රුසියානු සාහිත්‍යයට පෙම් කළ සාහිත්‍යධරයකුගේ සමුගැන්ම | සිළුමිණ

රුසියානු සාහිත්‍යයට පෙම් කළ සාහිත්‍යධරයකුගේ සමුගැන්ම

 

කොළඹ රුසියානු කේන්ද්‍රයට අනුබද්ධ රුසියානු සාහිත්‍ය කවය බිහිකිරීමේ පුරෝගාමී මෙහෙවරක් සිදුකළ කෘතහස්ත සාහිත්‍යධරයෙක් වූ ප්‍රවීණ ලේඛක සිරිමාන්න කරුණාතිලකයන් පසුගිය 05 වැනි දින සිය දිවිසැරිය නිමා කළේ ය. වසර 15 ක කාලයක් රුසියානු සාහිත්‍ය කවයේ ලේකම්වරයා වශයෙන් අනුපමේය සේවයක් කළ ඔහු අපෙන් සමුගන්නා විට එහි අනුශාසකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියේ ය.

මෙරට කීර්තිමත් සාහිත්‍යධරයෙකු වන ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයන්ගේ සහ ප්‍රවීණ ලේඛක සිරිමාන්න කරුණාතිලකයන්ගේ පුරෝගාමීත්වයෙන් ‘රුසියානු සාහිත්‍ය කවය’ ආරම්භවන්නේ අදින් වසර 16 කට පමණ ඉහත කොළඹ රුසියානු කේන්ද්‍රයේ අධ්‍යක්ෂ මිහායිල් උස්තිනොෆ්ගේ කාලයේ දී ය. ඒ, 2005 වසරේ අප්‍රේල් මාසයේ දිනක ය.

එතැන් සිට මේ දක්වා රුසියානු සාහිත්‍යය මෙරට ප්‍රචලිත කිරීම සඳහා සිරිමාන්න කරුණාතිලකයන් විසින් සිදුකරන ලද කාර්යභාරය සුළුපටු නොවේ. 2005 වසරේ සිට සෑම වසරක් පාසා ම නොකඩවා පවත්වන ලද රුසියානු සාහිත්‍ය උත්සවය සංවිධානය කරන්නට රුසියානු සාහිත්‍ය කවයේ ලේකම්වරයා ලෙස සිරිමාන්න කරුණාතිලකයන් ඉතා උනන්දුවෙන් කටයුතු කළේ ය.

1938 ඔක්තෝබර් 11 දා නානුඔය දී උපත ලද ඔහු පාසල් අධ්‍යාපනය නිමකර 1958 දී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ජාතික සුළු කර්මාන්ත සංස්ථාවෙනි.

1972 ලංකා තුනී ලෑලි සංස්ථාවට ඇතුළත් වන ඔහු 1978 දක්වා එහි සේවය කළේ ය. 1972 දී කොළඹ විශ්වවිද්‍යාලයීය සේවක අධ්‍යාපන ආයතනයට ඇතුළත්වන ඔහු ගෞරව සාමාර්ථයක් ලබා එම බාහිර පාඨමාලාවෙන් සමත්වෙයි. එනිසා ම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අභ්‍යන්තර සිසුවෙකු ලෙස ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගනු ලැබුව ද, අධ්‍යයන නිවාඩු නොලැබීම නිසා ඒ අවස්ථාව ඔහු වෙතින් ගිලිහී ගියේ ය.

එසේ වුවද, 1973 දී ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය හෙවත් නැඟෙනහිර ජර්මනියේ බර්ලින් හි පිහිටි ෆ්‍රිට් හෙකර්ට් ජාත්‍යන්තර වෘත්තීය සමිති පාසලේ ද, 1974 -1975 කාලයේ දී මොස්කව් හි උසස් දේශපාලන විද්‍යායතනයේ ද, 1981 චෙකොස්ලොවැකියාවේ ප්‍රාග් නුවර ඇන්ටොනින් සපටොස්කි විප්ලවකාරී වෘත්තීය සමිති මධ්‍යම පාසලේ ද, 1985 මොස්කව් හි එන්. එම්. ශෙවර්නෙක් ජාත්‍යන්තර වෘත්තීය සමිති පාසලේ ද ඔහු අධ්‍යයන පාඨමාලා හැදෑරී ය.

ඒ හා සමාන්තරව එම්. ජී. මෙන්ඩිස්, එන්. ෂන්මුගදාසන්, ජැක් පෙරේරා, එල්. ඩබ්ලිව්. පණ්ඩිත, කේ. ඒ. ඊ. බ්‍රිටෝ, බාලාතම්පෝ ආදී වෘත්තීය සමිති ව්‍යාපාරයේ පුරෝගාමී නායකයන්ගේ සෙවණේ වැඩෙමින් 1958 සිට පුරා තිස්වසරක් ලංකාවේ සටන්කාමී වෘත්තීය සමිති ව්‍යාපාරය වෙනුවෙන් කැපවී කටයුතු කළේ ය.

1968 දී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු බවට පත්වන ඔහු විසිපස් වසරක් එහි ක්‍රියාකාරිකයෙකු ලෙස ද, ලෝක සාම මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා සාම මණ්ඩලයෙහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ලෙස ද කටයුතු කළේ ය.

රුසියානු සාහිත්‍යය හා දේශපාලනය පිළිබඳව පොත් ගණනාවක් ම ලියා ඇති ඔහුගේ කෘතීන් අතර ‘නත්තල් තෑග්ග (කෙටිකතා-2006), ප්‍රේම පුරාණේ (ගී පද මාලා - 2006), අඩසියවසක මතක සුවඳ (මතක සටහන් - 2008), ශ්‍රී ලංකා - සෝවියට් - රුසියා සබඳතා (ශාස්ත්‍රීය - 2017), ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය හා සෝවියට් දේශයේ මූලාරම්භය (ශාස්ත්‍රීය - 2017), ඔක්තෝබර් විප්ලවය හා සෝවියට් දේශයේ මූලාරම්භය - නව සංස්කරණය (ශාස්ත්‍රීය-2018) සහ දැදිගම වින්සන්ට් රුද්‍රිගු - දෙරටක් යා කළ මානවවාදී සාහිත්‍යධරයා (ශාස්ත්‍රීය- 2019) යන කෘති ඒ අතර ප්‍රධාන වෙයි.

රුසියානු සාහිත්‍යය අපට සමීප කළ කෘතහස්ත පරිවර්තක දැදිගම වී. රුද්‍රිගු ඉතා සමීපව ඇසුරු කිරීමේ භාග්‍යය ලද සිරිමාන්න කරුණාතිලකයන් ලියූ ‘දැදිගම වින්සන්ට් රුද්‍රිගු - දෙරටක් යාකළ මානවවාදී සාහිත්‍යධරයා’ ග්‍රන්ථයට පෙරවදන සපයන රුසියානු සාහිත්‍ය කවයේ වත්මන් ලේකම් ආචාර්ය රන්ජන දේවමිත්‍ර සේනාසිංහයන් මෙසේ සඳහන් කරයි.

සිරිමාන්න කරුණාතිලක චරිතයෙහි තවත් පැතිකඩක් වන්නේ සාහිත්‍යය යි. සිය ජීවිත අත්දැකීම් ද, පොතපතින් උකහාගත් දැනුම් සම්භාරය ද, දේශ දේශාන්තරවල සංචාරයෙන් ලත් අත්දැකීම් ද සිය ජීවිත පරිඥානයෙන් පෝෂණය කරමින් සාහිත්‍ය නිර්මාණකරුවෙකු ද, ඉතිහාස පර්යේෂකයෙකු ද වශයෙන් ඔහු කරනා මෙහෙවර විද්වත් පර්ෂදයන් හි සම්භාවනාවට පාත්‍රව ඇත්තේ ය. රචකයාගේ පරිණත බව විශද කරන මහගු නිදසුනක් වන ‘ශ්‍රී ලංකා - සෝවියට් - රුසියා සබඳතා’ නම් ඔහුගේ අගනා ශාස්ත්‍රීය ග්‍රන්ථය මොස්කව් හි ජනතා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය මඟින් අගැයීමට ලක්කරමින් සම්මානයට පාත්‍රකිරීම එහිලා මනා සාක්ෂියකි.’

එවන් මහඟු සාහිත සද්කාර්යයක් කර දැයෙන් සමුගත් රුසියානු සාහිත්‍ය කවයේ හිටපු ලේකම් හා අනුශාසක ප්‍රවීණ ලේඛක සිරිමාන්න කරුණාතිලකයන්ට රුසියානු සාහිත්‍ය කවයේත්, මෙරට රුසියානු සාහිත්‍යකාමීන්ගේත් ආචාරය මෙසේ පළකර සිටිමු.

Comments