වේදිකාව වෙනුවට ප්‍රේක්ෂකාගාරය දිහා බැලීමයි මා මෙතරම් දුර රැගෙන ආවේ | සිළුමිණ

වේදිකාව වෙනුවට ප්‍රේක්ෂකාගාරය දිහා බැලීමයි මා මෙතරම් දුර රැගෙන ආවේ

 

 

මොරටු පුත්‍රයකු වන චන්දන වික්‍රමසිංහ පිරිමි දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමල් දරුවා යි. ලලිතා වික්‍රමසිංහ සහ උපාලි වික්‍රමසිංහ මව්පියන් වන චන්දන අකුරු කළේ කොළඹ මහානාම විද්‍යාලයයෙනි. පාසලේ ජනප්‍රිය චරිතයක් නොවූ ඔහු වයස අවුරුදු පහේදී චිත්‍රසේන-වජිරා කලායතනයට සම්බන්ධ වන්නේ කෙසේදැයි විමසමින් මේ කතාවට මුලපුරද්දී ඊට පිළිතුරු දෙන ලද්දේ චන්දන වික්‍රමසිංහගේ දයාබර මෑණියන් විසිනි.

 

"පුංචි කාලේ ඉඳලා ම මං මෙයාගේ වෙනසක් දැක්කා. කොයි වෙලාවෙ බැලුවත් අතපය විහිදවලා අමුතු චලන දානවා. මෙයාගෙ තාත්තයි, මමයි මෙයාව එක්කගෙන ගිහින් චිත්‍රසේන-වජිරා කලායතනයට ඇතුළත් කළා. වසර පහක් එහේ නැටුම් ඉගෙන ගත්තා. ඊට පස්සේ කුලසිරි බුදවත්ත කලායතනයට යොමු කළා. ඒ නැටුම තමයි මේ තරම් දුරක් ආවේ."

දෑස් අග මතු වූ පුංචි කඳුළක් ඈ හෙමිහිට පිස දමා ගත්තාය. නර්තන කලාවෙන් ලොවක් දිනූ මේ මහා පෞරුෂයේ එදා මෙදාතුර යෝධ සෙවණැල්ල වන්නේ ඇය යි. එදා බුදවත්ත රංගායතනයේ උඩරට නර්තනය හදාරමින් පළමුව හිස් වෙස් බැ‍ඳි ශිල්පියා වූ චන්දන වික්‍රමසිංහ පසුව එතැනින් නික්ම වෘත්තීය නර්තනවේදියකු ලෙස නවීන් ගුණරත්න ගේ "සාම" මුද්‍රා නාට්‍ය කණ්ඩායමට එක් වන්නේ ය. එහිදී මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් යටතේ සාම්ප්‍රදායික උඩරට නර්තන කලාව හා ජන නැටුම් ද නර්තනවේදී රවිබන්දු විද්‍යාපති යටතේ නිර්මාණාත්මක නර්තන කලාව හා නාට්‍යමය අභිනයන් ද මුසු වූ නිර්මාණයන්ට නර්තනයෙන් දායක වෙමින් වසර අටක් තිස්සේ ලෝකයේ රටවල් හතළිහකට පමණ සංචාරය කරන්නේ ය.

පසුව ඉන් ඉවත් ව උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ කලා මණ්ඩලම් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවත් එහිදී අසනීප වීම හේතුවෙන් නැවත ලංකාවට පැමිණෙන්නේ ය. චන්දනට ශාන්ති නිකේතනයේ විශ්ව භාරතී විශ්වවිද්‍යාලයයට මඟ පෙන්වා දෙන්නේ ප්‍රවීණ සිතාර් වාද්‍ය ශිල්පී විශාරද ආචාර්ය ප්‍රදීප් රත්නායකයන් ය.

"ඇත්තට ම එතුමා තමයි මට ශාන්ති නිකේතනයට යන්න අයදුම්පත පවා පුරවා දුන්නේ. ප්‍රදීප් අයියා සිතාර් වාදනය හැදෑරුවා. මම කථකලි නර්තනය හැදෑරුවා. විශ්වවිද්‍යාලයෙන් බාහිර ව මම මනිපුරි නැටුම් ඉගෙන ගත්තා. ශාන්ති නිකේතනයේ එක පැත්තක කලා භවන තියෙනවා.

ඒකේ ළමයි චිත්‍ර අඳිනවා. සමහර තැන්වල ළමයින්ට චිත්‍ර ඇඳීම සඳහා විවිධ ඉරියව්වලින් නිරුවත් සුරූපී කාන්තාවන්, තවත් එවැනි ම නිරුවත් පිරිමි සජීවී ව පිළිම වගේ නොසෙලී ඉන්නවා මං දකිනවා. එයාලා චිත්‍රවලට නැගූ කාන්තා, පිරිමි ශරීර හැඩතල මගේ නර්තන වින්‍යාසයෙහි චිත්‍රණය වුණා. පසුකාලෙක මගේ 'ස්ටෝරි ඔෆ් සීතා' වගේ මුද්‍රානාට්‍ය මට හොඳින් කරන්න පුළුවන් වුණේ ශාන්ති නිකේතයේ ඉන්න කාලේ මම ඉගෙන ගත්ත තාණ්ඩව, ලාස්‍ය හැදෑරීම හා ස්ත්‍රී පුරුෂ ලාලිත්‍ය කලාත්මක ව අධ්‍යයනය කළ නිසයි. රාත්‍රියට ශාන්ති නිකේතනය සෞන්දර්යයෙන් පිරෙනවා. එක පැත්තක ප්‍රදීප් රත්නායක හා තවත් ඒ වගේ බොහෝ අය වයන, ගයන හඬ ඇහෙනවා. මම ඇතුළු බොහෝ අය තවත් පැත්තක නටනවා. මේ නර්තන, ගායන, වාදන එකට මුසු වෙලා හෙමිහිට උස් අහසට එකතු වෙද්දි ශාන්ති නිකේතනයේ රාත්‍රී අහස පුරා කණාමැදිරියෝ මහා කන්දරාවක් විදුලි රටා මවමින් පියාසරණවා. වසර හතරක් පුරා මම මේ පුදුමාකාර සෞන්දර්යය අත්විඳිමින් ජීවිතේ ඉගෙන ගත්තා."

"ඉගෙනීම අතරේ මම නොයෙකුත් කලායතනවලට සම්බන්ධ වෙමින් උඩරට නැටුම් ඉගැන්වූවා. අදටත් කල්කටාවේ උඩරට නැටුම් කලාව ප්‍රචලිත වෙලා තියෙනවා. අපේ රටේ හිටපු ප්‍රවීණ නර්තනවේදීන් ඒ පසුබිම එහේ හදලා තිබුණා. මගේ ගුරුවරුන්ගේ ප්‍රසංගවල මම නැටුවා. මට ආදායමකුත් ලැබුණා."

මේ සියල්ල ම හිස තුළ පොදි ගසාගෙන ලංකාවට පෙරලා පැමිණි චන්දන මොහොතකට අතරමං වන්නේ ය.

චන්දන සිය මව සමඟ

"මං ඉන්දියාවේ ඉගෙනගෙන ලංකාවට එද්දි මට මෙහේ කරන්න දෙයක් නැති තරමට ම නර්තන කලාවේ හැම පැත්තක් ම ඇහිරිලා, පිරිලා, ඉතිරිලා තිබුණා. නර්තනයේ කාන්තා සෞන්දර්යය චන්න විජේවර්ධන සම්පූර්ණයෙන් ම ඒ වෙද්දි අල්ලගෙන ඉවරයි. එක පැත්තකින් බුදවත්ත සර්, තව පැත්තකින් රාජ්‍ය නැටුම් කණ්ඩායම, ජාතික තරුණ සේවා සභා නර්තන කණ්ඩායම්, රැජිනි සෙල්වනායගම් මිස් වෙන ම පැත්තකින් නර්තන නිර්මාණ කළා. මට රිංගන්න තැනක් තිබුණෙ ම නෑ. මම වේදිකාව දිහා බලන එක නතර කරලා ප්‍රේක්ෂකාගාරය දෙසට හැරුණා. ඔන්න එතකොට මං දැක්කා ලස්සන කාන්තාවෝ වේදිකාවේ නටද්දි ප්‍රේක්ෂකාගාරයේ ඉන්න කාන්තාවන්ගේ මූණුවල සතුට ගිලිහී යනවා. ඒ අනුව මගේ ගමනට නිසි මග පෑදුනා."

උඩරට නැටුමේ ගම්භීරත්වයත්, කථකලි නැටුමේ තාණ්ඩව ලක්ෂණත්, මනිපුරු නැටුමේ ලාලිත්‍යයක්, නිර්මාණාත්මක ප්‍රාසාංගික නර්තන විලාසයන් සමඟ අපූර්ව ලෙස මුසු කර ගනිමින් විටෙක ජවසම්පන්න වූ ද විටෙක ලාලිත්‍යයෙන් යුතු වූ ද විටෙක ශෘංගාරය දනවන්නා වූ ද පිරිමි නර්තන කණ්ඩායම චන්දන වේදිකාවට සම්ප්‍රාප්ත කරන්නේ ය.

"මං ජය ගත්තේ එහෙමයි. කාන්තා පිරිමි මිශ්‍ර නර්තන කණ්ඩායමක් මම හැදුවා. මගේ මොනර නැටුම නොගිය රටක් නැති තරම්. නොදුටු කෙනෙක් නැති තරම්. මේ වෙද්දි මගේ නැටුම් කණ්ඩායම රටවල් 70වකට වඩා ගිහින් තියෙනවා.

ප්‍රේක්ෂකාගාරයේ සිටි ගැහැනු සිත් මම දිනාගත්තා.

චන්දන සිය බිරිය දිල්හානි, දුව දෙවංගි, නිවුන් පුතුන් වන මනුග හා තනුග සමඟ

 

ලෝකයේ ධනවතුන්ගේ ගැහැනු සිත් පවා මං දිනා ගත්තා. ඒ මගේ පිරිමි නැට්ටුවෝ සහ මගේ නිර්මාණවලින්.

භාරතීයේ ධනපතියකු වන මුඛේෂ් අම්භානිගේ දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් එක දිගට දින කිහිපයක් පුරා නර්තනාංග ඉදිරිපත් කරමින් මහා දැවැන්ත නර්තන කාර්යයකට දායක වන්න මට අවකාශ උදා වුණා. මොරටුවෙ ප්‍රධාන ශාඛාව ඇතුළු ව මහනුවර, මාතර, ගම්පහ, කිරිබත්ගොඩ, කෑගල්ල වගේ පළාත්වල මගේ නැටුම් පන්ති ආරම්භ කරමින් සුවිශේෂී ගුරුවරු සහ මගේ ළමයි හරහා ඊළඟ පරපුරට නර්තනය බෙදා දීම සිදු කරනවා. මගේ "සලඹ" ප්‍රසංගවලදී මේ හැම ළමයෙක් ව ම මම වේදිකාවට ගේනවා. කොවිඩ් වසංගතයෙන් රට වැහුනට ඔන්ලයින් මඟින් අදටත් මම උගන්වනවා. දරුවන් පාසල් අධ්‍යාපනයෙන් බැහැරවී උකටලි වී සිටින මොහොතක ඔවුන්ගේ රසවින්දනය, ශරීර සෞඛ්‍යය ගැන අපි මීටත් වඩා සැලකිය යුතුයි. චන්දන වික්‍රමසිංහ රංගායතනය 2020 මාර්තු මස සිට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ දරුවන්ට රසවින්දනය, නර්තනය කියා දෙමින් ඔවුන් නිවස තුළ හුදෙකලා නොකර ඔවුන් ගේ ආත්ම ශක්තිය, කාය ශක්තිය වර්ධනය කරමින් සිටිනවා. වෙනදාටත් වඩා දරුවන් තමන්ගේ ආවේග පාලනය කර ගනිමින් මේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට අනුගත වෙමින් සිටිනවා. දරුවා කුඩා කාලයේ සිට ම මොනයම් හෝ සෞන්දර්ය විෂයයකට අනුගත වේ නම් ඔවුන් මානව හිතවාදී නිර්මාණශීලී රටට වැඩදායි පිරිසක් වෙනවා. මෙය ඉතා සාර්ථක අත්හදා බැලීමක් වුණා. ලංකාව පමණක් නොව අප එංගලන්තය, කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය ද ආවරණය කරමින් මේ වන විට නර්තනයේ දිගු පියවරක් තබා හමාරයි.

අපට හැකි පමණින් අප අපගේ කලා හැකියාවන් බෙදාහදා ගත යුතුයි."

මේ වනවිට කුසපබා, පත්තිනි, යශෝධරා චිත්‍රපට නර්තන නිර්මාණය වෙනුවෙන් දෙරණ ලක්ස් සම්මානය තුන් වරක් ද පත්තිනි චිත්‍රපටයේ නර්තන නිර්මාණය වෙනුවෙන් ජනාධිපති සම්මාන ද හිමි කරගෙන ඇති චන්දනට අමරපුර සංඝ සභා විශ්ව කලා කීර්ති සම්මානයත්, ඉන්දියානු මහා ආණ්ඩුවෙන් "ස්ටෝරි ඔෆ් සීතා" මුද්‍රා නාට්‍ය වෙනුවෙන් සම්මානයකුත්, බ්‍රිස්ලා සම්මානයත් හිමිවී ඇත.

ඔහුගේ දැවැන්ත නර්තන කාර්යයට එක් අතෙකින් නිදහස ද තවත් අතෙකින් උපරිම සහාය ද ලබා දෙමින් නිවසේ හා රංගායතනයේ කළමනාකරණ කටයුතු ද දරුවන් තිදෙනාගේ කාර්යයන් ද ඉටු කරන්නේ ප්‍රිය බිරිය දිල්හානි වික්‍රමසිංහ ය. ඇය සිය දරුවන් හා චන්දන වෙනුවෙන් කෙතරම් කැපවන්නේ ද යත් කලක් දිනමිණ පුවත්පතේ නියෝජ්‍ය විශේෂාංග කතුවරිය ලෙස කටයුතු කරමින් සිටි මාධ්‍ය මෙහෙවරට ද සමු දෙමින් පත්තර කන්තෝරුවේ ලියන මේසය මත සිය පෑන හුදෙකලා කර අවුත් නිවසේ නතර වූවා ය. එක ම දියණිය දෙවංගි ඔස්ට්‍රේලියාවේ වෙස්ටන් සිඩ්නි විශ්වවිද්‍යාලයයේ සයිබර් අවකාශයේ ආරක්ෂණය පිළිබඳ උපාධිධාරිනියකි. ඇය මේ වනවිට ශාස්ත්‍රපති උපාධිය සඳහා සූදානම් වන්නී ය. තනුග හා මනුග නිවුන් පුතුන් දෙදෙනා තවමත් පාසල් වියේ පසු වේ. එළඹෙන 29 වැනිදාට යෙදී ඇති චන්දන වික්‍රමසිංහගේ උපන් දිනයට සුබ පතමින් අපි මේ කතාබහට විරාමය තැබුවෙමු.

ඡායාරූප

උපුල් නිශාන්ත

Comments