ෂූමාකර් දැන් පෙරට වඩා සුවෙන් සහතිකය බිරියගෙන් | සිළුමිණ

ෂූමාකර් දැන් පෙරට වඩා සුවෙන් සහතිකය බිරියගෙන්

 

''ෂූමේකර්' යනු ඉංගිරි භාෂාවෙන් සපතේරුවා ය. එහෙත් ෂූමාකර් යනු පුද්ගල නමකි. එයට කිසිදු අරුතක් ඉංගිරිසි ශබ්දකෝෂයේ නැත. එය එසේ වුව ද මානව සමාජයේ 'සුපිරි වේගයක් සහිත මෝටර් රථ ධාවකයා' හඳුන්වන්නට පහසුවෙන් ආදේශ කළ පදයක් ලෙස 'ෂුමාකර්' යොදාගත හැකි ය. එසේ කළහොත් ඊට කිසිවකුත් උරණ වන්නේ හෝ මවිත වන්නේ ද නැත. ඒ් ෂූමාකර් හා අධිවේය ගසට පොත්ත මෙන් එකට බැඳුණු කලක් පැවැති හෙයිනි. අවසානාවන්ත අනතුරකින් දීර්ඝ කාලයක් සිහිමුර්ජා වුණු අධිවේගී මෝටර් රථ ධාවකයා ගැන පසුගිය දා විදෙස් මාධ්‍ය තුළ නැවුම් පුවතක් පළ වූයේ ය.

දරුණු අනතුරකට ලක්ව දීර්ඝ කාලයක් පුරා කොමා තත්ත්වයේ පසුවෙමින් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ලෝක ග්‍රෝන් ප්‍රී මෝටර් රථ ධාවන ශූර මයිකල් ෂුමාකර් සුවය ලබමින් සිටින බව ඔහුගේ බිරිය වන කොරිනා ෂුමාකර් පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශ කළාය.

“පවුලේ උදවිය සහ වෛද්‍යවරුන් මයිකල්ව සුව කරන්නට හැම දෙයක්ම කරනවා. පෙරට වඩා ඔහු දැන් සුවය ලබමින් සිටිනවා.” යි කොරිනා ඒ් අනුව පවසා තිබුණා ය.

සත් වතාවක් ෆෝමියුලා 1 ලෝක ග්‍රෝන් ප්‍රී ශුරතාව දිනූ ෂූමාකර් මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ට තම මෝටර් රථ ධාවන ශුරයෙකි. තරග පිටියෙන් සමු ගැනීමෙන් පසු ධාවන තරග උපදේශයකු ලෙස කටයුතු කළ ඔහු නොසිතූ අනතුරකට මුහුණ දුන්නේ 2013 වසරේ දී ය.

ඒ් නත්තල් සමයේ දී ප්‍රංශයේ මෙරිබෙල් හිම පථයක හිමමත ලිස්සායාමේ ධාවන තරග වලට සහභාගී වෙමින් සිටිය දී ය. එම අනතුරෙන් මයිකල් දරුණු අනතුරකට ලක් වූයේ ය. දැඩි හිම පථයක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් මොළයේ ඇති වූ තුවාල ඔහු සිහිසුන් භාවයට පත්කරනු ලැබිණි.

එම අනතුරෙන් කොමා තත්ත්වයකට පත්වූ ඔහු යළි පියවි සිහිය තුළට රැගෙන ඒ්ම පිණිස වෛදවරුන් කණ්ඩායමක් ප්‍රතිකාර කරමින් සිටිය හ. කාලයක් රෝහල ගතව සිටි ෂූමාකර් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින්නේ ස්විට්සර්ලන්තයේ පිහිටි ඔහුගේ නිවසේ ය.

ඔහුගේ නිවස පිහිටා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ ග්ලෑන්ඩ් නගරයේ ජිනිවා විල සමීපයේ සුන්දර පරිසරයක ය. විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට මයිකල් ෂූමාකර් හට ප්‍රතිකාර කරන්නේ ඉතා විශිෂ්ට වෛද්‍ය කණ්ඩායමකි.

2013 වසරේ අනතුරට ලක් වීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් වන තොරතුරු රහසිගතව තබා ගැනීමට බිරිය කොරිනා ඇතුලු පවුලේ උදවිය කටයුතු කරමින් සිටිය හ. එය එලෙසම පවත්වා ගෙන යන බවත් අවශ්‍ය වූ විට දී මාධ්‍යයට තොරතුරු ලබා දෙන බවත් කොරිනා ප්‍රකාශ කර තිබිණි. මේ අතර ෂුමාකර්ගේ ජීවිතය අළලා පවුලේ උදවිය විසින් නිපදවන ලද වාර්තා චිත්‍රපටයක් 2019 දෙසැම්බර් මාසයේ දී ප්‍රදර්ශනය කෙරුණේ ය.

මේ අතර 2020 වසරේ දී මයිකල්ට විශේෂ සම්මනයක් හිමි විය. ඔහුට එය පිරිනැමුණේ ලන්ඩන් නුවර ආශ්‍රිතව ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගිත්වය සහිතව සිදුකරන ලද මනාප විමසීමක ප්‍රතිඵලයක් වශයෙනි.

“ග්‍රෝන් ප්‍රී මෝටර් රථ ධාවන තරග වල දී විශිෂ්ටතම පුද්ගලයා.” ලෙස ඔහු මෙලෙස සම්මානිත විණි.

මේ අතර මයිකල්ගේ පුත් 21 හැවිරිදි මික් ෂුමාකර් පියාගේ අඩි පාරේ යමින් යුරෝපයේ “එෆ් 3” කොටසේ ග්‍රෝන් ප්‍රී ධාවන තරග වලට සහභාගී වෙමින් සිටී. මික්ගේ ප්‍රාර්ථනාව ද දිනෙක තම පියා මෙන් මෝටර් රථ ධාවන තරග වල දී හොඳ දස්කම් මාලාවක් පෙන්වීමයි. 'මගේ පියා වැනි විශිෂ්ටයකු වන එක අභියෝගයක්. මම උත්සහ කරන්නේ ඔහුගේ ගෞරවය ඉදිරියට රැගෙන යාමට යි.' ෂූමාකර්ගේ පුත් මික් පවසා ඇත.

 

 

Comments