වේගයෙන් දෝලනයෙන් ලොවක් මවිත කර ක්‍රිකට් මිටියාවතෙන් ඔහු ය | සිළුමිණ

වේගයෙන් දෝලනයෙන් ලොවක් මවිත කර ක්‍රිකට් මිටියාවතෙන් ඔහු ය

 

ඩේල් ස්ටේන් යනු සිම්බාබ්වේ දේශයෙන් දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වූ මිටියාවතේ මිනිසා ය. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාව තුළ අසම සම මතකයක් බවට පත් වූ මිනිසා ඔහු ය. ප්‍රියයන්ගෙන් වෙන්වීම ශෝකී තානයක් සිතෙහි ඇතිකළ ද ඔහු දැන් ක්‍රිකට් පිටියෙන් නික්ම ගොස් අවසන් ය. කොටින්ම කියන්නේ නම් 'මිටියාවතේ මිනිසා' යළි ක්‍රිකට් පිටියේ නැත.'

 

ඔහු මුරලිට පෙර ටෙස්ට් කඩුලු 400 දවා ගත්තේ ය. කඩුලු 350 වේගයෙන් දවා ගත් ලොව දෙවැනි ක්‍රීඩකයා ඔහු ය. පන්දු දස දහසකට වඩා යැවූ ටෙස්ට් පන්දුයවන්නන් අතර හොඳම කඩුලු ලබාගැනීමේ ලකුණු සාමාන්‍ය (41.7) තබා ඇත්තේ ද ඔහුගේ නමිනි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරන සියලු රාජ්‍යයන්ට එරෙහිව කඩුලු පහක් බිඳදමා ඇති එකම වේග පන්දුයවන්නා වන්නේ ද ඔහු ම ය.

ටෙස්ට් කඩුලු 100 වේගයෙන් දවාගත් දකුණු අප්‍රිකානුවන් අතර දෙවැනි

යා වන්නේ ද ඔහු යැයි කිවයුතු ය. එහෙත් කඩුලු 150, 200 සහ 350 දවාගත් වේගවත් ම දකුණු අප්‍රිකානුවා වන්නේ ද ඔහු ම ය.

2008 වසරේ අයි.සී. සී. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් ද සම්මානිත වූ අතර 2013 වසරේ විස්ඩන් ක්‍රීඩකයා වශයෙන් නම්වී ය. ඊට පසු වසරේ දී ද ඔහු විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් සම්මාන ලැබී ය. හොලිවුඩ් සිනමා පටයකට රංගනයෙන් දායක වූ ඔහු සැබැවින්ම සැලකිය හැක්කේ සුදු අකුණු සර කියා ය. එය ඇලන් ඩොනල්ඩ්ටත් වඩා පසුකාලීන වශයෙන් ගැලපුණේ ඔහුට ය. ඒ අන්කවරකුත් නොව ලොව බිහි වූ විශිෂ්ට ගණයේ වේග පන්දු යවන්නෙක් වන ඩේල් ස්ටේන් ය. පසුගිය දා ඔහු වසර 16 ක් පුරා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලෝකයේ විවිධ ක්‍රිකට් තණතීරුවල පෑ හපන්කම් නවතා දැමීමට තීරණය කළේ ය. එහෙත් ඔහු එය තීරණය කළේ කිසිදු සමුගැනීමේ සාදයක් පවා සංවිධානය නොකරමිනි.

දසක එකහමාරක් ජගත් ක්‍රිකට් පිටියේ සුවිසල් පෙරළියක් සිදු කළ ඩේල් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට එක් වූයේ 2004 වසරේ දී ය. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි. 2019 වසරේ දී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට ආයුබෝවන් කියන විට ඔහු ටෙස්ට් කඩුලු 439 ක් දවාගෙන තිබිණි. ශ්‍රී ලාංකික ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල දවාගැනීම ස්ටේන් ගේ අවසන් ටෙස්ට් කඩුල්ල ය.

ඔහුගේ එක්දින දිවියේ ආරම්භය සනිටුහන් වන්නේ 2005 වසරේ දී ය. ඉන් ද ඔහු සමුගත්තේ 2019 වසරේ දී ම ය. ඒ අතර කාලය තුළ තරග 125 ක ට සහභාගි වෙමින් ඔහු දවාලූ කඩුලු ප්‍රමාණය 196 කි.

2005 වසරේ දී ඉන්දීය ක්‍රීඩක අසීස් නේරාගෙන් ආරම්භ කළ එක්දින කඩුලු දඩයම අවසාන ගොදුර ද ශ්‍රී ලාංකිකයෙකි. ඒ 2019 වසරේ දී ශ්‍රී ලංකා පිතිකරු උපුල් තරංග දවාගැනීම ය. ඒත් ඔහු 2020 වසර දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ රැඳී සිටියේ ය.

2007 වසරේ දී ජොහැන්ස්බර්ග් පිටියෙන් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ ස්ටේන් අවසන් ජාත්‍යන්තර විස්සයි20 තරගයට මුහුණ දුන්නේ ද ජොහැන්ස්බර් ග් පිටියේ දී ම ය. දහතුන් වසරක් පුරා ජාත්‍යන්තර විස්සයි20 තරග 47 ක ට ක්‍රීඩා කළ ඔහුගේ දඩයම් පැස පිරී ඇත්තේ කඩුලු 64 කිනි.

බොහෝ විට ඔහු ගේ පන්දු හමුවේ ගොදුරු වූයේ ලොව අංක එකේ ප්‍රබල පිතිකරුවන් ය. 2013 වසරේ දකුණු අප්‍රිකාවේ සංචාරය කළ පාකිස්තානුවන් එම සංචාරයේ පළමු තරගයේ පළමු ඉනිමේ දී පකිස්ථානු කණ්ඩායම දැඩි ‍ලෙස අසරණ වූ අතර පකිස්ථාන කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු ලකුණු 49 ක ට සීමා කිරීමේ ප්‍රමුඛයා වූයේ ඩේල් ස්ටේන් ය. ඔහු එහිදී පන්දුවාර 8.1 ක දී නිලකුණු පන්දුවාර 6 ක් ද සහිතව ලකුණු 8 ක ට කඩුලු 6 ක් දවා ගත්තේ ය. පාකිස්තානයේ දෙවැනි ඉනිමේ දී ත් කඩුලු 5 ක් උදුරා ගත් ස්ටේන් සමස්ත තරගය පුරාවට කඩුලු 11 ක් බිඳ හෙළී ය.

2008 වසරේ දී නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියෙහි කඩුලු 20 ක් දවාගත් ඔහු කැපී පෙනුණේ ය. එහිදී පළමු තරගයේ ඉනිම් දෙකේ කඩුලු 5බැගින් ද, දෙවැනි තරගයේ පළමු ඉනිමේ කඩුලු 4 ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 6 ක් දවාගෙන ස්ටේන් තරගාවලිය පුරාවටම සිය අණසක පතුරුවනු ලැබී ය. එම තරගාවලියේ වීරයා වූයේ ද ඩේල් ස්ටේන් ය.

2008 වසරේ දී ම ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ වීරයා බවට පත්වීම කැපී පෙනෙයි. තරගයේ කඩුලු 10 ක් දවා ගත් ඔහු දකුණු අප්‍රිකානු පළමු ඉනිමේදී ලකණු 76 ක් රැස් කළේ ය.

2010 වසරේ ඉන්දියාවේ සිදු කළ ටෙස්ට් සංචාරය ද ස්ටේන්ගේ ක්‍රීඩා දිවියෙහි විශිෂ්ට සැමරුමකි. එහිදී ඉන්දීය පළමු ඉනිමේ කඩුලු 7 ක් ඩැහැගන්නට සමත් වූ ඔහු එය සිය ටෙස්ට් ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් ද සටහන් කරගත්තේ ය.

2013 වසරේ දී පකිස්තානයට එරෙහිව ලකුණු 39 ක් තුළ කඩුලු 6 ක් බිඳ හෙලීම ඔහුගේ එක්දින දිවියේ හොඳම පන්දු යැවීම ය. 2007 වසරේදී සිය දෙවැනි විස්සයි20 තරගයේ දී ම ස්ටේන් ලකුණු 9 ක ට කඩුලු 4 ක් බිඳ ‍හෙලීම හොඳම විස්සයි20 පන්දු යැවීම යි.

Comments