සාෆ් පාපන්දුවට ශ්‍රී ලංකාව මාලේ යති | සිළුමිණ

සාෆ් පාපන්දුවට ශ්‍රී ලංකාව මාලේ යති

දකුණු ආසියාවේ සංවිධානය කරන උසස්ම පාපන්දු තරගාවලිය සාෆ් පාපන්දු තරගාවලිය යි. එය එකවරක් ජයගැනීම ට ශ්‍රී ලංකාව සමත් විය. ඒ මනිලාල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් සිටිය දී කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ය. ඉනික්බිතිව ශ්‍රී ලංකාවට සාෆ් පාපන්දු තරගාවලියේ ශූරතාව ජයගැනීම සිහිනයක් විණි. එහෙත් ඒ සිහිනය දැකීම ශ්‍රී ලංකාව අවසන් කර නැත. දැන් ඔවුන් මාලේ නුවර ට ගොස් සිටින්නේ තවත් සාෆ් පාපන්දු සිහිනයක් දැකීමට ය.

රටවල් 08 ක පාපන්දු වීරයන්ගෙන් ස්වංපෝෂිත දකුණු ආසියාවේ පාපන්දු ශූරයන් සොයා ක්‍රියාත්මක කෙරෙන සාෆ් පාපන්දු ශූරතාව 13 වැන්න මාලදිවයිනේ මාලේ අගනුවර දී ආරම්භ වනුයේ ඔක්තෝබර් මස 01 දා ය. දකුණු ආසියාවේ රටවල් 05 ක සහභාගීත්වයෙන් යුතුව ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලිය ලබන 16 (සෙනසුරාදා) දක්වා පැවැත්වේ.

ඒ අනුව ලීග් ක්‍රමයට දිග හැරෙන මූලික වටයේදී එක් රටකට ලැබෙන තරග සංඛ්‍යාව 04 කි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය සහ සත්කාරක මාලදිවයින යන රටවල් මෙවර තරගාවලියට එක්ව සිටින්නේ කලාපයේ පාපන්දු බලවතා වීමේ අරමුණිනි.

සැප්තැම්බර් මස 01 දා බංග්ලාදේශය ට එරෙහිව ද 04 දින නේපාලය ට එරෙහිව ද 07 දා ඉන්දියාව සමඟ ද 10 වැනි දා සත්කාරක මාලදිවයින ට එරෙහිව ද ශ්‍රී ලංකා ජාතික පිල තරග වදී.

සෑම තරගයකට පසුවම දින දෙකක විවේක දිනයක් ප්‍රකාශ කිරීම විශේෂත්වයකි. ඒ පවතින "කොවිඩ් - 19" වසංගත තත්ත්වයෙන් ක්‍රීඩකයින් සහ නිලධාරින් මෙන්ම විනිශ්චයකරුවන් ආරක්ෂා කර ගැනීමට ය.

මූලික වටයේ තරග ආශ්‍රිතව වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගන්නා දෙපිල 16 වැනි දා රාත්‍රි 08.30 ට පැවැත්වෙන තීරණාත්මක අවසන් තරගය ට සහභාගි වේ.

2021 සැප්තැම්බර් 16 දින සිදු කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ජාතික පිලට 205 වැනි ස්ථානය හිමිවී ඇති අතර එයට වඩා පහළින් ඇති රටවල් සංඛ්‍යාව හයකි.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව 107 වැනි ස්ථානය ද මාලදිවයින 158 වැනි ස්ථානයත්, බංග්ලාදේශය 189 වැනි ස්ථානය මෙන්ම නේපාලය 168 වැනි ස්ථානය ද ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවෙති.

153 වැනි ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්තානය ද 187 වැනි ස්ථානයේ පසුවන භූතානය ද 198 වැනි ස්ථානයේ පසුවන පාකිස්තානය ද මෙවර තරගාවලියට සහභාගි නොවේ.

ඒ අනුව මෙවර තරගාවලියට අයත් තරග සංඛ්‍යාව 11 කි. මෙහි මූලික වටයේ තරග 01,04,07,10 සහ 13 දිනවල පැවැත්වේ.

අවුරුදු 28 ක ඉතිහාසයකට හිමිකම් කියන දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ සුවිශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කර ඇත්තේ ඉන්දියාව යි. මෙතෙක් පැවති සාෆ් පාපන්දු තරග මාලාවන් 12 න් 07 කම ශුරතාව තහවුරු කර ගැනීමට ඉන්දියාවට හැකි විය.

1993,1997,1999,2005,2009,2001 සහ 2015 යන වසරවල ශූරතාව තහවුරු කර ගැනීමට ඉන්දියාව සමත්වන අතර වාරයේ අවස්ථා 04 ක දී අනුශූරතාව දිනා ඇත.

එහි දෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ මෙවර සත්කාරකත්වය ලබා දෙන මාලදිවයිනයි. ඔවුන් 2008 සහ 2018 ශූරතාවයට හිමිකම් කීහ. අවස්ථා ත්‍රිත්වයක දී ම අනුශූරතාව හිමිකරගෙන තිබේ.

ශ්‍රී ලංකාව (1995) , බංග්ලාදේශය (2003) සහ ඇෆ්ගනිස්ථානය (2013) එක් වතාව බැගින් සාෆ් පාපන්දු ශූරයින් ලෙස අභිෂේක ලබා ඇත.

1995 වසරේ කොළඹ දී පවත්වන ලද දෙවන තරගවලියේ තීරණාත්මක අවසන් තරගයේදී ප්‍රබල ඉන්දියාව ගෝල් 01 - 00 ක් ලෙස පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සම්පත් පෙරේරා ගේ නායකත්වයෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා පිලට හැකි වීම කැපී පෙනුණි.

1993 වසරේ පවත්වන ලද ආරම්භක තරඟාවලියේ අවසන් තරගයට වරම් ලබා ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකිවීම ඉහළින් අගය කළ යුතු ය.

කැලණිය පාපන්දු මධ්‍යස්ථානයේ දී සහ සෞදි අරාබියේ දී පවත්වන ලද පුහුණුවීම් ආශ්‍රිතව හා පසුගිය ජුනි මස දකුණු කොරියාවේ දී පවත්වන ලද ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි වටයට සහභාගී වෙමින් සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයින්ගෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නම් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

මෙවර තරගාවලියට මුහුණ දෙන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අයත්වන ක්‍රීඩකයින් නම් කිරීම හෙට (27) දිනයේ "රියාද්" නගරයේදී සිදු කෙරේ.

පසුගිය ජුනි මස දකුණු කොරියාවට ගිය ක්‍රීඩකයින් 23 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයින් 06 දෙනෙකුට සහභාගි විය හැකි වන පරිදි මෙවර පුහුණු සංචිතය ක්‍රියාත්මක වූයේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කරන බොස්නියානු ජාතික අමීර් ඇලජික් ගේ මගපෙන්වීම අනුව යමිනි.

කළුතර සිරි කුරුස විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන 29 හැවිරිදි සුජාන් පෙරේරා මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකත්වය සපයයි.

ශ්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණු සංචිතය

ඩබ්ලිව්.එස්.ටී.ඩී. සුජාන් පෙරේරා (අප් කන්ට්‍රි ලයන්ස්), එච්.එම්. ප්‍රභාත් රුවන් අරුණසිරි (බ්ලු ඊගල්ස්), ආර්.කේ. ධනුෂ්ක රාජපක්‍ෂ (නිව් යංග්ස්), කේ. එන්. හර්ෂ ප්‍රනාන්දු (බ්ලු ඊගල්ස්), ඒ. ඒ.එස්. රොෂාන් අප්පුහාමි (ඩිෆෙන්ඩර්ස්), යූ. එච්. ඩී. ජූඩ් චමෝද් ඩිල්ෂාන් (කලම්බු), බී. එම්. චරිත බණ්ඩාර රත්නායක (කලම්බු), වයි. ඩක්සන් පස්ලස් (නිව් යංග්ස්), ආර්. මර්වින් හැමිල්ටන් (බර්ගෙස් හිල් ටවුන්), එම්. චලන චමීර (කලම්බු), එස්. ජූඩ් සුපන් (රිනවුන්), එම්. එම් මොහොමඩ් මුස්තාක් (අප් කන්ට්‍රි ලයන්ස්), එන්. මොහොමඩ් පශාල් (බ්ලු ස්ටාර්ස්),එල්. එච්. කවිඳු ඉෂාන් (අප් කන්ට්‍රි ලයන්ස්), ඩිලන් සෙනන් ද සිල්වා (ක්වීන්ස් පාර්ක් රේන්ජර්ස්), අහමඩ් වසීම් රාසික් (අප් කන්ට්‍රි ලයන්ස්), එම්. එෆ්. මොහොමඩ් ආකීබ් (කලම්බු), එම්. ඒ. අසීකුර් රහුමාන් (ඩිෆෙන්ඩර්ස්), එම්. ඒ. මොහොමඩ් හස්මීර් (සී හෝර්ක්ස්), එස්. සුපුන් ධනංජය (රෙඩ් ස්ටාර්ස්), එම්. ජේ. රිෆ්කාන් මොහොමඩ් (ඩිෆෙන්ඩර්ස්), මොහොමඩ් ෂිෆාන් (අප් කන්ට්‍රි ලයන්ස්), නුවන් ගිම්හාන (ඩිෆෙන්ඩර්ස්), අමාන් ෆයිසර් (රිනවුන්), ආෆීල් මොහොමඩ් (කලම්බු) සහ කවීෂ් ප්‍රනාන්දු (බ්ලු ස්ටාර්ස්), එඩිසන් ෆිගරාඩෝ, දිලිප් පීරිස්

 

Comments