වන ලෙස ය. මේ සම්බන්ධයෙන් මහේල දැක්වූයේ අලස ප්‍රතිපත්තියකි. මේ ඒ ගැන ය.'

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක සහ වත්මන් මුම්බායි ඉන්දියන්ස් පුහුණුකරු මහේල ජයවර්-ධන සිය ප්‍රධාන පුහුණුකරු වශයෙන් සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සහාය අසාර්ථක වී තිබේ.

හේතු කිහිපයක් දක්වමින් මහේල ජයවර්ධන එකී තනතුර ප්‍රතික්ෂේප කර ඇතැයි දැනගන්නට ඇත.

“මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අයි.පී.එල්. ශූරතා කිහිපයක්ම දිනා දීමට පුහුණුකරුවකු වශයෙන් ඉමහත් දායකත්වයක් ලබා දී ඇති මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයි.පී.එල්. කණ්ඩායම් පුහුණු කිරීම කෙරෙහි උනන්දුවක් දක්වයි. නව ඉන්දීය ක්‍රිකට් ව්‍ය-වස්ථාවෙන් කිසිදු පුද්ගලයකුට එකවර තනතුරු දෙකක් දැරීමට ඉඩ නොමැති හෙයින් ඉන්දීය පුහුණුකරුවකුට වෙනත් කිසිදු ක්‍රිකට් පැවරු-මක් භාර ගත නොහැකි ය.

2021 විස්සයි 20 ලෝක කුසලානය නිමවීමෙන් පසු වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රිගේ නිල කාලය අවසන් වේ. ශාස්ත්‍රි වෙනුවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ හැකි පුහුණුකරු පිළිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩ-ලය (බී.සී.සී.අයි.) දැන් විමසිල්ලෙන් පසුවෙයි.

මහේල ජයවර්ධන අයි.පී.එල්. තරගාවලියෙන් පසු අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට ස්වේච්ඡාවෙන් උදවු කිරීමට බලාපොරොත්තු වන බවද මේ වන විට වාර්තා වී ඇත.

'ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස අවුරුදු 18 ක් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා කළ මට වසරේ මාස 12 ක් ම ගමන් මල්ලක් වගේ ජීවත් වීමට අවශ්‍ය නෑ.' මහේල මීට ප්‍රථම පවසා තිබුණේ කිසිදු ජාතික කණ්ඩායමක පූර්ණ කාලීන පුහුණුකරුවකු බවට පත්වීමට තමන් තුළ කැමැත්තක් නැතැයි පවසමිනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවැත්වෙන අයි.සී.සී. පිරිමි විස්සයි 20 ලෝක කුසලාන අවසන් වීමෙන් පසු වත්මන් පුහුණුකරු රවී ශාස්ත්‍රි ගේ ධුර කාලය අවසන් වීමට නියමිත ය. ඒ අනුව ඉන්දීය පිලේ පුහුණුකාර තනතුරු සඳහා පත්වීමට ඉඩ ඇත්තේ හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු ය.

කෙසේ වෙතත්, ඊට පෙර ඒ සඳහා මහේල ජයවර්ධනට ආරාධනා කර තිබීම විශේෂත්වයකි.

2016-17 අතර වසරකටත් පෙර කුම්බ්ලේ ඉන්දීය පිලේ පුහුණුකරු ලෙස සිටිය දී ඔහු හා ඉන්දීය නායක විරාත් කෝලි අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ඔහු පුහුණුකාරිත්වයෙන් ඉල්ලා අස්විය. ඒ සමඟ පුරප්පාඩු වූ තනතුර සඳහා සචින් තෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් වී. වී. එස්. ලක්ෂ්මන් සහ වර්තමාන ඉන්දීය ක්‍රිකට් සභාපති ගංගුලි ඇතුළත් ක්‍රිකට් කමිටුව පළමුව සලකා බලා තිබුණේ මහේල ජයවර්ධන සම්බන්ධව ය. ඒ අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් දැක්වූ පුහුණු සාර්ථකත්වය සලකා බලමිනි.

එහෙත් මහේල එවර ද එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබිණි.

ජයවර්ධන අයි.පී.එල්. හි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරන නමුත් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීම භාරගන්නේ නම් වෙනත් කිසිදු පුහුණු තනතුරක් දැරීමට නොහැකි ය. එය ඉන්දියන් ක්‍රිකට් ව්‍යවස්ථාවේ ඇති නීතියකි.

මේ අතර, 2021 ඔක්තෝබර් 17 දා ආරම්භ වන 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වූ පසු විස්සයි 20 තරගවල දී ඉන්දීය පිලේ නායකත්වයෙන් ඉවත් වීමට නායක විරාත් කෝලි ද තීරණය කර තිබිණි. ඒ අනුව වී.වී.එස්. ලක්‍ෂ්මන්, අනිල් කුම්බ්ලේ සහ තවත් කීපදෙනෙක් ශ්‍රාස්ත්‍රිගෙන් පසු ඉන්දීය පුහුණුකරු ධුරයට පත්වීමට ඉදිරිපත්ව ඇත.

 

Comments