හදේ දොරටු විවර කළෙමි සොඳුර නු‌ෙඹ නමින් | සිළුමිණ

හදේ දොරටු විවර කළෙමි සොඳුර නු‌ෙඹ නමින්

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා

නුරාවෙන් වෙළී

මල් පිපෙන සුළඟ නීල වලා

තුළට ගුලි වෙවී

සඳ හොරෙන් හිනාවී නිල් දිය මතට පාවෙමින්

හදේ දොරටු විවර කළෙමි

සොඳුර නුඹෙ නමින්

 

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා

සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා

කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින්

මගෙ සිත ගොළුවෙලා

 

ළැම හසුන් රැඟුම් පා මනමත් කළාදෝ

රත තොළින් තොළට දී සෙනෙහස රකීදෝ

සිත සතුට ගෙනාවේ ඔබමය මගේ හිතත්

ඔබ ළඟ නැවතිලා...

 

 

ගී පද - අමරසේන කංකානම්ගේ

සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි

 

 

අමරසේන කංකානම්ගේ නම් වූ කවියා, ගීත රචකයා, අපගෙන් සමුගෙන මේ ලියන මොහොත වන විට ටික දොහක්. ඔහු ගුරුවරයෙක්. මතක හැටියට ඔහුට එඩ්වඩ් ජයකොඩි මහතා මුණගැහෙන්නෙ කැලණියෙ ගුරුකුලේ දී. ඒ මිතුදම නිසා ගොඩක් ලස්සන සිංදු බිහිවෙලා තියෙනවා. ඒ අතරින් මේ ගීතය සුවිශේෂයි.

 

ප්‍රේමය තරම් සුමියුරු මානුෂීය හැඟීමක් තවත් කොයින් ද? ගිම්හානය නිමා වෙලා. වස්සානය එනවා. වස්සානයත් එක්කම එන්නෙ වසන්තය. ඇළ දොළ ගලනවා. තුරුලතා දලු දානවා. අලුත් මල් පිපෙනවා. බමරු මල්වල රොන් ගන්නවා. තනිකඩ යෞවනයන්ගෙ තනිකම වැඩිවෙනවා. හදවත තනිකමෙන් ගිනි දැල් වෙනවා. මට මහින්ද දිසානායකයන්ගෙ පද මාලාවක් මතක් වෙනවා.

 

“ඇසට හසුවන මායිමේ

බමර සැණකෙළි මල් විලේ

ළසෝ ළැව් ගිනි ඇවිළුනා හිත

ඔබ මගෙන් වෙන් වූ දිනේ....“

(ගායනය කරුණාරත්න දිවුල්ගනේ)

 

එහෙම දුක්වෙන්නෙ ආදරේ ලබපු කෙනෙක්. ඒත් වසන්තයට අතවනන තරුණ හදවතකට යෞවනියකගේ රූපය ග්‍රහණය වන විට ඇතිවන ප්‍රේම උද්දීපනය වචනයට නඟන්න අමාරුයි.

 

මේ යෞවනයාට යෞවනියකගෙ මනස්කාන්ත රූපය ඇස ගැටෙනවා. ඇගේ ඇස්වලින් මතුවන්නෙ අඳුරු නිල්පැහැති කාන්තියක්. යන්තම් වැහි අඳුරක් තිබුණත් සුළඟ අරන් යන මල් සුවඳ ඒ වලා අතර ගුලිවෙනවා. ඒ මේ කුළු අතරින් රිංගා එන හඳ මේ යෞවනයාට හොරෙන් හිනාවෙලා වතුරට එබෙනවා. ඔහුට තවත් ඉවසන්න බෑ. ඔහු මුළු හදවතම ඈ වෙනුවෙන් විවර කරනවා.

 

“නිල් නුවන් පෙඟෙන අඳුර ගලා

නුරාවෙන් වෙළී

මල් පිපෙන සුළඟ නීල වලා

තුළට ගුලිවෙවී

හඳ හොරෙන් හිනා වී නිල්දිය මතට පාවෙමින්

හදේ දොරටු විවර කළෙමි සොඳුර නුඹෙ නමින්“

 

නාරි දේහයට තවුස් දම් බිඳින්න පුළුවන්. සද්ධර්මාලංකාරෙ හමුවෙන උද්දාල නම් වූ බ්‍රහ්මචාරී බ්‍රාහ්මණයටත් ඒක වුණා.

 

කොටින්ම කියනව නම් ස්වර්ණතිලකාගෙ රූපශ්‍රිය දැක්කම ඇය සැඩොල් කුලයේ වග මේ කුලවාදී, ස්ත්‍රීන්ට ගරහන බමුණට අමතක වුණා. ඔහු තමන්ව මෙහෙම සාධාරණීකරණය කරගත්තා.

 

“ලලනාන නානී චල ලෝචනානී

තරුණ රු නානී චලිතාධරාණී

මනුජොහියො නෙත්ත පියං කරොති

සකුනීච ජාතිම්පි - නොජහතානී

 

(ඔප නැංවූ රන්කුඩපතක් මෙන් බබළන්නා වූ ස්ත්‍රීන්ගේ මුහුණ දැලකට හසු වූ මාළුවන්ගේ මෙන් චලනය වන නෙත්වලින් ද, තරුණ අරුණාලෝකයෙන් දිලෙන තොල් සඟලකින් යුක්ත වන්නේද, එබඳු ලියක් හීන ජාතියේ උපන්න ද පුරුෂයෝ අත් නොහරිති)

 

අඹගස් මලින් බරවෙලා. අනංගයාගෙ මල් හී පහෙන් එකක් මී අඹ මල්. ඒ තරම්ම යොවුන් හැඟීම් අඹ මල් එක්ක බද්ධයි. සමනලුන් ඒ අඹ මල්වල රොන් ගන්නවා. ඒ ආස්වාදයෙන් ප්‍රමුදිද වන මේ යෞවනයාට දැන් අවශ්‍ය වෙන්නෙ ඇගේ සිනාව දැකගන්න වගේම අහන්න. ඒ හිනාව කිරිකවඩි සොලවනවා වගේ.

 

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා

සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැහීලා

කිරි කවඩි හිනාවේ පෙළහර දකිනු රිසින්

මගෙ සිත ගොළුවෙලා...

 

සැබෑ ප්‍රේමය නිහඬයි, ගොලුයි කියලා මහගම සේකර කවියා වරෙක ලියලා තිබෙනවා. ඒත් ඒ ගොළු හිත ඇතුළෙ ටිකින් ටික අනුරාගය අවදිවෙනා. ඇගේ පීන පයෝධර ඔහුගේ ඇස ගැටෙනවා. දෙතොලේ රත ඔහුට පෙනෙනවා. මේ සියල්ලෙහි අයිතිය ඔහුට ලැබේද කියලා පුංචි සැකයක් තිබෙනවා.

 

“රත තොළින් තොලට දී සෙනෙහස රකීදෝ“

 

සුනිල් ආරියරත්න මහත්තයාගෙ ගීත රචනයක කොටසක් මට මතක් වෙනවා.

 

“දෙතොලේ මුවරද සැලෙයි

රස බලන්න මට හිතයි

ඔබෙ දෙතොල් වලට රිදෙයි

ඒ නිසා හිතට බයයි....“

මේ ගීතයේ වචන සුන්දරයි. ශෘංගාර රසය වෑහෙනවා. එයින් ගීතයක් පරිපූර්ණ වෙන්නෙ නෑ. මේ වචන උද්දීපනය කරන තනුවක් ඕනෑ. ඒ තනුව මේ ගීතයට ඇතුළෙ තිබෙනවා. ඒ වගේම ඒ තනුව මිහිරට ගැයෙන්න ඕනෑ. 80 දශකයේ මැදභාගේ එඩ්වඩ් ජයකොඩි ශූරීන් තම තාරුණ්‍යයේ හඬ උපරිමයෙන් මුසු කරලා තියෙනවා.

 

ඒ මොනව වුණත් රසික ජනතාවටත් දැනෙන තැනක් තිබෙන්න ඕනෑ. මේ අත්දැකීම මාත් හොඳින් විඳලා තිබෙනවා. මගේ භද්‍ර යෞවනයේදී මාත් මේ ආකාරයන්ම මේ වචනවලින් කියවෙන රසයම හදවතට ඇතුළුකරගෙන තිබෙනවා. හදේ දොරටුව විවර කරගෙන මොනතරම් කල් මා බලා සිටියත් ඇගේ හදවතේ දොරටුව නම් මට විවර වුණේ නෑ.

Comments