‘හඬක මහිම’ කන් දීමෙන් දැනේයා | සිළුමිණ

‘හඬක මහිම’ කන් දීමෙන් දැනේයා

 

“යමක් දැකබලා ගැනීමට නම් පෙනීමක් අවශ්‍යයි. පෙනීම අත්පත් වන්නේ ඇසිනි. එහෙත් ඇසින් දැකගත් වස්තුව රූප බවට පත් වන්නේ මනැසිනි. ඒ සඳහා මනෝරූප මවා ගැනීමක් අවශ්‍ය වනනේ ය. පෙනෙන දේ මතුපිටින් පෙනීම හැරුණු කොට ඇතුළතින් පෙනීමත් වශයෙන්ද අර්ථකථනය කළ හැකි ය.”

“මෙසේම ඇසෙන දේ ශබ්දයක් (sound) විය හැකි ය. එහෙත් ඒ ශබ්දය විවිධාකාර ලෙස ඇසෙනු ඇත. ඇසුණේ ශබ්දයක් වුවද ඇසෙන ආකාරය වෙනස් විය හැකි ය. මේ නිසා ඇසුණු ශබ්දය කෙමෙන් වර්ගීකරණය කළ නොහැකි ය. කෙනෙකුගේ හඬක් (voice) හුදු ශබ්දයක්ම නොවේ. ගීතයක් (song) විය හැකි ය. ඝෝෂාවක් (noise) විය හැකි ය. හඬක් බිහි වී ඉන් තාලයක් (tune) ඇති විය හැකි ය. එය මධුර ස්වරයකින් නැඟෙන්නක් විය හැකි ය. මධුර නුවූ හඬක් විය හැකි ය.

මේ ඇසෙන ශබ්දය, හුදු ශබ්දයක් නොව දේව ශබ්දයක් (a divine sound) යයි කෙනෙකුට උවමනා නම් කිව හැකි ය. එහෙත් මින් අදහස් කෙරෙන්නේ අප සතුව පවතින කන නමැති ඉන්ද්‍රිය හේතුවෙන් යම් කිසි ශබ්දයක් අපට ඇසුණු බව පමණකි. නොඇසිණි නම් අප එය හඳුන්වන්නේ බිහිරි වූ (deafness) යනුවෙන් විටෙක බිහිරිකමේද ප්‍රභේද දැකගත හැකි ය. ශබ්දය නිකුත්වන්නේ සත්වයකුගේ මුවින් (mouth විය හැකි ය. එහෙත් ඒ සත්වයාට එක් දෙයක් තවත් දෙයක් හා ගෑවීමට සැලැස්වීමෙන්ද ශබ්දයක් නිකුත් කරවා ගත හැකි ය. එක් ලී කැබැල්ලක් තවත් ලී කැබැල්ලක් හා ගැටීමෙන්ද ශබ්දයක් ඇති කෙරේ. දොරකට අතින් තට්ටු කිරීමේන්ද ශබ්දයක් ද ඇති වේ. ඒවා විටෙක මුවින් නිකුත් වෙන ශබ්ද වෙනුවට කෘත්‍රිම :(artificial) ශබ්දයන් ය. මුවින් නිකුත් වෙන ශබ්දය බොහෝ දුර ගමන් කළ බවක් පෙනේ. කටවචනය (verbal) කට වහර (speech) හා වාචික යන යෙදුම් අපට හුරු පුරුදු ය. මුවින් නිකුත් කළ ශබ්දයක් අවශ්‍ය නම් සටහන් කර තබා ගත හැකි ය. මේ කාර්යය තාක්ෂණය හා සමඟ බැඳී පවතී. ශබ්ද මාධ්‍යය (sound medium) ප්‍රභවය ඇති වූයේ එමඟිනි. ශබ්දය සටහන් කර ගැනීම sound recordingයනුවෙන් හැඳින්වේ.”

“ශබ්දය අද්විතීය යි (sound is unique) යනුවෙන් සන්නිවේදන අධ්‍යාපනඥයින් න්‍යායක් ගෙන හැර දැක්වීම ද වැදගත් ය. මේ හේතුවෙන් පළමුව ප්‍රභවය ලැබුවේ ශබ්දය බවත්, ඒ අනුව මාධ්‍ය ව්‍යුහයන් ඇති වූ බවත් පෙන්නුම් කෙරේ.”

“දෙපැත්තකින් ඇසෙන් ශබ්දයන් දෙකක් එක විට සිදු වුවහොත් කුමක් සිදු වේද?සිදු වන්නේ ශබ්ද ගැටුමක (sound conflict) අනුව බාධාව කි. බාධාව (noise) යනු ඝෝෂාකාරි තත්වයක් උද්ගත වීම කි.”

“ගනිමු අපි නිදසුනක්. රංගශාලාවක නාට්‍යයක් රඟ දැක්වේ. අපූරු ජවනිකාවක් මැවී පෙනේ. එහෙත් ඒ මැවෙන ජවනිකාව බලා සිටින රංග ශාලාවේ ප්‍රේක්ෂකයින්ගේ (audience) කතාබහක් ඇති වේ. එවිට කුමක් ද සිදු වන්නේ? රංග භූමියේ සිදුවන සියුම් ජවනිකාව වටහා ගැනීමට නොහැකි වීමයි. මේ නිසා කුමක්ද සිදු වන්නේ? වින්දනයට බාධාව කි. මේ ‘බාධකය’ සන්නිවේදන බාධකයක් ලෙසින් වටහා ගත යුතු ය.”

“කරුණාකර නිශ්ශබ්ද වන්න (Be silent) යනුවෙන් කෙනෙක් ඉල්ලා සිටින්නේ මේ බාධකය ඉවත් කර ගනිමින් යහපත් ශ්‍රවණයකට මඟ පෑදීමක් වශයෙනි. පුස්තකාල වලට ඇතුළු වී පොතපත කියවීමේ රුචිකත්වයක් ඇති අය නිශ්ශබ්දතාවයේ අගය දනිති.”

“කන හුරු කරගන්න යැයි සමහරු කියති. මේ කාරණය බොහෝ තැන් වල දී වැදගත් වේ. වෛද්‍යවරයා සමීපයට යන ගිලනාට වෛද්‍යවරයා පවස්නනේ කුමක්දැයි අසා සිටීමට සිදු වේ. එසේම ගිලනා තම ගිලන් තත්වය පිළිබඳ පවසන්නේ කුමක්දැයි දැන හැඳින ගත යුත්තේ වෙදහෙදකම් වල නියැළෙන වෙදැදුරු ය. මේ සිදු නොවූ විට සිදු වන්නේ කුමක් ද? ගිලනා හා වෙදැදුරුත් අතර කිසියම් සන්නිවේදන බාධකයක් ඇති වීම කි.”

“හඬක් නැති අයට හඬක් දිය යුතු යැයි කියමනක් ඇත.

තවත් අපට ඇසෙන කියමනක් නම් අපේ හඬ ඔවුන්ට ඇසෙන්නට සලස්වමු යන්නයි. මේ නිසා මානව සන්නිවේදන (human communication) ක්ෂේත්‍රයේ විවිධාකාර මානව හඬ :(human voice) පද්ධතියක් ගොඩ නැගී ඇත. එක් හඬක් නම් කම්කරු හඬයි (workers' voice). තවත් හඬක් නම් ගොවි හඬ (farmers' voice) ය. ඇයි එතකොට ගුරු හඬ (teachers' voice) ඇයි පූජක හඬ (voice of the clergy) විටෙක ඇසෙන්නේ සිසුන්ගේ හඬ යි. (voice of the students). මේවා අතරින් එසේ හඬ නැඟෙන්නේ කුමක් සඳහා ද යන්න ද සන්නිවේදන අධ්‍යයනය හා බැඳී පවතී. හඳුන්වා දීමේ හා හැඳින ගැනීමේ සංඥාවක් වශයෙනි. එයවිටෙක අවශ්‍යතාවක් මත පදනම් වූව කි. ඒ අවශ්‍යතා සන්නිවේදන අවශ්‍යතාවක් ලෙස සැලකේ.”

Comments