ශ්‍රී ලංකා මේස පන්දු පිලත් කටාරය ට | සිළුමිණ

ශ්‍රී ලංකා මේස පන්දු පිලත් කටාරය ට

ශ්‍රී ලංකා ජාතික මේස පන්දු කණ්ඩායම ඉකුත් සිකුරාදා (24) දින දෝහා කටාර් දේශයේ පිහිටී ලුසේල් ක්‍රීඩා සංකීර්ණය බලා පිටත්ව ගියේය. ඒ 25 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ ශූරතා මේස පන්දු තරගාවලියට සහභාගී වීමේ අරමුණිනි.

මෙවර තරගාවලිය අනිද්දා (28) දින සිට ඔක්තෝබර් 05 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙවර තරගාවලියේදී පිරිමි සහ කාන්තා කේවල, පිරිමි සහ කාන්තා යුගළ සහ මිශ්‍ර යුගල තරග බිමට පිවිසීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් 05 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 04 දෙනෙකු ගෙන් සමන්විත ය .

මෙවර පිරිමි කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යානයේ උසස් අධ්‍යාපනය හදාරන චමීර ගිනිගේ විසින් හොබවන අතර අතර නායිකාව ලෙස ඉෂාරා මධුරංගී නම් කර තිබේ.

මෙවර නායකත්වයට පත් කර ඇති චමීර ගිනිගේ සහ ඉෂාරා මධුරංගී මෙන්ම සෙනුර සිල්වා හා බිමන්දී බණ්ඩාර දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල ආශ්‍රිතව ජාත්‍යන්තර පදක්කම් ලාභීන් වෙති.

මෙම තරගාවලිය ට සහභාගි වන ළාබාලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙපළ ලෙස කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරන සෙනුර සිල්වා සහ මහනුවර හිල්වුඩ් විද්‍යාලය නියෝජනය කරන බිමන්දී බණ්ඩාර එක්ව සිටිති.

නිමේෂ් රංචාගොඩ, ඉමන්ත උදයංජ, මුතුමාලී ප්‍රියදර්ශනී සහ තනුෂී රුද්‍රිගෝ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළමු වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබාගෙන සිටීම කැපී පෙනේ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස චතුර දුෂාන් ද සිල්වා මහතා කටයුතු කරයි.ඒ මහතාට කළමනාකාර ධූරයේ කාර්ය භාරය පවරා තිබීම ද කැපී පෙනෙන කාරණයකි.

චමීර ගිනිගේ සමග සෙනුර සිල්වා ද මිලින්ද ලක්ෂිත සමඟ නිමේෂ් රංචාගොඩ ද පිරිමි යුගළ තරග බිමට පිවිසෙන අතර ඉෂාරා මධුරංගි සමග බිමන්දී බණ්ඩාර ද මුතුමාලී ප්‍රියදර්ශනී සමඟ තනුෂී රුද්‍රිගෝ ද කාන්තා යුගළ තරග වලට ඉදිරිපත් වෙති.

චමීර ගිනිගේ සමග එක්ව ඉෂාරා මධුරංගි ද සෙනුර සිල්වා සමග එක්ව බිමන්දී බණ්ඩාර ද මෙවර මිශ්‍ර යුගල සටන් බිමට පිවිසීමට නියමිතය.

පිරිමි කණ්ඩායම

චමීර ගිනිගේ (නායක), සෙනුර සිල්වා, මිලින්ද ලක්ෂිත, නිමේෂ් රංචාගොඩ, ඉමන්ත උදයංජය.

කාන්තා කණ්ඩායම

ඉෂාරා මධුරංගි (නායිකාව) බිමන්දී බණ්ඩාර, මුතුමාලී ප්‍රියදර්ශනී සහ තනුෂී රුද්‍රිගෝ.

 

Comments