රාජිත-චන්න ගැටෙති සරත්-ජගත් පැටලෙති | සිළුමිණ

රාජිත-චන්න ගැටෙති සරත්-ජගත් පැටලෙති

දේශපාලන ක්ෂේත්‍රයේ උණුසුම් වාද විවාද මත ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයකි. ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂය අතර මත ගැටුම් පවතින්නේ සාම්ප්‍රදායික ආකාරයටය. එවැනි ගැටුමක් පසුගිය සතියේ දක්නට ලැබුණේ පාර්ලිමේන්තුවේදීය. 22 වැනි බදාදා එම ගැටුම ඇති වූයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ දොස්තරවරුන් දෙදෙනෙකු අතරවීමද විශේෂත්වයකි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සහ ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් පසුගිය 21 වැනිදා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සිදු කරන ලද ප්‍රකාශයට පසුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වර්තමාන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න විසින් 22 වැනිදා පාර්ලිමේන්තුවේ දී පිළිතුරු ලබාදීම නිසා ඔවුන් දෙදෙනා අතර දැඩි වචන හුවමාරුවක් ඇති වී මැතිසබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

 

මීට ආණ්ඩු පක්ෂ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරු ද එක්වෙනු දක්නට ලැබිණ. එහිදී ආණ්ඩු පක්ෂයෙන් හොරු - හොරු යැයි රාජිත මන්ත්‍රීවරයාට චෝදනා කරනු ඇසිණ.

රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිව සිටියදී 2015 අංක 25 දරන පනත මඟින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවනු ලැබුවේම වංචනික ක්‍රියා කිරීමට බවත් එම ආයතනය දුර්වල, අංගවිකල, සංජානනීය ආබාධ සහිත වූවක් බවටත් චෝදනා කළේය. ඊට වංචනික සභාපතිවරයකු පත් කරගත් අතර ඔහුට විරුද්ධව ඇති නඩු තීන්දුව කියවන්නැයි ද ජයසුමන මහතා කීය.

සේනාරත්න සෞඛ්‍ය ඇමැති කාලයේ දී ඖෂධ මිල ගණන් අඩු කළ බව කිව්ව ද එක් පිළිකා ඖෂධයකින් රුපියල් මිලියන 830 ක වංචාවක් සිදු කර ඇති බව ද, පිළිකා ඖෂධ ගෙන්වීමෙන් තවත් විශාල වශයෙන් වංචා සිදු කර ඇති බවට ද චෝදනා කළේය.

ඊට අමතරව ඖෂධ නිෂ්පාදනය කිරීමට යැයි කියමින් බුලත්සිංහල ප්‍රදේශයෙන් රුපියල් මිලියන 90 කට ගොඩනැගිල්ලක් මිලට ගෙන එය අලුත්වැඩියා කිරීමට තවත් රුපියල් මිලියන 40 ක් වැයකර ඇතැයි ද කීය. ඔහුගේ කාලයේ දී මෙරට තුළ සේලයින් නිෂ්පාදනය කිරීමට නොහැකි වූයේ එම නිෂ්පාදන සමාගම්වලින් "කප්පම්" ඉල්ලූ නිසා යැයි ද රාජ්‍ය ඇමතිවරයා සේනාරත්න මන්ත්‍රීවරයාට චෝදනා කළේය.

තමන් රේන්ජ්රෝවර් වාහනයක්, කෝට්ටේ ප්‍රදේශයෙන් මිලියන 200 ක් වටිනා නිවසක්, හෝටල් මිලදී ගෙන ඇත්නම් ඒ බව ඔප්පු කළහොත් ඒවා සේනාරත්නගේ නමට පවරා දීමට කටයුතු කරමින් රාජ්‍ය ඇමති ධූරයෙන් මෙන්ම මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වන බවට ද ජයසුමන අභියෝගයක් කළේය.

මේ අතර තම මහාචාර්ය උපාධිය ලබාගනු ලැබුවේ සපුරාලිය යුතු ලකුණු ප්‍රමාණය මෙන් තුන් ගුණයක් ලබා ගනිමින් බව ද රාජිත සේනාරත්නගේ බිරිය පශ්චාත් උපාධිය ලබාගත් පරීක්ෂකයාම තමන් හට මහාචාර්ය උපාධිය ලබාදීමේ පරීක්ෂණය පැවැත්වූ බව ද ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද කියා සිටියේය.

මේ අතර ආණ්ඩු පක්ෂයේ ද ජනතා නියෝජිතයන් කිහිපදෙනෙකු අතර යම් පැටලිලි තත්ත්වයක් ඇතිවීම පිළිබඳව ද දේශපාලන ක්ෂේත්‍රයේ අවධානය යොමු විය.

පාදුක්ක හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මාරුකර නව පොලිස් ස්ථානාධිපතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් මෙම ජනතා නියෝජිතයන් අතර මත ගැටුම් ඇති වී තිබුණි.

නව පොලිස් ස්ථානාධිපතිවරයා පාදුක්ක පොලිස් ස්ථානයට පත්කිරීම සම්බන්ධයෙන් ජගත් කුමාර මන්ත්‍රීවරයා ආචාර්ය සරත් වීරසේකර, ගාමිණී ලොකුගේ යන ඇමතිවරුන්ට චෝදනා කළ අතර එම අමාත්‍යවරුන් දෙදෙනා එම චෝදනා ප්‍රතික්ෂේප කළහ.

කෙසේ නමුත් මෙම ගැටුම මඟින් වාසිය ලබාගන්නේ විපක්ෂය බව දැනගත් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මෙම ගැටුම සමථයකට පත් කිරීම සඳහා මැදිහත් වූහ.

 

සරත්-ජගත් ආරවුල විසඳන්න පසුපෙළින් මෙහෙයුමක්

 

"ජගත් අපි මේක නතර කරමු. ඔව් දිගට ඇදගෙන යන්න එපා. පසුපෙළ මන්ත්‍රීවරුන් ජගත් කුමාර හමුවී කළ යෝජනාවට ජගත් යම්කිසි එකඟත්වයක් පළ කළේය. ඊට පසුව සංජීව එදිරිමාන්න, ප්‍රමිත බණ්ඩාර, මිලාන් ජයතිලක, කුට්ටිආරච්චි, අජිත් රාජපක්ෂ, වසන්ත යාපා බණ්ඩාර ඇතුළු පිරිසක් කෙළින්ම ගියේ ඇමැති සරත් වීරසේකරගේ පාර්ලිමේන්තු කාර්යාලයටය.

"ඇමතිතුමා අපි එන්නද? එන්න එන්න ඔයාලා එනවා කිව්ව නිසා තමයි මම ඔෆිස් එකට වෙලා හිටියෙ." යනුවෙන් සරත් වීරසේකර අමාත්‍යවරයා පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසට ආරාධනා කළේය.

"මේ මත ගැටුම අපි හැමෝටම හොඳ මදි. ඒ නිසා මේක නතර කරමු කියන එක තමයි අපේ යෝජනාව." කතාව පටන් ගත්තේ ප්‍රමිත බණ්ඩාරය.

මගේ පැත්තෙනුත් ප්‍රශ්නෙ කියන්නම්. පාදුක්ක ඕඅයිසී පත්කරද්දී මම කාටවත් විශේෂ සැලකිල්ලක් හෝ කාටවත් විශේෂ අසාධාරණයක් කරලා නෑ. ඉතින් ඇයි මම බොරුවට බැණුම් අහන්නේ. අනික මම අවුරුදු 35 ක් නේවි එකේ හිටපු අවුරුදු 04 ක් සිවිල් ආරක්ෂක ඩීජී තනතුරේ ඉඳලා රටට සේවයක් කරපු මිනිහෙක්. ජගත්ට තිබුණා මේ ගැන මීට වඩා වගකීමෙන් වැඩකරන්න. ඔබතුමාලත් මම වැරදි ජගත් හරි කියලා හිතනවා නම් ඒක අසාධාරණයි." යනුවෙන් සරත් වීරසේකර පැවසුවේය.

නෑ නෑ අපි එහෙම මතයක් දැරුවේ නැහැ. අපි ඔබතුමාව මුණගැහෙන්න ආවෙ ප්‍රශ්නේ ගැන පූර්ව නිගමන තියාගෙන නෙවෙයි. එහෙම කියමින් සංජීව එදිරිමාන්න ඇමති සරත්ගේ සැකය දුරු කළේය.

"හරි මම එකඟයි. ආයේ මගෙ පැත්තෙන් මොකුත් වෙන්නේ නෑ. හැබැයි ජගත්ට කියන්න දවස ගානෙ බැණ අඬගහන එක කරන්න එපා කියලා." යනුවෙන් සරත් වීරසේකර දැනුම් දුන්නේය.

පසුපෙළ මන්ත්‍රීවරුන් යළි ජගත් කුමාර ළඟට ගොස් මේ තොරතුරු දැනුම් දුන්නේය. බොහෝවිට ප්‍රශ්නෙ ඉවර වෙයි. යනුවෙන් මෙය සමථයකට පත් කිරීමට මැදිහත් වූ පසුපෙළ මන්ත්‍රීවරුන් තුළ යම් විශ්වාසයක් ඇති වී තිබුණි.

'ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පසුගිය 17 වැනි සිකුරාදා පස්වරුවේ ඇමරිකාව බලා පිටත්ව යන්නට සූදානම් වූයේ ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා එසේ දිවයිනෙන් බැහැරව යාමට මත්තෙන් වගකීම් කිහිපයක් ඉටුකර තබන්නට ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය.

ඒ අතර කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකායේ රැස්වීම ද එක් වැදගත් කරුණක් විය.

සුපුරුදු පරිදි පැමිණෙන දේශපාලනඥයෝ, සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක බලධාරීන්, වෛද්‍යවරු හා නිලධාරීන් සියල්ලන්ම පාහේ එදා මේ සඳහා සහභාගි වූයේ සූම් තාක්ෂණය ඔස්සේ ය.

පළමුවෙන්ම ජනාධිපතිවරයා මෙහිදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළේ එන්නත්කරණය මාතෘකාව කොටගෙනය.

"කොහොමද දැන් එන්නත්කරණය. හැමතැනම සාර්ථකව වැඩේ සිදු කෙරෙනවා නේද.?"

"මේ වෙලාවේ අපට පොඩි ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා සර්. ප්‍රවණතාවක් විදියට 20 - 30 අතර අය එන්නත් කරද්දි හැමෝම ඉල්ලන්නේ අපට ''ෆයිසර්'' ම ගහන්න කියලයි. අනිත් එන්නත් ගහගන්න තියෙන උනන්දුව අඩුයි."

 

හැම එන්නතක්ම හොඳ බව ජනපති කියයි

 

"ඒ කතාවට පදනමක් නැහැ නේ. මොන එන්නත ගැහුවත් ආරක්ෂාව හොඳයි. ෆයිසර් ම ඕන කියනවා නං ඒක වැරදි මතයක්. අපේ ඉන්න එන්නත්කරණය පිළිබඳ විශේෂඥයො යොදවලා ඒ ගැන ජනතාවට අවබෝධ කරවන්න. " ජනාධිපති උපදෙස් දුන්නේය.

"ඔය වගේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ කොයි කොයි තැන් වල ද කියලා කිව්වොත් අපටත් පුළුවන් මැදිහත්වෙලා ජනතාවට කරුණු කියලා තේරුම් කරලා දෙන්න." බන්දුල ගුණවර්ධන කීවේය.

"දැන් වෙලා තියෙන්නෙ. ලෝක පරිමාණ වශයෙනුත් මතයක් හැදිලා තියෙනවනේ ''ෆයිසර් තමයි හොඳම'' කියලා. ඒක නිසා අපේ රටේ තරුණ පරපුර අතරේ ප්‍රශ්නයක් තියෙනවා. අපි දැනට 20 - 30 අතර ඉන්න තරුණ පරපුරට කරුණු පැහැදිලි කරලා දෙන්න වැඩසටහනක් ලෑස්ති කරලා තියෙනවා. මම මේ ගැන තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහට උපදෙස් දුන්නා යෞවන සමාජ සම්මේලනය හරහා තරුණ තරුණියන්ට මේ එන්නත් ගැන කරුණු පැහැදිලි කරලා දෙන්න. අපි ඒක කැම්පේන් එකක් විදියට ජනතාව අතරට ගෙනියනවා."නාමල් එම වැඩපිළිවෙළ ගැන විස්තරයක් කළේය.

"ඒක හොඳයි. රටේ ප්‍රසිද්ධ අය යොදාගෙන ඒකට හොඳ කැම්පේන් එකක් ලෑස්ති කරන්න. අනිත් එක තමයි තරුණ පරපුරේ අය විශාල වශයෙන් සේවය කරන කර්මාන්තශාලාවල එන්නත්කරණය හොයා බලන්න."

"දැනටමත් ගාමන්ට් ෆැක්ටරිවල වැඩ කරන අය අතරේ එන්නත්කරණය ඉතාම සතුටුදායකයි. ඒ අතරේ ඔය කීල්ස්, කාගිල්ස් වගේ සුපර්මාකට් ජාලවලින් ඉල්ලීමක් තියෙනවා ඒගොල්ලොන්ගෙ ආයතනවලට එන්නත් කරන්න වෙනම දවසක් වෙන් කරන්න කියලා." නාමල් එසේ කියන විට ජනාධිපතිවරයා හමුදාපතිගේ මූණ බැලුවේය.

"ඒක අපිට ලෑස්ති කරලා දෙන්න පුළුවන් සර්. කිසි ප්‍රශ්නයක් නෑ." හමුදාපති කීවේය.

 

ග්‍රාමීය ආර්ථිකය නැංවීමට බැසිල් කළ යෝජනාව

 

ඉන්පසුව සියල්ලෝම අවධානය යොමු කළේ රට තවදුරටත් වසා තැබීමට සෞඛ්‍ය බලධාරීන් ඉදිරිපත් කරන යෝජනාව ගැනය.

"මම ලෝකයේ වෙනත් රටවල්වල වෛද්‍යවරු, වසංගත රෝග විශේෂඥයෝ, ආර්ථික විශේෂඥයෝ, තම රජයට උපදෙස් දෙන ආකාරය නොයෙකුත් මාධ්‍ය මඟින් අධ්‍යයනය කළා. රටවල් මේ විදියට වහලා තියෙන එක ගැන ඒ ගොල්ල සතුටු නෑ. හැබැයි අපේ රටේ නම් රට වහලා තියන එක ගැනම තමයි කතාව. ඒ වුණාට රජයක් හැටියට අපට මේක හැමදාම කරන්න බැහැ. අපිට සල්ලි ඕන. සල්ලි උපයන්න නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න ඕන. ජනතාවත් එහෙමයි. ඒගොල්ලො නිෂ්පාදන ක්‍රියාවලියට, සේවාවන්ට දායක වුණොත් විතරයි එයාලගෙත් අතමිට සරු වෙන්නේ. අපේ මුදල් ඇමතිතුමා මොකද කියන්නේ මේ විදිහට අපිට දිගටම පවතින්න පුළුවන් ද.?"

"මම හිතනවා සමහර ආයතන අපිට දැනටමත් යම්කිසි ප්‍රතිශතයකින් අරින්න පුළුවන්. ලෑන්ඩ් රෙජිස්ට්‍රිය ආර්. එම්. වී. එක තව දුරටත් මේ විදියට වහගෙන ඉඳලා තේරුමක් නෑ. සීමාසහිතව අරින්න පුළුවන්. රටටත් ආදායමක් එනවා. ජනතාවටත් වැඩ කෙරෙනවා.

ඒ වගේම තමයි කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසායකයෝ බිඳ වැටෙන්න නොදී ආරක්ෂා කරගන්න ඕන. සීමිත පිරිසකගෙන් හරි ඒව පටන් ගන්නවා නම් තමයි හොඳ." මුදල් සංසරණය හා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම ගැන ඇමති බැසිල් එසේ කතා කරන්නට විය.

 

වැක්සීන් ගැන වැදගත් කතාවක්

 

ඉන්පසුව සියල්ලෝම අවධානය යොමු කරමින් කතා කළේ සමාජය තුළ යම් යම් සංවිධානාත්මක කණ්ඩායම් හිතාමතා වැරදි මත ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාව ගැනයි.

"කතා කරන්න දන්න අය, කතා කරන්න වුවමනා අය නිහඬව ඉන්නවා. අනවශ්‍ය අය කතා කරනවා. සෞඛ්‍ය සේවයේ මේ තරම් විශේෂඥයෝ ඉදිද්දි සෞඛ්‍ය සේවයේ කටයුතු ගැන කතා කරන්නේ වෙනත් අය. බලාගෙන ගියාම ඒගොල්ලො වෘත්තීය සමිති නියෝජිතයෝ. ඒගොල්ලො කෙළින්ම එක එක දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රවලට වැඩ කරන අය. ඉතින් එයාලා කොහොමද ජාතික මාධ්‍යවලින් ජාතික සෞඛ්‍ය සේවය ගැන කතා කරන්නේ. රටේ වැරදි මත පැතිර යන්න මූලිකම හේතුව ඒකයි." යනුවෙන් ජනපති පෙන්වා දුන්නේය.

"කිසිම එන්නතකින් එහෙම වෙන්නේ නැහැ. හැබැයි එන්නත නොගෙන ඉඳලා කොවිඩ් හැදුනම ඒ වැලඳුණු කෙනෙක්ට ලිංගික බෙලහීනතාවය ඇතිවෙන අවදානම වැඩියි. ඒක නිසයි අපි කියන්නේ කොවිඩ් හදාගන්න එපා කියලා." වෛද්‍යවරු කරුණු පැහැදිලි කළහ. "උගත් වෛද්‍යවරු පුළුවන් තරම් ඒ පණිවිඩය ජනතාව අතරට ගෙනියන්න."

"තරුණ පරපුර තමයි මේ වගේ වැරදි මත ප්‍රචාරය කරන අයගේ ඉලක්කය"

"අපිත් ඒ අය අතරට ගිහින් වරද නිවැරදි කරමු. තරුණ පරපුරේ ආදරය දිනාගත්ත නළු නිළියෝ ක්‍රීඩකයෝ වගේ අය යොදාගෙන එයාලා තුළින් ජනතාව අතරට පණිවිඩය අරන් යන්න. ඔය එක එක ස්ටාර්ස්ලා ඉන්නවනේ."

"මේගොල්ලෝ වැඩිපුර ඇටෑක් කරන්නේ ''සයිනොෆාම්'' එන්නතට. ඒකනේ වැඩිපුර තියෙන්නේ. ඒත් ඇත්තටම සයිනොෆාම් එන්නත තමයි වැඩිම ප්‍රතිඵල දෙන එන්නත විදියට පරීක්ෂණවලින් තහවුරු වෙලා තියෙන්නේ." ප්‍රසන්න ගුණසේන කීවේය.

"සුපර්බ් වැක්සීන් කියලා එකක් තාම ලෝකෙ කොහෙවත් නෑ. නමුත් සයිනොෆාම් ප්‍රතිඵල අතින් ඉහළයි." මහාචාර්ය නීලිකා මලවිගේ කීවාය.

පශ්චාත් කොවිඩ් සංකූලතා ඇති අයට ප්‍රතිකාර කිරීමට ආයුර්වේදය සතු හැකියාව ගැන සිසිර ජයකොඩි විස්තරයක් කළේය.

2020 වසරට වඩා 2021 වසර ආර්ථිකමය වශයෙන් ඉදිරි දැක්මක් සහිතව වැඩ කරන වසරක් බව පෙන්වා දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරි ආර්ථික සැලසුම් ගැන විස්තරයක් කළේය. සංචාරක ව්‍යාපාරය පිළිබඳ තබා තිබෙන විශ්වාසය හා ඉලක්ක ගැන ඔහු පැහැදිලි කිරීමක් කළේය.

 

වෛද්‍ය ඒලියන්තගේ අභාවයෙන් අගමැතිවරයා කම්පා වෙයි

 

දේශපාලනඥයන්, ක්‍රීඩකයන්, කලාකරුවන් ඇතුළු ප්‍රකට පුද්ගලයන්ට මෙන් ම සාමාන්‍ය අහිංසක ජනතාව වෙනුවෙන් තම ආශිර්වාදය යටතේ රෝග රැසක් සුව කළ වෛද්‍ය එලියන්ත වයිට්ගේ අභාවයෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස කනගාටුවට පත්ව සිටියේය. තමා සමඟ ද කාලයක් ඉතා සමීපව ඇසුරු කළ ඒලියන්ත වයිට් වෛද්‍යවරයා දෙස් විදෙස් ප්‍රකට පුද්ගලයින් පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද ප්‍රතිකාර කරමින් කළ මෙහෙවර ඉතා අගය කරන බව අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ අභාවය ගැන ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ලසිත් මාලිංග, සචින් තෙන්දුල්කාර්, ඉයන් චැපල් ඇතුළු ප්‍රවීණ ක්‍රීඩකයන් මෙන් ම ශාරුක් ඛාන්, සල්මන් ඛාන් ඇතුළු කලාකරුවන් රැසක් ද විවිධ රෝගාබාධවලට වෛද්‍ය ඒලියන්ත වයිට්ගෙන් ප්‍රතිකාර ලබාගෙන සුව වී තිබිණි.

විවිධ රෝගාබාධ තිබෙන අහිංසක මිනිසුන් වෙනුවෙන් ද ඒලියන්ත වයිට් ආශිර්වාද ක්‍රමයක් ඔස්සේ රෝග සුවපත් කළ අතර නුවරඑළියේ දී රිය අනතුරකින් සුෂුම්නාවට හානි සිදුවී එක්තැන්ව සිටි පාසල් සිසුවියක් වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ ප්‍රතිකාර ඔස්සේ සුව විණි.

අවුරුදු 50 ක් ආයු විඳ කොවිඩ් නිව්මෝනියාව හේතුවෙන් මරණයට පත් වූ වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ අභාවයෙන් පසුව එම ආශිර්වාද සුව කිරීමේ ක්‍රමය ඒලියන්ත වයිට් වෛද්‍යවරයාගේ දුව සහ පුතා විසින් කරගෙන යාමට තීරණය කර තිබේ.

 

බැසිල්ට අමුතු අත්පුඩියක්

 

මුදල් ඇමති බැසිල් රාජපක්ෂයන් පසුගිය බදාදා පාර්ලිමේන්තු රැස්වීම් ශාලාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවිය. කෙරවලපිටිය බලාගාරයේ ආයෝජන ගිවිසුම හැමඅතින්ම රටට යහපත් එකඟතාවක්. මේ ආයෝජනයෙන් ලැබෙන ලොකුම සහනය තමයි විදුලි ඒකකයක නිෂ්පාදන වියදම විශාල ලෙස අඩුවීම. දැවිතෙල් වෙනුවට LNG ප්‍රභවයට මාරුවීම ඉතා හොඳ පරිසර හිතකාමී ප්‍රවේශයක්. ඒ විතරක් නෙවෙයි බලශක්ති ක්ෂේත්‍රයේ දැනට ඉන්න ලෝකෙ ලොකුම ආයතනය මේ වෙලාවෙ අපේ රටේ ආයෝජනයකට පැමිණීමම ජයග්‍රහණයක්. අපි වවුල්ලුද කියල අහන අයට මට කියන්න තියෙන්නෙ ඔය වවුල් කතාව අහන්න තිබ්බෙ මාව මහ රෑ හිරේ දාන වෙලාවෙ. අපි කවදාවත්ම ඒවට පළිගන්න ගියෙ නෑ. ඒ තමයි අපේ මනුස්සකම. හැබැයි ඒ අතීතය අමතක කරන්න නම් බෑ. මුදල් ඇමතිතුමා කතාව පටන් ගත්තෙ කෙරවලපිටිය ගිවිසුම ගැන කතා කරමින්ය.

මගෙ පළවැනි අයවැය හැම ක්ෂේත්‍රයක් දිහාම ගැඹුරින් හිතල බොහොම සද්භාවයෙන් හදන අයවැයක්. නැතිබැරි මිනිස්සුන්ට බරක් නැති අයවැයක් ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. බදු ප්‍රතිපත්තියේ ලොකු වෙනසක් කරන්න වෙයි. සමහර බදුවලින් දේශීය නිෂ්පාදකයව උස්සල පොළවෙ ගහල තියෙන්නෙ. බය වෙන්න එපා මේ අයවැය ස්වදේශීක නිෂ්පාදකයින්ට වසන්ත සමයක් වේවි. මන්ත්‍රී කණ්ඩායම මුදල් ඇමතිතුමාගෙ කතාව අනුමත කළේ දැවැන්ත අත්පොළසන් ප්‍රතිචාරයකින්.

රැස්වීම් ශාලාවෙන් යද්දී ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් මුදල් ඇමතිතුමා ළඟට ගිහින් කිව්වලු. මම අවුරුදු 30 ක් විතර මේ හෝල් එකේ රැස්වීම් වලට ඇවිත් තියෙනවා. ඒත් මෙතනදි මේ තරම් සද්දෙට අත්පුඩි ගහනව ඇහුණෙ අද තමයි කියලා.

 

සජිත්ගෙන් පත්තර 02 ක්

 

සමගි ජනබලවේගයට පසුගිය සතිය විශේෂ වූයේ ඔවුන්ගේ නිල පුවත්පත "බලවේගය" සහ "අයික්‍ය කුරල්" පුවත්පත් දෙක එළිදැක්වීම යෙදී තිබීම නිසාය.

පුවත් පත් එළිදැක්වීමේ උත්සවය තිබුණේ සෙනසුරාදා දහවල් සූම් තාක්ෂණය හරහා ය.

පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු, සමගි ජන බලවේගය පක්ෂ නායකයන්, ආසන සංවිධායකවරු ඇතුළු විශාල පිරිසක් zoom තාක්ෂණය හරහාත්, ෆේස්බුක් ජාල හරහාත් මේ අවස්ථාවට එක්ව සිටියහ. පුවත්පත් එළි දැක්වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතිනි.

"ඕනෑ තරම් පක්ෂවලට අනන්‍ය වෙච්ච නිල පුවත්පත් තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා බලවේගය සහ අයික්‍ය කුරල් පුවත්පත අපේ පාක්ෂිකයන් වගේම අපේ පාක්ෂිකයන් නොවෙන පිරිස් පවා ආකර්ෂණය කරගන්න පුවත්පතක් බවට පත් වෙයි කියලා. අද තියෙන්නෙ දියුණු ලෝකයක්. ඒ දියුණු ලෝකය ඇතුළේ සම්ප්‍රදායික පක්ෂ පුවත්පත කාර්යභාරයෙන් එහාට ගිහිල්ලා විප්ලවීය වැඩ කොටසක් කරන්න මේ පුවත්පත් දෙකට හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා." සජිත් කීවේ එවැන්නකි.

"බලවේගය පුවත්පතට මේ රටේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදීන් වගේ ම, පුවත්පත්වල හිටපු කර්තෘවරුම පස් දෙනෙකුට වඩා සම්බන්ධයි." ඉම්තියාස් රහසක් හෙළි කළේය.

"එහෙනම් ඉතින් හොඳම පත්තරයක් වෙන එක ගැන අහන්න දෙයක් නෑනේ" මහලේකම් රංජිත් කීවේය. පුවත්පත් අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟ විශාල පිරිසක් එය කියවන්නට පටන් ගත් අතර බොහෝ දෙනෙකුගෙන් ලැබුණේ ඉතාම ප්‍රශංසනීය සුබපැතුම් ය.

"පුවත්පත zoom තාක්ෂණය හරහා ම ලංකාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අයට පිළිගන්වන්න. මුලින්ම ලංකාවේ ජාතික පත්තරවල ප්‍රධාන කර්තෘවරුන්ට පිළිගන්වන්න" පුවත්පත් එළිදැක්වීමේ කාර්යයේ නියමුවා ලෙස සිටී ඉම්තියාස්ට කතා කළ සජිත් කීවේය. "ඒ වගේම ලංකාවේ හැම ගමකම බලවේගය පුවත්පතට සම්බන්ධ නියෝජිතයෙක් සම්බන්ධ කරගන්න. එය හැම කෙනෙක්ටම විශේෂ වගකීමක් දෙන්න." සජිත් ඒ උපදෙස් දුන්නේ මහලේකම් රංජිත් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ය.

 

නාමල්ගෙන් තරුණයන්ට තෑග්ගක්

 

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් පීඩා විඳින මහජනතාව වෙත මානසික සුවදායීතාවය ලබා දීම වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ be happy with youth (තාරුණ්‍ය සමඟ ජීවිතය විඳින්න) වැඩසටහන නර්තන, සංගීත හා ප්‍රහසනාත්මක අංග ඇතුළත් සංස්කෘතික ප්‍රසංගයක් ලෙස පසුගිය 12 වැනිදා සිට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වේ..

යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේ සංකල්පයකට අනුව නිර්මාණශීලී අලුත් අලුත් අදහස් ඇති ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ බස්නාහිර පළාතේ තට්ටු නිවාස සහ එන්නත්කරණ මධ්‍යස්ථාන ආශ්‍රිතව මහ ජනතාවගේ මානසික සුව සහනය උදෙසා සෞන්දර්යාත්මක සටහනක් ලෙස ආරම්භ කෙරුණු මෙම වැඩ සටහනේ පළමු වැන්න නාරාහේන්පිට ඇන්ඩර්සන් නිවාස සංකීර්ණය ආශ්‍රිතව පැවැත් විණි.

Comments