ලාන්ස් ආම්ස්ට්‍රෝං දැන් මොකද කරන්නේ? | සිළුමිණ

ලාන්ස් ආම්ස්ට්‍රෝං දැන් මොකද කරන්නේ?

ලාන්ස් ආම්ස්ට්‍රෝං ගැන වසර කීපයකට පෙර විදෙස් පුවත් තුළ නොකියවුණු අවස්ථා ඉතා විරල ය. ඔහු ඒ තරමට පුවත්පත් සිරස්තල මැවූ ක්‍රීඩකයෙක් විණි. ඊට හේතුව වූයේ ප්‍රංශ සවාරියේ අඛණ්ඩව ජයග්‍රහණ රැසක හිමිකරුවා වීමත් පිළිකා රෝගයට එරෙහි සටනක නිරත වෙමින් සුවය ලබා සිටින්නකු වීමත් ය. ඉතා හොඳින් වෙළෙඳ ලෝකය තුළ ඉහළ මිලක් හා අවස්ථාවක් හිමි කර ගෙන සිටි ආම්ස්ට්‍රෝං වෘත්තීය ක්‍රීඩා ජීවිතය තුළ වෙළෙඳ සන්නාම ප්‍රවර්ධනයෙන් සැලකිය යුතු මුදලක් උපයන ලද ධනවන්තයකු වී සිටියේ එහෙයිනි.

එහෙත් පසු කලෙක ඔහු තම ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා උත්තේජක භාවිත කළ බවට අනාවරණය වීමත් එය පිළිගැනීමත් සමඟ ආම්ස්ට්‍රෝං ලෝකය තුළ අපවාදයට ලක් වූවකු බවට පත්විණි. කෙසේ වෙතත් එදා ජනමාධ්‍ය තුළ මහා වීරයකු වූ ආම්ස්ට්‍රෝං අද ජීවිතය ගෙවන්නේ කෙසේ ද? මේ ඒ ගැන සංක්ෂිප්ත සටහනකි.

ලාන්ස් ආම්ස්ට්‍රෝං 1999 වසරේ සිට 2005 වසර දක්වා ටුවර් ඩි ප්‍රාන්ස් නැත හොත් ප්‍රංශ පාපැදි සවාරිය අඛණ්ඩව ජය ගත්තේ ය. එහෙත් තහනම් උත්තේජක ලබා ගැනීමට තමන් ද සම්බන්ධ බවට ඔහු හෙළිදරවු කිරීමෙන් අනතුරු ව ආම්ස්ට්‍රෝං සතුව තිබූ අසමසම කීර්තිය බිඳී ගියේ ය. ඉන් සිදු වූයේ ඔහු ලැබූ එකී ජයග්‍රහණ සියල්ල අවලංගු කර දමන බව සංවිධායකයන් ප්‍රකාශ කිරීමයි. එයින් අනතුරු ව ඔහු ගැන මතකය ක්‍රීඩාලෝලීන්ගේ මතකයෙන් වියැකී ගියේ ය. එහෙත් ඔහු කරන්නේ කුමක්දැයි ඉඳහිට හෝ සොයා බැලීමට අකැමැති වන්නෝ විරල ය. ඒ මන්දයත් තහනම් උත්තේජක ගත්තා යැයි කීව ද සත් වතාවක් ප්‍රංශ පාපැදි සවාරිය ජය ගැනීම වූ කලි අසීරු ක්‍රියාවලයක් වන හෙයිනි.

ආම්ස්ට්‍රෝං දැන් ඉන්නේ කොහේ ද?

ඔහු දැන් ජීවත් වන්නේ අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් හි ය. ඒ 1990 වසරේ සිටම ය. එහි කිසිදු වෙනසක් සිදු කරන්නට ආම්ස්ට්‍රෝං ක්‍රියා කර නැත. කෙසේ නමුත් තමන්ට අයත්ව තිබූ අක්කර 1.7 ක ඉඩමක් හදිසියේ විකුණා දැමීමට ඔහු ක්‍රියා කළ බව විදෙස් පුවත් වාර්තා සඳහන් කළේ ය. ඒ ඔස්ටින් හි පිහිටි මේබ්‍රි කඳවුර ආසන්නයේ පිහිටා තිබූ ඉඩමක් බව ද පැවැසුණේ ය. එහෙත් එය විකුණා තවත් එවැනි ම විශාල ඉඩමක් මිල දී ගැනීමට ඔහු ක්‍රියා කර තිබුණු බවද පැවසිණි. ඒ ඔස්ටින් හි වයඹ දිග ප්‍රදේශයට වන්නට ය.

දැනට ඔහු ජීවත් වන නිවෙස අමෙරිකානු ඩොලර් මිලියන 7.5 ක් පමණ වටිනාකමකින් යුක්ත වන අතර එය කාමර පහකින්, විශාල පිහිනුම් තටාකයකින් හා භූගත වයින් ගබඩාවකින් සමන්විත බව කියැවෙයි.

පසුගිය කාලයේ ලොව ප්‍රකට පුවත් ආයතනයක් විසින් ආම්ස්ට්‍රෝං දැන් ජීවත් වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් වාර්තා වැඩසටහනක් සකස් කර තිබිණි. එහිදී ඔහු වේගයෙන් ජනාදරයට පත්වීම, පිළිකාව හා කළ සටන, ප්‍රංශ සවාරියේ ශූරතා දිනීම මෙන් ම ක්‍රීඩා ජීවිතයේ මහා ඇදවැටීම අදාළ වාර්තා වැඩසටහනට ඇතුළත් ව තිබුණේ ය. එයට ඔහුගේ කණ්ඩායම් සගයන් මිතුරන් ප්‍රතිවාදීන් සහ ජනමාධ්‍යවේදීන්ගේ අදහස් ද එක්කර තිබුණු බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

මේ වන විට ඔහු කෝපි සලක හිමිකරුවෙකි. ඒ ඔස්ටින් හි ප්‍රධාන නගරයට පිටත ප්‍රදේශයේ ජුආන් පෙලෝටා කැෆේ (Juan Pelota Cafe) යනුවෙන් පවත්වාගෙන යන කෝපි හල හේතුවෙනි. එම ගොඩනැඟිල්ලේ ම පාපැදි සාප්පුවක් ද පවත්වාගෙන යන්නේ මෙලෝ ජොනී’ස් යනුවෙනි. එය ඔහු තම පාපැදි සාප්පුවට තබා ඇත්තේ පාපැදි කණ්ඩායමක් වන (maillot jaune) න් බිඳී එන ලෙස ය.

එසේම ඔහු ලාභ නොලබන පුණ්‍යායතනයක් ‘වොන්ඩර්ස් ඇන් වොරීස්’ යනුවෙන් පවත්වාගෙන යනු ලබයි.

එසේම ඔහු අමෙරිකානු පාපැදි කොටස් නිෂ්පාදන සමාගමක තාක්ෂණ උපදේශකයකු ලෙසද කටයුතු කරන බව සඳහන් ය. ඔහු ප්‍රවර්ධන සමාගමක් පවත්වාගෙන යන අතර, එමඟින් විවිධ ව්‍යාපෘතීන් සංවිධානය කර සාර්ථකත්වයට පත්වී ඇත. ඒ අතර ටෙක්සාස් හා කොලරොඩෝ හි පාපැදි තරග සංවිධානය කිරීමද සිදු කර තිබේ. අන්තර්ජාලය ඔස්සේ සාර්ථක ව වෙළෙඳ සලක් පවත්වාගෙන යන බව ද පැවසෙයි.

 

Comments