ලංකාවේ ජනප්‍රිය ම යූ-ටියුබ් නාළිකා 5 මෙන්න | සිළුමිණ

ලංකාවේ ජනප්‍රිය ම යූ-ටියුබ් නාළිකා 5 මෙන්න

 

 

රසවින්දන ගත්තම 60/70 දශකය කාලයේ කලා මාධ්‍ය අතරේ පෙරමුණේ පසුවුණේ සිනමාවයි. පසුව 1979 දී රූපවාහිනිය පැමිණීමත් සමඟ එතෙක් පැවති සිනමා කර්මාන්තයට අභියෝගය කරමින් රූපවාහිනිය පෙරට ආ අයුරු අප දුටුවා? දැන් 2021 වර්ෂයේ මේ වෙද්දී තාක්ෂණයේ දියුණුවත් සමඟ රූපවාහිනීයට අභියෝග කරන්නට කොතෙකුත් නම් සමාජ මාධ්‍ය ප්‍රවණතා බිහි වී තිබෙනවද? ඒ අතර අද වඩාත් ජනප්‍රිය ම මාධ්‍ය බවට පත් වී තිබෙන්නේ යූ -ටියුබ් නාළිකා බව නොරහසක්. වයස් භේදයකින් තොරව තරාතිරම් පසෙකලා හැමෝම උත්සාහ කරන්නේ මේ යූ -ටියුබ් නාළිකා අතරේ තම ස්ථාවරය හදා ගන්නට.

අද මේ සොයා බැලීම මෙ‌ෙතක් ලංකාවේ පවතින යූ -ටියුබ් නාලිකා අතරේ වැඩි ම සබ්ස්ක්‍රයිබ්‍රස්ලා ප්‍රමාණයක් ඉන්න යූ -ටියුබ් නාළිකා 5 ගැන. අපි ඔබට මේ සමීප කරන්නේ 2021.09.20 දිනට සංඛ්‍යාලේඛන සටහන් අනුවයි. මේ සටහන් දිනෙන් දින තව තවත් ඉදිරියට යන බව නම් නොඅනුමානයි.

 

1 යොහානි

මෑත කාලයේ ලංකාවේ සේම ඉන්දියාවේ දැඩි කතා බහක් ඇති කරන්නට සමත් වූ යොහානි සහ සතිෂාන් ගැයූ මැණිකේ මගේ හිතේ ගීතයත් එක්ක ඉතාම කෙටි කාලයක් ඇතුළත යූ-ටියුබ් සබ්ස්ක්‍රයිබ්‍රස්ලා මිලියන දෙකේ සීමාව පසු කර යන්නට යොහානි සමත් වුණා.

ඒත් සමඟම අද (2021.09.20) දිනට යූ-ටියුබ් සබ්ස්ක්‍රයිබ්‍රස්ලා ප්‍රමාණය මිලියන 2.37 ක් එකතු වී ඇති හෙයින් මෙතෙක් ලංකාවේ වැඩි ම සබ්ස්ක්‍රයිබ්‍රස්ලා ප්‍රමාණයකට හිමිකම් කියමින් එකේ සිටි අපේ අම්මා යූ-ටියුබ් නාළිකාව අංක දෙකට පත් වී තිබෙනවා. 2016 මාර්තු 1 වෙනිදා ආරම්භ කර ඇති යොහානිගේ යූ-ටියුබ් නාළිකාව වටා මේ වෙද්දී ඉන්න විව්ස් ප්‍රමාණය මිලියන 170 (170,737,281) ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර පසුගියදා මැණිකේ... ගීතය යූටියුබ් ගෝලීය දර්ශකයේ පළමු නිර්මාණ 10 අතරට එක් වුණා.

 

2 අපේ අම්මා

අපේ අම්මා යූ-ටියුබ් නාළිකාව වයස් භේදයකින් තොරව බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ නාළිකාවක්. මේ නාළිකාව කරන්නේ ශ්‍රී ලංකා රජයේ ගුරුවරියක්. පාසලේ පන්ති කාමරයෙන් ඔබ්බට ගොස් අන්තර්ජාලය ඔස්සේ ඔබේ නිවසටම පැමිණ ගුරු ජීවිතයේ වගේම ළමා කාලයේ සිට මෙතෙක් ලැබු අත්දැකීම්, දැනුම, ආකල්ප කුසලතා බෙදා ගන්නා අපූරු රසවත් නාළිකාවක් කිව්වොත් නිවැරදියි. 'ශ්‍රී ලංකිකයන්ගේ දිවට හුරු' වෙනත් රටවල් වල ආහාරත්, ආයුර්වේද ඖෂධ සහ පැළෑටි ගැනත් මෙම යූ-ටියුබ් නාළිකාවෙන් කියා දෙනවා.

2016 අප්‍රේල් 15 ආරම්භ කරන ලද අපේ අම්මා යූ-ටියුබ් නාළිකාව අද (2021.09.20) දිනට යූ-ටියුබ් සබ්ස්ක්‍රයිබ්‍රස්ලා ප්‍රමාණය මිලියන 2.25 ක් සහ මිලියන 395 (395,830,035) ඉක්මවා ගිය විව්ස් ප්‍රමාණයකට හිමිකම් කියමින් ලංකාවේ වැඩි ම සබ්ස්ක්‍රයිබ්‍රස්ලා ප්‍රමාණයක් තියෙන යූ -ටියුබ් නාළිකා අතරේ දෙවන තැන සිටිනවා. අදටත් වැඩිම විව්ස් ප්‍රමාණයක් ඉන්න නාළිකාව විදියට ගත්තොත් අංක එක වන්නේ ද අපේ අම්මා යූ-ටියුබ් නාළිකාව.

 

 

3 විනී ප්‍රඩක්ෂන්

 

අනුරාධපුරයෙන් එහා කිලෝමීටර් 107ක් පසු කර යද්දී තියෙන පදවිය වැලිඔය ප්‍රදේශයේ ඇතාවැටුණවැව ගමේ ඉන්න කොල්ලෝ හතර දෙනෙක් එකතු වෙලා පටන් ගන්න විහිළු වීඩියෝ වල එකතුවක් විනි ප්‍රඩක්ෂන් කියන්නේ. විනි කියන නම යොදන්නෙත් විරාජ්, ඉෂාර, නිසල් සහ ඉෂාන් යන මිතුරන් හතර දෙනාගේ මුල් අකුරු වලින් වීමත් විශේෂත්වයක්.

 

2014 දෙසැම්බර් 21 පටන් ගන්න මේ යූ -ටියුබ් නාළිකාව 2020 නොවැම්බර් මාසය වන විට ලක්ෂ 5ක සබ්ස්ක්‍රයිබ්‍රස්ලා ප්‍රමාණයක් එකතු කරගන්නවා. එතැන් පටන් අද අපි මේ ලිපිය ලියන මොහොත වෙද්දී මිලියන 1.54ක සබ්ස්ක්‍රයිබ්‍රස්ලා ප්‍රමාණයකට හිමිකම් කියමින් ලංකාවේ වැඩිම සබ්ස්ක්‍රයිබ්‍රස්ලා ප්‍රමාණයක් ඉන්න යූ -ටියුබ් නාළිකා අතරේ තුන් වෙනි තැනට පත්ව තිබෙනවා. ඒ එක්කම මේ මොහොත වෙද්දී ඉන්න විව්ස් ප්‍රමාණය මිලියන 170 (170,873,907) කට අධිකයි.

 

4 Handiworks

 

වැඩිම සබ්ස්ක්‍රයිබ්‍රස්ලා ඉන්න චැනල් 5 අතරේ 4 වෙනි ස්ථානයේ අද (2021.09.20) දිනට රැඳී සිටින්නේ Handiworks යූ-ටියුබ් නාළිකාව. මේ නාළිකාව තුළින් අපට සමීප වන්නේ අත් එම්බ්රොයිඩර්, සැරසිලි, මැහුම්, කඩදාසි ශිල්ප, සහ තවත් බොහෝ නිර්මාණ ඉතා පහසුවෙන් සහ අලංකාරව කර ගන්නට හැකි ආකාරය.

Handiworks යූ-ටියුබ් නාළිකාව ආරම්භ කරලා තියෙන්නේ 2014 සැප්තැම්බර් 22 ක. අද (2021.09.20) දිනට යූ-ටියුබ් නාළිකාව ඉන්න සබ්ස්ක්‍රයිබ්‍රස්ලා ප්‍රමාණය මිලියන 1.5ක් වන අතර විව්ස් ප්‍රමාණය මිලියන 135 (135,911,457) ඉක්මවා තියෙනවා.

 

 

5 Chanux Bro

 

5 වෙනි තැනට ඉන්නේ වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකු සහ සමාජ මාධ්‍ය උපදේශකයෙක් වන චැනක්ස් බ්‍රෝ. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු මුලින් ම ඔහුගේ සංගීතය උඩුගත කිරීම සඳහා යූ ටියුබ් නාළිකාව ආරම්භ කර ඇත්තේ 2008 වසරේ අගෝස්තු මස 18 වැනි දින. පසුව ඔහුගේ මිතුරන්ගේ ඉල්ලීම මත තාක්‍ෂණය හා මෘදුකාංග ආශ්‍රිත කරුණු විස්තර කිරීම සඳහා වීඩියෝ නිර්මාණය කිරීමට පටන් ගෙන තිබෙනවා.

මේ වෙද්දී යූ-ටියුබ් නාළිකාව සමඟ ඉන්න සබ්ස්ක්‍රයිබ්‍රස්ලා ප්‍රමාණය මිලියන 1.42ක්. එක්කම අද (2021.09.20) දිනට විව්ස් ප්‍රමාණය මිලියන 124 (124,085,049) ඉක්මවා තියෙනවා.

Chanux සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය පෞරුෂය (එටිසලාට් සම්මාන), ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය යූ ටියුබර් (එටිසලාට් සම්මාන), ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය අධ්‍යාපන ව්ලෝගර් (එටිසලාට් සම්මාන), යූටියුබ් රිදී නාට්‍ය බොත්තම් සම්මානය, යූටියුබ් රන් නාට්‍ය බොත්තම් සම්මානය සහ වඩාත්ම ජනප්‍රිය යූ ටියුබර් (ගූගල් අයි / ඕ සම්මානය) යන සම්මාන ද දිනා තිබෙනවා.

Comments