‘පොහොට්ටු’ පොත කියවලා අඬන පිරිසක් අදත් ඉන්නවා | සිළුමිණ

‘පොහොට්ටු’ පොත කියවලා අඬන පිරිසක් අදත් ඉන්නවා

පාසල් වියේ සිට ‍ලේඛන කලාවට ඇලුම් කළ ඒ පිළිබඳ දක්ෂතා දැක්වූ සුනේත්‍රා තුෂාරි ඩයස්, වාණිජ අංශයෙන් උසස්පෙළ සමත් වී හෙද පුහුණුව සඳහා ශ්‍රී ජයවර්ධනපුර හෙද විදුහලට ඇතුළත් වන්නී ය. මවුපිය, වැඩිහිටි බලකිරීම මත හෙද සේවය වෘත්තිය ලෙස තෝරාගන්නට තීරණය කළ ද ඇයගේ සිත වඩාත් ඇලුම් කරන්නේ කලා අංශයේ රැකියාවකට ය. වසර දෙකක පමණ කාලයක් හෙද විදුහලේ පුහුණුව ලබන ඇය පුහුණු කාලයේ තුන්වැනි වසර සම්පූර්ණ වීමට පෙර කලා අංශයෙන් නැවතත් උසස්පෙළ විභාගයට මුහුණ දීමට තීරණය කරන්නී ය.

 

ඒ වනවිටත් සඳරේණු, සත්‍යා, කිංකිණි ආදී යොවුන් පුවත්පත්වලට නිර්මාණ යොමුකළ පාඨකයකු වූ සුනේත්‍රා තුෂාරි ඩයස්ට පුවත්පත් කලාවට යොමුවීමේ ආශාවක් ඇතිවන්නේ නිරායාසයෙනි. ඇයගේ ආශාවත් ඉල්ලීමත් දක්ෂතාවත් වටහා ගන්නා එවකට සඳරේණු ප්‍රධාන කර්තෘ ප්‍රදීප් කුමාර බාලසූරිය ඒ පුවත්පතේ සෝදුපත් කියවීම සඳහා ඇයට අවස්ථාවක් ලබා දෙයි.

සුනේත්‍රා තුෂාරි ඩයස් හෙද විදුහලෙන් නීත්‍යානුකූල ව ඉවත් වී සඳරේණු පුවත්පතේ සේවය ආරම්භ කරන්නේ ඉන්අනතුරුව ය. කලක් සත්‍යා යොවුන් පුවත්පතේ උප කර්තෘ ලෙස ද කටයුතු කළ ඇය 1997දී සිරස ආයතනයට සම්බන්ධ වී වසර ගණනාවක් එහි සේවය කළා ය.

එදාමෙදා තුර සුනේතා තුෂාරි ඩයස් නවකතා 70ක් පමණ රචනා කර ඇති අතර මේ වන විට එයින් නවකතා 27ක් කෘති ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

 

 

 

 

ඒ නවකතාවේ

මා වඩාත් ම

සිත් ගත් සහ

සංවේදී වූ අවස්ථාව

 

එවැනි එක් අවස්ථාවක් නම් කිරීම අසීරුයි. ඒ පොතේ ලියැවුණු හැම වචනයක් ම මගේ සිත් ගත් අවස්ථා. ඒත් මෙහි කතානායිකාවගේ මරණය සිදුවන අවස්ථාවේ මම වඩාත් සංවේදී වෙනවා. වැරදි වැටහීමක් නිසයි ඇය මරණයට පත්වන්නේ. මෙහි සමහර අවස්ථා බලන්න බැරි තරම් දුක්බරයි කියලා බොහෝ පාඨකයන් පවසා තිබෙනවා. ඊළාම් යුද්ධයෙන් අපේ හමුදාව, ඒ අයගේ පවුල්වල් සාමාජිකයන් වගේම සමහර දෙමළ මිනිස්සු ඇතුළු සමස්ත රටවැසියන් ම දුක් වින්දා. මා එය හොඳින් ම වටහාගත්තේ යාපනයේ කළ සංචාරයේදියි.

 

 

 

 

 

මා වඩාත් ම සවේදි කළ පාඨක ප්‍රතිචාරය

 

එම නවකතාවට පාඨකයන්ගෙන් ප්‍රතිචාර බොහොමයක් ලැබුණා.අදටත් සමහරු කියනවා කියව කියව අඬනවා කියලා.ඒ වගේ ම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 2019 වසරේ පොත් මිලදී ගැනීමේ ව්‍යාපෘතියේදී 'පොහොට්ටු' පොතෙන් රුපියල් 25,000ක වටිනාකමකින් යුතු පොත් මිලදී ගැනීමත් විශේෂත්වයක්.

 

 

 

 

මගේ ඉදිරි නිර්මාණ සැලසුම්

 

ඉදිරියේදී තවත් අලුත් නවකතා 6ක් පමණ ප්‍රකාශයට පත්වීමට නියමිතයි. කොවිඩ් 19 වසංගත තත්ත්වය සමඟ රට තුළ දැන් පවතින වාතාවරණය යටතේ පොත් ප්‍රවාහනය කිරීමට බැරි තත්ත්වයක් ඇතිවී තිබෙන නිසා මඳක් නිහඬ වී සිටීමට සිදුව තිබෙනවා. ඒ අතරේ 'මන්දාරම් නුවර' සහ 'අපාරා' යන මගේ නවකතා ඇසුරින් ටෙලිනාට්‍ය බවට පත්වන නිර්මාණවල රූගතකිරීම් ද ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි.

ඒ සමඟම ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් වැඩසටහන් කිහිපයක් කරගෙන යනවා. ඒ සම්බන්ධ පොතකුත් ලබන මස එළි දකිනවා. ධනාත්මක චින්තනය දේශන මාලාවක් සූදානම් කර තිබෙනවා. රට තුළ පවතින වසංගත තත්ත්වයට අවසන් වූ පසු ඒ වැඩසටහන්ද ඉදිරියට ගෙන යෑමට අපේක්ෂා කරනවා.

 

 

 

මා වඩාත් කැමති මගේ නවකතාව සහ එය ලිවීමට මුල් වූ හේතුව

 

මෙතෙක් ලියූ නවකතා අතරින් මා වැඩියෙන් ම කැමති සහ මගේ හද වැඩියෙන්ම සසල කළේ 'පොහොට්ටු' නවකතාවයි. රැකියා අවශ්‍යතාවක් සඳහා වසර දෙකක් යාපනයේ නල්ලුර්වල ජීවත් වීමට මට අවස්ථාව ලැබුණා. ඒ කාලයේදී තමයි මට මේ කතාවේ ප්‍රධාන චරිතය ගැන අහන්න ලැබෙන්නේ. පසුව මම ඇයව සොයාගෙන ගියත් ඒ වනවිට ඇය ජීවතුන් අතර සිටියේ නැහැ. නමුත් ඇගේ ජීවිතේ යම් යම් කාලවලදී ඇය තැබූ සටහන් කිහිපයක් මට හමු වුණා. ඒ ඇසුරින් සහ යාපනයේ මා ජීවත් වූ නිවෙසට යාබද නිවසේ සිටි අසල්වැසි රාමු මාමාගෙන් දැනගත් දේවල් ඇසුරින් තමයි මම මේ කතාව ලිව්වේ. වයස අවුරුදු දහතුනේදී කොටි ත්‍රස්තවාදීන් අතට හසුවී විනාශ වූ අහිංසක මල් කැකුළක් බඳු යුවතියක් ගැනයි පොහොට්ටු නවකතාවෙන් කියැවෙන්නේ. පොතට 'පොහොට්ටු' කියා නම තැබුවේත් ඒ නිසයි.

 

 

Comments