සාකච්ඡා සඳහා දෙමළ ඩය­ස්පෝ­රා­වට ජන­පති කළ ඇර­යුම ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

සාකච්ඡා සඳහා දෙමළ ඩය­ස්පෝ­රා­වට ජන­පති කළ ඇර­යුම ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

1 මම හිතන්නේ මේ ආරාධනාව කලෝචිත වූත් වැදගත් වූත් අදහසක්. ශ්‍රී ලංකාවේ ත්‍රස්ත්‍රවාදය පරාජය කරමින් ඉදිරියට යන මේ අවස්ථාවේදී විශේෂයෙන් ජාත්‍යන්තරයත් විවිධ සංවිධානත් මේ රටේ ජනතාවගේ සංහිදියාව ශක්තිමත් කිරීමට අන්‍යොන්‍ය වූ අවබෝධයක් අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. ඒ නිසා ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේදී අදහස් හුවමාරු කර ගැනීමට සාකච්ඡාව ඉතාමත් වැදගත් වෙයි. දෙමළ ඩයස්පෝරාව විසින් මේ රටේ දෙමළ ජනතාවට නොයෙකුත් අකටයුතුකම් වන බවත්, මදි පුංචිකම්වන බවත් ජාත්‍යන්තරය හමුවේ පවසනවා. ඒ අයගේ අභිලාෂයන් ඉටු කර ගැනීමට මේ රජයන් අපොහොසත් වනවා කියලා අපේ රජයට චෝදනා කිරීම් සිදුවෙනවා.

මේ වැරදි මතවාදයන් පැතිරවීම සම්බන්ධයෙන් එ අය සමඟ සංවාදයකට එළඹිලා එහිදී යම් අනවබෝධයක් ඇතිනම් ඒවා සපුරාලීම සඳහා කටයුතු කිරීමට ඇති අභිලාෂය සහ කැමැත්ත ප්‍රකාශය කරමින් කරන ලද මේ ප්‍රකාශය අන්තර්ජාතික වශයෙන් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අපේ රජය සංහිඳියාව නම් වන සංකල්පය පිළි අරගෙන යම් ජන කොට්ඨාසයකට යම් අඩුපාඩුවක් වෙලා තියනවා නම් එය ඉටු කිරීමට කැමැත්ත ප්‍රකාශ කිරීමයි; ජනාධිපතිවරයා විසින් දූරදර්ශීව විචාරශීලිව මෙම ප්‍රකාශ කර තියෙන්නේ.

ඒ නිසා මේ අවස්ථාවේදී දෙමළ ඩයස්පෝරාව එය ප්‍රයෝජනයට අරගෙන මේ රට බෙදන්න කඩන්න අවශ්‍ය බවට කරන වැරදි මතවාද පරාජය කරමින් ශ්‍රී ලංකාව තුළ ඒකීය රජයක් යටතේ උතුරු නැඟෙනහිර ජනතාවට යම් අනවබෝධයක් වේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ විසඳා ගැනීමට මේ අවස්ථාවේ ක්‍රියා කළ යුතුයි.

 

2 ඇත්ත වශයෙන් අභ්‍යන්තරික ප්‍රශ්න අප විසඳා ගත යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ල අපේ රටේ ජාතීන් නිසා අපේ රටේ ප්‍රශ්න අපි විසඳා ගත යුතුයි. අපි අතර සංහිඳියාව ශක්තිමත් කරමින් අපි ඒවා විසඳා ගත යුතුයි. මේ ප්‍රශ්න ජාත්‍යන්තරයට අරගෙන ගොස් අවුල් වියවුල් ඇති කරන්න හොඳ නැහැ. දෙමළ ඩයස්පෝරාව ලෝකයේ සෑම රටකටම ගිහිල්ලා විවිධ ප්‍රකාශ කරන්නේ එල්ටිටිඊ සංවිධානය සමහර විට නැවත නගා සිටුවීමට උදව් උපකාර ගැනිමට විය හැකියි. ජනාධිපතිවරයා ලෙස විචක්ෂණශිලි සහ නම්‍යශිලි බව පෙන්නුම් කරමින් මේ කළ ප්‍රකාශය ජාත්‍යන්තරය හමුවේ ප්‍රසාදයට හේතුවනවා. ඒ අයගේ ගැටලුවලට නිසි ලෙස පිළියම් සැපයීමට රජය සූදානම් බව මෙයින් පේනවා; මෙවැනි වැදගත් ක්‍රියාමාර්ගවලින් අපේ රටේ තුන්වැනි පාර්ශ්වයකට රටේ අභ්‍යන්තරයේ ගැටලුවලට ඇගිලි ගැසීමට ඇති මාර්ග ඇහිරී යනවා.

 

3 අපි අවංකවම දෙමළ ඩයස්පෝරාව සමඟ කතා කරලා දෙමළ ජනතාවට යම් අඩුලුහුඬුුකම් තියෙනවා නම් ඒ සඳහා විසඳුමක් ලබා දීමට ක්‍රියා කිරීම අපේ යුතුකමයි. තෙවැනි පාර්ශ්වයන් ඒ දෙස සුබවාදිව බැලුවද නැද්ද කියන දේ අදාළ වෙන්නේ නැහැ; අපි අපේ යුතුකම් ඉටු කළ යුතුයි. මුළු ලෝකයට පෙනෙයි; අපි එවැනි නරක මතවාදයක සිටින ජනතාව පිඩනයකට ලක්කරන රාජ්‍යයක් නොවන බව. ඒ අනුව ඒ අයගේ අදහස් ලෝකයට පෙන්වා දිය හැකියි. ජාත්‍යන්තරව අපිට කරන කුමන්ත්‍රණවලට මෙය හොඳ විසඳුමක් වෙයි.

 

4 අනිවාර්යෙන්ම අපේ නම්‍යශීලි ප්‍රතිපත්ති පිළිගත් රජයන් අපිට සහය ලබා දෙනවා. එක් එක් අයගේ දේශපාලන අවශ්‍යතාවල යෙදවීමයි ජිනිවා නුවරදී වෙන්නේ; බොහෝ රටවල් එහෙමයි. යුරෝපිය සංගමය ගත්තොත් ඒ රටවල් කොහොමත් එකතුවෙලා තමයි යම් යෝජනා පිළිබඳව තීන්දු ගන්නේ. ඇතැම් කරුණු වලදි ඒ අයට එකඟතාවක් නැති වුවත් ඒ අය එක පොකුරක් වශයෙන් ඡන්දය පාවිච්චි කරන්නේ එකට තීන්දු තීරණ ගන්න නිසයි. බොහෝ රටවල්වල්වලට බලපෑම් ඇති කරනවා මේ අය. ඩයස්පෝරාව තමයි කැනඩාව එංගලන්තය ඇමරිකාව වැනි රටවල්වල රජයන්ට බලපෑම් කරන්නේ. ජිනිවා වැනි සමුළුවලදි එක්සත් ජාතින්ගේ සංවිධාන තුළ දර්ශනය වෙන්නේ වෙන්නේ ඒ බලපෑම් විය හැකියි. ඒනිසා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඍජුව ඩයස්පෝරාව සමඟ කතාකිරීම ඉතාමත් සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. ඩයස්පෝරාව විසින් ඒ සඳහා අවංකවම කැමැත්ත ප්‍රකාශ කරන්නේ නම්; මේ ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය නම්; ජනාධිපතිවරයාගේ ආරාධනාව පිළිගෙන සාකච්ඡාවට පැමිණිය යුතුයි.

 

5 අන්තර්ජාතික සම්බන්ධතා පවත්වනවා කියන්නේ අපේ සෛවරිභාවය වෙනත් රටවලට උගස් කරනවා කියන එක නොවෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සම්බන්ධව අපේ රටට අන්තර්ජාතික වශයෙන් ඇතැම් අය කියන සියලු දේවල් සත්‍ය නැහැ.

ඒවායේ නිවැරදි තත්ත්වය පෙන්වා දෙමින් අපි ඒ අය සමඟ සුහදත්වයෙන් කටයුතු කළ යුතුයි. ඒ නිසා තමයි ජනාධිපතිවරයාම ජිනීවා නුවරට ගිහින් අප රජය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම සිදු කළේ.

සංහිඳියාව වැඩපිළිවෙළ අපේ රටේ ක්‍රියාත්මක කරනවා; ඒ පිළිබඳව කිසිඳු ප්‍රශ්නයක් නැහැ. අපි ඉටු කරන්නේ ඕනෑ අභ්‍යන්තර යාන්ත්‍රණයක් මඟින් පැහැදිලි ව කටයුතු කිරිමයි.

බාහිර පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවකට වඩා, ඒ අයගේ ඕනෑ එපාකම්වලට වඩා අපි ඉටු කරන්න අවශ්‍ය වන්නේ අභ්‍යන්තර අවශ්‍යතාවයන්.

 

1ජනාධිපතිවරයාගේ අදහස පිළිගත්තා නම් එය හොඳ දෙයක්. එකඟතාවය හොඳ ක්‍රියාවලියක්. අපි දැනටමත් අපි මේ සම්බන්ධයෙන් අපේ සතුට ප්‍රකාශ කරලා තියනවා. නමුත් ඒ අපි දෙමළ ජනතාවගේ නියෝජිතයින් ලෙස අපි ඉන්නවා. අපිත් එක්ක සාකච්ඡාවක් පවත්වනවා කියලා දින නියම කරලා එය පස්සේ කල් දැම්මා. එයත් කළා නම් වඩා හොඳයි .එකරටක් තුළ ජාතීන් කිහිපයක් හිටියත් අපි ඕනෑ ම දෙයක් එක රටක් ලෙස විසඳා ගැනීමට සුදානම්. විවිධ ජාතීන් හිටියත් එක් රටක් ලෙස ඉදිරියට යන්න අපි සූදානම්. සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් තහවුරු විය යුතුයි. රට තුළ විසඳාගන්න පුළුවන් නම් අපි කැමැතියි. ඉන් පරිබාහිරව රට දෙකට කඩන්න තුනට කඩන්න ඕන කියලා කියන අය ඉන්නවා අපි එහෙම කියන්නේ නැහැ. එනමුත් ජනාධිපතිවරයා ජිනීවා ගිහින් එ අය සමඟ සාකච්ඡාවට කැමැති කිව්වාට ප්‍රශ්නයක් නැහැ. ඕනෑම කෙනෙක් එක්ක කතා කළාට අපි විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ එක රට තුළ විසඳුමක් සොයන්න අපි එක්කයි මුලින් සාකච්ඡා කළ යුතු වෙන්නේ. අපි තමයි අපේ ජනතාව ගේ නියෝජිතයෝ. ඩයස්පෝරාව කියන්නේ අපේ රටේ ජීවත් වෙන්න බැරි තත්ත්වයන් ඇතිවෙලා රටෙන් ඉවත් වෙලා ගියා අය. එයාලට ගහලා එළවලා ඉන්පස්සේ ඒ අය මානව හිමිකම් සම්බන්ධ කාරණාවන් නොකර ඉන්න බැහැ. එයාලව සමානාත්මතාවයෙන් පිළිගෙන අපේ රටේ ජීවත් වෙන්න අයිතිය තහවුරු කරලා අපි කටයුතු කළ යුතුයි. ඒ අයව පලවා හැරලා පස්සෙ ජාත්‍යන්තරයට කියලා වැඩක් නැහැ. ඒ අයට යම් විසඳුමක් ලබා දිය යුතුයි.

 

2.රටක් ලෙස අපේ ස්ථාවරයක් තිබිය යුතු වුවත් ජාත්‍යන්තර එකඟතාවයන් සමඟ එකඟ වන බවට අපේ රටත් පොරොන්දු වෙලා තියනවා. අපේ රටත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෝ. ඒ අයගේ ස්ථාවරයේ සිට කටයුතු කිරීමට අපිත් එකඟ වෙලා තියනවා. අපේ රටත් ජාත්‍යන්තර ක්‍රමවේදයන්වලට එකඟ වෙලා කටයුතු කරලා තියෙනවා. මානව හිමිකම් සම්බන්ධයෙන් පොදුවේ කටයුතු කළ යුතුයි. එහි දී රට අභ්‍යන්තර බාහිර කියලා සලකන්න බැහැ. අපිත් ඒ ප්‍රඥප්තීන් පිළි අරගෙන තියනවා. මානව හිමිකම් අපි පිළිගෙන තියනවා. ඒ නිසා මානව හිමිකම්වලදී මුළු ලෝකෙම ඒකයි. ඒ නිසා අපිට රටේ ස්වාධීනත්වයට විරුද්ධයි කියලා කියන්න දැන් අපිට බෑ. අපිත් ඒ ගිවිසුම් ඔක්කොම අත්සන් කරලා එකඟ වෙලා තියෙන්නේ. අපේ රටත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්. අපි ගැනත් මානව හිමිකම් සම්බන්ධයෙන් අවුරුදු 4කට වරක් අධීක්ෂණයකට ලක්වෙනවා. මානව හිමිකම් මේ රටට විතරක් තියන දෙයක් නොවෙයි. අනෙක් රටවලුත් අපේ රටවල් අධීක්ෂණය කරනවා. රටේ ස්වාධීනත්වය මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් බාහිරින් වෙන බලපෑම් කියලා දැන් කියන්න බැහැ. එය සෛවරිභාවයට බාධාවක්. අපේ ස්වාධිනත්වයට බාධාවක් කියලා කාටවත් දැන් කියන්න බෑ. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ අපිත් සමාජිකයින්. අපි ඒ අය සමඟ එකඟ වෙලා වැඩ කරනවා නම් රටට අත දාන්න එපා කියන්න බෑ.

 

3 ඒ ජාත්‍යන්තර ඩයස්පෝරාව සමඟ කතා කිරීම පිළිබඳව අපේ කිසිඳු විරෝධයක හෝ කිසිදු ගැටලුවක් නැහැ. කාටවත් කතා කරලා මේ රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. අපි එක්ක කතා කළ යුතුයි; අපි මේ රටේ දෙමළ ජනතාවගේ නියෝජිතයන්. අපිට කාත් එක්ක කතා කළත් විරොධයක් නැහැ. ජනාධිපතිවරයාටම අවසානයේදි පැහැදිලි වෙයි; කාට කතා කළත් අවසානයේ අපි සමඟ කතා කළ යුතුයි කියලා. රටේ ඉන්න දෙමළ ජනතාව සමඟ කතා කරන්නේ නැතුව පිටරට ගිහිල්ලා කතා කළා කියලා ජාත්‍යන්තරය එතරම් සතුටටවත් පැහැදීමකටවත් හෝ සැලකිල්ලකට ලක්කරයි කියල මා විශ්වාස කරන්නේ නැහැ. අපි සමඟ තවම සාකච්ඡාවක් කරන්නේ නැතිව ජාත්‍යන්තරයට ගිහින් සාකච්ඡා කරලා වැඩක් නැහැ. ජනාධිපතිවරයා එහෙම කිව්වාම ජාත්‍යන්තර ප්‍රජාව සතුටු වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ අය සමඟ කතා කරනවාට වඩා අපේ ජනතාව වෙනුවෙන් ඒ අයගේ නියෝජිතයන් වන අපි එක්කයි කතා කළ යුතු වීමයි වඩා ප්‍රායෝගික.

 

4අපි රටක් විදිහට කිව්වොත් ජාත්‍යන්තරයේ කවුරුත් ඒක පිළිගන්නේ නෑ. අපි එක හඬින් කියන්න ඕනේ මේක. අනිත් එක මොනවා කිව්වොත් මානව හිමිකම් කියන්නේ ලෝකේ පුරා පැවැත්වෙන දෙයක්. රට, ස්වෛරීභාවය, ස්වාධීනත්වය කියලා ඒවා උල්ලංඝනය කරන්න බෑ. ඉතින් මේක තමයි දැන් වෙලා තියෙන්නේ. ඒ වගේ චෝදනාවල් තියෙනවා. ඉතින් ඒ චෝදනාවලට ස්වාධීනව පරීක්ෂණයක් කරන්න අපි එකඟ වෙන්න ඕනේ. අපි බය නැත්තම් , ඒ වගේ මොනවත් වෙලා නෑ කියලා අපිට කියන්න පුළුවන් නම් ඇයි අපි ඒකට බෑ කියන්නේ? ඕනෑම කෙනෙක්ට ඇවිල්ලා පරීක්ෂණ කරන්න පුළුවන් කියලා අපි ඉදිරිපත් වෙන්න ඕනේ. අපිට හංගන්න දේවල් මුකුත් නැත්තම් අපිට ඒදෙවල් වලට මුහුණ දෙන්න බය වෙන්න ඕනේ නෑ.

 

5 ඒ සමුළුවේ ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් කරපු යෝජනාවල් සම්මත වුණා. එයට පක්ෂව තමයි රටවල් කටයුතු කළේ. අපි මේ ගැන විශේෂයෙන් සතුටු විය යුතු කරුණක් නොවෙයි. 2009 මැයි 26 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කි මූන් ශ්‍රී ලංකාවට ආපු අවස්ථාවේදී නුවරට ගිහිල්ලා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂව හම්බ වුණාම එතනදි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කිව්වා මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙනවා නම්, ඒක ගැන අපි ස්වාධීනව පරීක්ෂණයක් කරනවා කියලා අත්සන් කළා.

2011 ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා; ඉන් අනතුරුවයි මේ ගැන සොයලා බලන්නෙ. මේ ඔක්කොම ක්‍රියාවලිය පටන් ගත්තේ අවුරුදු 12 කට පස්සේ කියලා යළිත් කිව්වා. ගිය ජුනි මාසයේ ජනාධිපතිතුමා කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එකතු වෙලා වැඩ කරන්න කැමතියි කියලා පොරොන්දු වුණා කියලා. මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු වෙලා තියනවා නම් ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන්න කියලා කිව්වා.

මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන පරීක්ෂා පවත්වන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය එකඟතාව ප්‍රකාශ කළා.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුසිලය සමඟ එකතු වෙලාවැඩ කරනවා කියලා නැවත වරක් නව ජනාධිපතිවරයාත් එකඟ වෙලා තියෙනවා අවුරුදු 12 කට පසුව. නමුත් තාම අපිට සාකච්ඡාවක්වත් ලැබිලා නැහැ. එයයි මූලිකව විය යුතු වන්නේ.

1දේශපාලන නායකත්වයක්, ජනාධිපතිවරයෙක්, දේශපාලන පක්ෂයක්, පොදුවේ ගත්තාම ඕනෑම විරසකයක් නොමැති කණ්ඩායමක් සමඟ කතා කිරීමේ වරදක් නැහැ. නූතන දෙශපාලනයේදි වැදගත්ම කරුණක් වන්නේ දේශපාලන කළමනාකරුවෙක් ලෙස ක්‍රියා කිරීමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විදෙස් දෙමළ ඩයස්පෝරාව සමඟ කතා බහ කිරීමේ වරදක් මම දකින්නේ නැහැ.

 

2 රටක ස්වාධීනත්වයක් තිබීම ලෝකය පිළිගැනීමක් තියන දෙයක් ඒ වගේම; අපි ලෝක පරිමාණයෙන් රටවල් අතර ඇති කරගත් එකඟතාවයන් තියනවා. මේ දෙකම අවශ්‍යයි. ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය හෝ වෙනත් කවුරු ම හෝ වේවා අපි ලෝක පරිමාණයෙන් ඇති කරගත් එකඟතා මත මැදිහත් වීම් තියනවා. නමුත් අපි එසේ එකඟ නොවන වෙනම ස්වාධීනත්වයක් අපිට තියනවා.

 

3 මේ කුමන දේශපාලන වටපිටාවක් යටතේද ජනාධිපතිවරයා අදහස් පළ කරලා තියෙන්නේ කියන කාරණාව දේශපාලන සමාජය මනිනවා. එහිදී ජාත්‍යන්තර වශයෙන් අපි පොරොන්දු වූ ඉටු නොවූ පාලනයක් මේ රටේ තියන්නේ. මානව හිමිකම් සම්බන්ධයෙන් සහ හදිසි නිතිය යටතේ යුක්තිය සාධරණත්වය වෙනුවෙන් දැවැන්ත චෝදනාවන්ට අපි ඇතුළු වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් ජාතිවාදි කණ්ඩායම් ඇතුළු සමස්ත ප්‍රජාවටම වැදගත් වෙනවා. මේ නිසා ප්‍රකාශය අගය කරන ගමන් බලවේග විසින් සහ විවේචනයන් එල්ල වීම සම්බන්ධයෙන් ප්‍රායෝගික ඒ ප්‍රකාශය ක්‍රියාත්මක වෙනවා ද කියන කාරණාව වැදගත්. අතීතයේ සිට දේශපාලනඥයන් ප්‍රකාශ කර තියන දේවල් දෙස බැලුවොත් මේ රට පාරාදීසයක් විය යුතුයි. පසුගිය සියලු මැතිවරණවල ඉදිරිපත් කළ ප්‍රකාශ අනුව මේ රටට දැන් සියලු දේවල් ඉටු වූ සෞභාග්‍යවත් රටක් විය යුතුයි.

මේ සියලු දේශපාලන බල අධිකාරය ලබාගත් පිරිස් මේ රටෙ සෞභාග්‍ය කරා ගෙන යනවා කියලනේ බලයට ආවේ. මේ සියලු දෙනාම කිව්වේ රට සංවර්ධනය කරනවා කියලා. ඒ සංවර්ධනයේ මට්ටම අපිට දැන් පේනවා. පිටරටින් ගේන බඩු ටිකත් නතර කරලා ඩොලර් නැති නිසා ගෙවන්න බැරි වෙලා තියනවා. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගත් ගත යුතුයි.

 

4 පුද්ගලික ස්වාධීනත්වයක් අපට තියනවා. ඒත් ජාත්‍යන්තර මට්ටමේ එකඟතාවයන්ටත් අපි පැමිණිලා තියනවා. ජාත්‍යන්තරයට එකඟතාවය ඇති දේ සම්බන්ධයෙන් බලපෑම් කරන්න අයිතියක් තියනවා. එකඟ නොවී සිටින දේවල් සම්බන්ධයෙන් බලපෑම් කිරීම් වැරදියි. ඒ සාධයකන් දෙපැත්තටම බෙදි යනවා. ලෝකය තුළ අපිට හුදකලාව ඉන්නත් බැහැ. තනියම ජිවත්විය යුතු තැනුත් තියනවා. මේ ස්වාධීනත්වය රැකීම ගැන කතා කිරීමේදී අපේ ආර්ථිකයෙන් සහ දේශපාලනයේ ස්වාධීනත්වයක් නැහැ.

මතුපිට ජනතාවට පේනවාට වඩා එහා ගිය දේශපාලන ගනුදෙනු සබඳතා රටේ තියනවා. ආණ්ඩු ගේන කොට එක් එක් රටවල් ඒ ඒ තනාපති කාර්යාලයන් එක් එක් දේශපාලන න්‍යාය පත්‍රයට සම්බන්ධ වෙනවා. ඒ අය යළිත් පෙරළා උදවු බලාපොරොත්තු වෙනවා; ඒ අයගේ න්‍යාය පත්‍රය අනුව ක්‍රියා කරයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි ජාත්‍යන්තර සම්මුතිවලට යන්න ඕන; එසේ නොහැකි නම් එසේ සම්මුතිවලට නොයා ඉන්න ඕන.

 

5 කවුරු හරි රටක් අපිට අත ඉස්සුවාම අපි එය අතිශෝක්ති වර්ණනාවෙන් වර්ණනා කරනවා. ඒවගේම අනෙක් පැත්තට කැරකිලා අපිට ඍණාත්මක පිළිතුරු ආවාම ඍණාත්මකව කතා කරනවා .

අපේ රට; රටක් ලෙස සහයෝගිතා ප්‍රවේශයකට එළඹුණු රටක් නොවෙයි. අධිපති දෘෂ්ටියක ඉදලා යම් කණ්ඩායම් තෘප්තිමත් කරන දේශපාලනයක් කරන්නේ. යම් යම් වෙලාවකට අපේ ප්‍රකාශයන්, එකඟතාවයන් මත මේ රටවල් එකතු වෙනවා කියලා තිරණය කරනවා.

එම රටවල් බොහෝ වෙලාවට සහය දෙන්නේ ඒ අයගේ රටවලට අපේ සහය ගන්න බලාගෙනයි. ඒ අයගේ ප්‍රශ්නවලට අපේ අත උස්ස ගන්න බලාගෙනයි. ඒ නිසා අපට යම් රටක් එකතු වුණත් අපෙන් ගැලවිලා ගියත් මහා ලොකු දේවල් ලෙස සැලකීම නොවෙයි කළයුතු වන්නේ. අපි ලෝකය තුළ අපිව විශ්වාස කරන න්‍යාය පත්‍රයකට අපි වැඩ කරනවා කියන විශ්වාසයෙන් යුතු වැඩපිළිවෙළක් රටක් ලෙස ඇති කරගත යුතුයි.

 

Comments