රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ ශාස්ත්‍රීය ප්‍රබෝධය | සිළුමිණ

රාජ්‍ය සාහිත්‍ය සම්මානයේ ශාස්ත්‍රීය ප්‍රබෝධය

 

2020 රාජ්‍ය සාහිත්‍ය සම්මානය - මෙවර ශාස්ත්‍රීය කෘති සඳහා විෂයයන් හතරක් යටතේ සම්මාන පිරිනැමුණි. ඒ කෘති මෙසේය.

විවිධ විෂයික ග්‍රන්ථ - සමාජ ශාස්ත්‍ර “ ආහාරපාන පුරාණය” මිල්ටන් ප්‍රනාන්දු. මානව ශාස්ත්‍ර “මන්ටො” එරික් ඉලියප්ආරච්චි. පරිවර්තන “ප්‍රමුදිත ජීවිතයක්” උඩගම්වල සීලරතන හිමි. ශාස්ත්‍රීය හා පර්යේෂණ “කෞටිල්‍ය (චානක්‍ය) අර්ථ ශාස්ත්‍රය” ජී. ඒ. නාලිනි. මේ එම සම්මාන කෘති අතරින් ප්‍රධාන විෂය ධාරාවන් හතරක කතුවරුන් සමඟ පැවැත්වූ සංවාදයකින් උපුටා ගත් කෙටි සටහනකි.

කෞටිල්‍ය (චානක්‍ය)

අර්ථ ශාස්ත්‍රය

ජී. ඒ. නාලිනි

සරසවි ප්‍රකාශනයකි.

දුරකථනය 0112 834 729

 

ක්‍රි. පූ. 150-300 අතර කෞටිල්‍ය හෙවත් චානක්‍ය නමින් හැඳින්වෙන විස්මිත මනසකින් යුත් පුද්ගලයා විසින් (කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය) මෙම ශ්ලෝක ලියා ඇත. ඔහු විශ්ණු ගුප්ත නමින් ද හැඳින්වේ. ඍග් වේදයේ නිපුන රාජ්‍ය පාලනය පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකි.

නන්ද පරපුර බලයෙන් පහකර ඔහු විසින් පුහුණු කළ චන්ද්‍ර ගුප්ත කුමරු මගධ රාජ්‍යයේ බලයේ පිහිටුවනවා. ඒ ධර්මාශෝක රජු දක්වා පුළුල් වන මෞර්ය අධිරාජ්‍යය යි. රජු බලයේ පිහිටවූ ඔහු රජුගේ ආචාර්යවරයා (ගුරු) ලෙස මෙම ග්‍රන්ථය ලියනවා. න්‍යාය, රටක් තුළ භාවිතයට නැගූ එකම ආචාර්යවරයා ඔහු ය. එය සංස්කෘත බසින් ලියූ ශ්ලෝක 380 කින් යුක්තයි. මා පරිවර්තනය කළේ ආචාර්ය එල්. එන්. රනග් රාජන් මහතා විසින් මේ ශ්ලෝක ගද්‍යයට පෙරළා සංස්කරණය කළ, විමර්ශනය කර මාතෘකා අනුව පෙළ ගස්වමින් ඉංග්‍රිසි බසින් ලියූ ග්‍රන්ථයයි.

ඒ මඟින් කෞටිල්‍යගේ වැදගත්කම ඔහු මනා ලෙස හුවා දක්වා තිබෙනවා. මුලින්ම ශ්ලෝක සහිත පුස්කොල පොත් සොයා ගත්තේ ආචාර්ය ශර්මා ශාස්ත්‍රී. ඔහුගේ සංස්කරණයට පසු ආචාර්ය ආර්. පී. කාන්ගල් මහතාද මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කර තියනවා. වඩාත්ම පුළුල් විමර්ශනාත්මක මෙම සංස්කරණය මඟින් කෞටිල්‍යගේ නියම වටිනාකම හුවා දක්වා ඇති අතර එය 1990 වර්ෂයේදී පළ වුණා.

මේ පරිවර්තනයේ මාතෘකා අනුව පරිච්ඡේද බෙදා තිබෙනවා. රජයේ මූලිකාංග, රජතුමා, පාලන සංවිධානය, භාණ්ඩාගාරය, අයවැය, මුදල් පාලනය, ගණන් පරීක්ෂාව, සිවිල් රෙගුලාසි, දෙපාර්තමේන්තු, නීතිය සහ සාධාරණත්වය, චර පුරුෂ සේවය, විදේශ ප්‍රතිපත්තිය, ආරක්ෂාව සහ යුද්ධය යනාදි වශයෙන් මාතෘකා බෙදා තියෙනවා.

කෞටිල්‍ය ජනතාවගේ ශුභ සාධනය ගැන රජුගේ ඇති වැදගත්කම හුවා දක්වනවා. එනම් ජනතාවගේ සතුට මත රජුගේ සතුට රඳා පවතිනවා. ඔවුන්ගේ ශුභ සාධනය රජුගේ ශුභ සාධනයයි. (1.9.34) ශ්ලෝකය

කෞටිල්‍ය පවසන්නේ 19 වන සියවසේ තියඩෝර් ශුල්ට්ස් විසින් යුරෝපා කලාපයේ හඳුන්වා දුන් මානව ප්‍රාග්ධන න්‍යායෙ Human Capital Theory මත මානව ශුභ සාධනය සපයන රාජ්‍ය ශුභ සාධන සංකල්පය ගැන නොවෙයි.

ඔහු කියන්නෙ අධ්‍යාපනය හා සෞඛ්‍යය ඉහළ නැංවීමට රජය මුල් වීම මඟින් ජනතාවගේ ඵලදායීත්වය නැංවීමට එය උපකාර වීම ගැන පමණයි. කෞටිල්‍යගේ කාලයේ අධ්‍යාපනය කුමාර පෙළැන්තියට පමණයි. සෞඛ්‍යය ජනතාවගේ පෞද්ගලික කටයුත්තක්. ඒවායේ ඒ යුගයට අනුව සමාජ ගැටලු තිබුණේ නැහැ.

ජනතා ශුභ සාධනයට වින කරන එදත් ගැටලු ඕන තරම් තිබුණා. කෞටිල්‍ය එය හඳුන්වන්නේ යෝගක්ෂේම කියා. යෝග කිව්වේ අභිමතාර්ථ සපුරා ගැනීම. ක්ෂේම කිව්වේ ඒ මඟින් ලබන සාමකාමී සතුට.

සෞභාග්‍යය පිළිබඳ සාමකාමී සතුට මේ සඳහා අධ්‍යාපනයයි, සෞඛ්‍යයයි විතරක් ගැන හිතලා බැහැ. මෙයට කෞටිල්‍ය කියන පරිදි ධර්මය මත රඳා පැවතීම සහ සාධාරණ අපක්ෂපාති වීමක් උවමනායි.

ජනතාවගේ අහිංසක දිවිපැවැත්මට හිරිහැර කරන සොරුන් (හැම ආකාරයකම) මංකොල්ලකරුවන්, මුහුදු කොල්ලකරුවන්, වස විස මත්දුව්‍ය වෙළෙන්දන් මැඩලීම කළ යුතුයි. එමෙන්ම ජනතාවගේ යහපත සඳහා භාණ්ඩ විකිණීම කළ යුතුයි. ඔහුගේ වෙළඳාමේ මූලධර්මය ඒකයි. වෙළඳුන්ට කෘතීම භාණ්ඩ හිඟ මවනන් ට කිසිසෙත් ම රජය ඉඩ නොදිය යුතුයි. (4.2.26, 27) දේශීය ලාභ ඉම ඔහු දක්වන්නේ 5% යි. ආනයන වෙළඳාමට 10% යි.

නගර, ගම් අංලකරණය ගැනත්, ඒවා දිගටම ඒ විදියට නඩත්තු කරන හැටිත්, ජනතාව අතර සිටින දුර්වල කොටස් ආරක්ෂා කිරීම ගැනත් විශේෂයෙන් සඳහන් කරනවා.

යුක්තිය පසිඳලීමට ගෙන ගිය විට සත්‍ය දැනගැනීමට වද නොදිය යුතු ලැයිස්තුවක් දක්වනවා.

යුද්ධයක් දිනා ගත්තට පස්සෙ ඒ රාජ්‍යයේ යටත්වැසියන්ගේ ආරක්ෂාව ගැන පවා ඔහු සඳහන් කරනවා. (8.4.20, 25, 26, 31-33)

රජය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපිරිසම ජනතාව රවටන ආකාර 40 ක් මෙන්ම ඔවුන් පරීක්ෂණ මඟින් සොයාගෙන දඬුවම් කරන ආකාරයත් දක්වනවා.

(2.8.21, 2.8.24, 2.8.25 ශ්ලෝක)

කළු මුදල් ඒ කාලෙත් හම්බ කරල තියෙනවා. ඒ වගේම බොරු සාක්ෂි, අධිකරණයේ දූෂණ, යන්ත්‍ර මන්ත්‍රකරුවන්ගේ ගසා කෑම, මත් ද්‍රව්‍ය බෙදා හරින්නන් සහ ව්‍යාජ ලියවිලි හදන අය ගැනත් ඔවුන්ට දිය යුතු දඩුවම් ගැනත් කෞටිල්‍ය දක්වනවා. වටිනා ලෝහ බාල කිරීමටත් දඩුවම් තියෙනවා.

රජෙකු තේරීම - ඔටුන්නක් හිමි කුමාරයා මවු කුසේදී පුද පූජා පවත්වා හොඳ පෝෂණයක් දීලා විශේෂඥයින් ලවා ගැබ පරීක්ෂා කළ යුතු බවයි ඔහුගේ හැඟීමයි.

ඔහු මවු කුසෙන් බිහි වෙලා ඇතිදැඩි වෙද්දී සුදුසු කාලයට විශේෂඥයින් ලවා ශිල්ප ශාස්ත්‍ර උගන්වන්න ඕන. මේ ළඳරු කුමාරයින්ගේ අහිංසක මනසට පරීක්ෂා කරන්න කියලවත් කෲර දේවල් දෙන්න එපා කියල ඔහු අවවාද කරනවා.

ස්වයං විනය සහ පුහුණු කළ විනය මේ දෙකම තිබිය යුතුයි. ධර්මය සහ අර්ථය ඔහුට ඉගැන්විය යුතුයි. සුරාසූදුවට, ස්ත්‍රීන්ට ලොල් බව නැති කිරීම, උපක්‍රමශීලිව ඒවා කෙරෙහි කුමාරයා තුළ පිළිකුළක් ඇති කළ යුතුයි.

රථයකට එක රෝදයකින් ඉදිරියට යන්න බැහැ. ඒ වගේ රජුටත් ඇමතිවරු උපදේශකයන් අවශ්‍යයි.

ඔවුන් පත් කර ගන්න කලින් කළ යුතු රහස් පරීක්ෂණයක් කෞටිල්‍ය යෝජනා කරනවා. අංශ හතරයි. අර්ථ, ධර්ම, කාම, භය- මේ පරීක්ෂණයෙන් සමත් අය රාජකාරියට බඳවා ගත යුතුයි. අවංක බවද පරීක්ෂා කළ යුතුයි. එහෙම නොකළොත් මිහිරි කතා කියාගෙන රජුට ළංවෙන නුසුදුසු අය නිසා රජු පමණක් නොවෙයි මුළු රාජ්‍යයම විනාශ වෙන බව කෞටිල්‍ය පවසයි. ආර්ථික සම්පත් ඉහළ නැංවීම ගැන, ඵලදායී ආර්ථික ක්‍රියා නංවන්න භූමිය යොදාගෙන කරන කෘෂිකර්මය, ඒ හැර කර්මාන්ත ආකර, විදේශ වෙළදාම ගැනත් ඔහු පවසනවා.

අද වගේම ඔහු දෙපාර්තමේන්තු බෙදල තියෙනවා. අධ්‍යක්ෂවරු ඉඳල තියෙනවා. භූමියට එහි තිබෙන සම්පත් වර්ධනය කිරීම, වනානත්ර වෙන් කිරීම ගැන සඳහන් කරනවා. අලුත් වගා බිම්, අලුත් ජනාවාස ගැන උපදෙස් දෙනවා.

කෞටිල්‍ය ජනතාවගේ ආහාර වට්ටෝරු, විවාහ, ආගම් ඇදහීම, කුල, දේපල, විවාහ ක්‍රම ගැන මෙන්ම ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර, යන වර්ණ ක්‍රමයත්, ඒ අනුව සිදුවන විවාහ ගැනත් පවසනවා.

මනුෂ්‍ය ජීවිතයේ ගත කළ යුතු බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වනප්‍රස්ත, සන්‍යාසී කියන ආශ්‍රම හතර අනුව ජීවත් වීමට අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ යන පුරුෂාර්ථ හතරක් ගැනද සඳහන් වෙනවා.

රාජ්‍යයේ ආරක්ෂාව (අභ්‍යන්තර හා බාහිර) ආක්‍රමණවලින් ආරක්ෂා කිරීම රජයේ වගකීමයි.එමෙන්ම රාජ්‍යයේ පැවැත්ම සඳහා සංවිධානාත්මක චරපුරුෂ සේවයක වැදගත්කම ගැනද සඳහන්ය.

සංවිධානය වූ ආරක්ෂක හමුදාවල වැදගත්කම - යුද්ධයට යාම කළ යුත්තේ වැලැක්විය නොහැකිම තැනකදීය.

විදේශ ප්‍රතිපත්තියෙ වැදගත්කම - අසල්වාසී ඉන්දියාව තම දේශපාලනය සහ විදේශ සම්බන්ධතා හසුරුවන්නේ මේ ප්‍රතිපත්තියට අනුකූලවයි. මේ රටේ ත්‍රස්තවාදී සිවිිල් අරගල සමයේ ඉන්දියාවේ මැදිහත් වීම් ඊට සාක්ෂි දරයි. නීිතිය අධිකරණය සහ දණ්ඩ නීති සංග්‍රහය - සෑම වරදකටම නිශ්චිත දඩුවම් නියම කර තිබේ.

මේ ග්‍රන්ථය පරිවර්ථනය කලේ අපේ රටේ උගතුන් පවා යුරෝපයේ මෑත කාලයේ සිටී මකියාවලි ගැන කියන නමුත් ආසියාවේ මෙවැනි න්‍යායාචාර්යවරයකු ගැන එතරම් කතා නොකරන බැවිනි.

කෞටිල්‍ය පිළිබඳ ආචාර්ය රන්ග රාජන් මහතා ඉදිරිපත් කර ඇති නිවැරදි චිත්‍රය ලාංකික පාඨක ජනතාව වෙත ඉදිරිපත් කිරීමට මට අවශ්‍ය වුණා.

එමෙන්ම පාලකයා තෝරා ගැනීමේදී සැලකිය යුතු වැදගත් කරුණු පිළිබඳ ජනතාවගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීම වැදගත් යැයි මට හැගුණා. මෙය එහි ප්‍රතිඵලයක්.

******************

මන්ටො

“ඉන්දියානු උපමහාද්වීපික

ලේඛකයාණෝ”

එරික් ඉලියප්ආරච්චි.

ඇස්. ගොඩගේ ප්‍රකාශනයකි.

දුරකථනය 071 681 2949

 

සාමාන්‍යයෙන් ලේඛකයෙකු ගැන කතා කරද්දී සැමවිටම වාගේ රටක් කේන්ද්‍ර වෙනවා. ඉංග්‍රීසි, රුසියානු, වංග ලේඛකයින් වශයෙන් නාම ගත වන්නේ ඒ නිසායි. එහෙත් “ සාදත් හසන් මන්ටො” ගැන කතා කරන්න වෙන්නෙ රටක් නැතිවයි.

ඔහුගේ සාහිත්‍යයේ පදනම වන්නේ දෙකට බෙදීම නිසා නැතිවූ ඉන්දියානූ උප මහාද්වීපයයි. එය ඉන්දියාව හා පකිස්ථානය මෙන්ම බංගලි දේශය ලෙස බෙදී ගොස් බිහිවුණු රටවල් තුනම අසාමාන්‍ය සාහිත්‍ය අධිෂ්ඨානයකින් එකතු කරන තනි මහා පොළොවක සාහිත්‍යයක්.

මන්ටො ලියන්නේ බෙදීමට ලක්වුණු එහෙත් නොබෙදිය යුතුව තිබුණු මහා භාරතය ගැනයි. මේ කෘතිය “මන්ටො ඉන්දියානු උපමහාද්වීපික ලේඛකයාණෝ” වශයෙන් හඳුන්වන්නේ ඒ නිසායි.

එහෙත් එය බෙඳුනු රටක් නැවත පරිකල්පනයෙන් එකතු කරන කල්පනාලෝකවාදී හෝ යුතෝපියානු සාහිත්‍යයක් හෝ නොවේ. එය වූකලි, නිදහස් ෆෙඩරල් ජනරජ ක්‍රමයට ඉඩ තිබුණු රටක්, බෙදා වෙන් කිරීමේ වේදනාකාරී යථාර්තය නිරූපණය කරන අසාමාන්‍ය යථාර්තවාදී සාහිත්‍යයක්.

ඔහුගේ විශ්වාසය ඒ බෙදා වෙන් කිරීම දුෂ්ට පරිකල්පනයක් බවයි. ඉන්දියාවට නිදහස උදාවුණේ ඉන්දියාව හා පකිස්ථානය නමින් ජාතික රාජ්‍යයන් දෙකක් බිහිකරමිනුයි. සිය සාහිතය යථාර්තවාදයෙන් හා ඛේදාන්තයක් වූ තම පුද්ගලික ජීවිතයෙන් ඒ රටවල් දෙකම ප්‍රතික්ෂේප කළ මන්ටො ඉන්දියානු උපමහාද්වීපය නම් සමාජ දේශපාලන යථාර්තය වෙනුවෙන් පෙනී සිටිනවා.

ඒ අනුව මතුපිට යථාර්තයක් වන 1947 දී (ඉන්දියාව නිදහස ලැබූ ආකාරය) සාපරාධී පරිකල්පනයක් බවටත්, නොබෙදී පැවතීම යථාර්තය ලෙසටත් ඔහු හඳුනා ගන්නවා.

නිදහසින් පසු බිහිවූ යථාර්තය නොසලකා යථාර්තවාදි ශක්තියෙන් එය ඔළුවෙන් සිටුවීමක් වෙනවා.

ලේඛකයා සහ ජාතික රාජ්‍ය සංකල්පය අතර පවතින නොවිසඳෙන ප්‍රහේලිකාව හෙවත් පැරඩොක්සය තමයි මෙහිදී විභාග වන්නේ. සාහිත්‍යකරුවා සහ ජාතික රාජ්‍යය අතර පවතින සමකාලීන විසංවාදය විභාග කරහැකි නියැඳියක් ලෙස මන්ටො සාහිත්‍ය එය සාකච්ඡාවට ගන්නවා.

මන්ටො උර්දු භාෂාවෙන් කතාකරනයේ යෙදුණු විශිෂ්ට ලේඛකයෙක්. ඉන්දියාව නිදහස ලබද්දී බොම්බායේ සිටි මුස්ලිම් ජාතිකයෙක්. ඉන්දියාව බෙදීමේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට, ගාන්ධි, නේරු හා අලිජින්නා වාදයට ඔහු එකහෙළා විරුද්ධ වෙනවා.

ජාතිවාදි ජන සංහාරයටත්, භූගෝලීය හා වාර්ගික බෙදීමෙන් අතරමැඳි කලාපවල ජනතාව මුහුණදුන් ගැටළුත්, එමෙන්ම පොදු ජනයාට ප්‍රායෝගිකව ඇතිවූ අයථාවක් හෙවත් නොපැවතිය හැකි දෙයක් වීමත්, බෙදීම නිසා කම්බි වැටවල් තුළින් භාරත සමාජ ජීවිතය ඔහුගේ සාහිත්‍යයෙන් පිළිබිඹු වෙනවා.

එවැනි විශිෂ්ට කෙටි කතා සාහිත්‍යයක් ඔහු බිහි කරනවා. එහි පසුතලය ඉතා පුළුල් එකක්. ආදර කතා, ගණිකාවන්, පිම්පියන් ගැන කතාත් ඊට අදාලයි. එක් කතාවකට අනුව එක්තරා දේවාලයක් යකඩ අච්චු දමා දරුවන්ගේ ඔළුව කුඩා කර, නටවන වඳුරන් හැටියට සර්කස්කාරයින්ට විකිණෙනවා. ඒක ඇත්ත කතාවක්.

ප්‍රාන්ස් කෆ්කා සාහිත්‍ය දෘෂ්ටිය සිහිපත් කරන එය ආසියානු ආගමික සමාජයේ භීෂණය හා මිථ්‍යාව හැඳින ගැනීමක්. නිදහසින් පසු පකිස්ථානයට සංක්‍රමණය වීමට සිදුවණුත් ඔහු ඉන්දියාව අහිමි වීමේ වේදනාවෙන් බේබද්දෙකු ලෙස අකාලයේ මිය යන්නේ ආසියාතික ප්‍රාන්ස් කෆ්කා බවට පත්වෙමින්.

ඔහුගේ ඒ නන්නත්තාර වීමත්, හින්දු හා මුස්ලිම් යන මහ සමාජ දෙකටම පිටස්තර වීමත්, ඔහුගේ සාහිත්‍යයේ සදාකාලික හංවඩුවක් වගේ රැඳෙනවා. ජාතියේ මහ ගත්කරු නාමය රටවල් දෙකෙන් එකකින් වත් ඔහුට ලැබෙන්නේ නැහැ.

මේ නිසා ඔහුගේ කෙටි කතාව “ලෝක සුළුතර සාහිත්‍යයේ ” පරම ආසියාතික නිදසුන බවට පත්වෙනවා.

කෆ්කා නිදසුනට ගනිමින් ජිල් ඩිලූස් සහ ෆීලික්ස් ගටාරි යන නූතන චින්තකයින්ට අනුව මේ අලුත් සාහිත්‍ය ප්‍රබේදයෙන් අදහස් වන්නේ රටක සුළුතර හෝ ප්‍රාන්තීය සාහිත්‍යයක් නොවේ.

ප්‍රධාන භාෂාවකින් බහුතර අදහසේ වාසිය නොගන්නා මෙන්ම දුෂ්කර තත්වයන් මැද්දේ ලියවෙන සාහිත්‍යයක් කියන එකයි.

මේ නිසා ඔහු රබීන්ද්‍රනාත් තාගෝර්ගේ තත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්වයක සිටිනවා. එය සමාන කල හැක්කේ තාගෝර් ගේ “ගෝරා” නම් චරිතය සැබෑ ලේඛකයෙකු බවට පත්වීමක් ලෙසයි.

මේ අතින් ඔහු සල්මන් රුෂ්ඩි, අරුන්දති රෝයි, බොරිස් පාස්ටර්නාක්, අයිසාක් බාබෙල්, සොල්සිනෙට්සින් වැනි ලේඛකයින්ගේ හුදකලා පූර්වගාමියා වනවා. පාරම්පරිකව භාරතය මාතෘභූමිය කරගත් ජනවාර්ගිකයන් අතර සිදුවන ඔහුගේ අන්තර් වාර්ගික කලාත්මක සංක්‍රමණ අසාමාන්‍යයයි.

චන්ද්‍රසෝම විතානගේ, ජිනදාස දනන්සූරිය, මහින්ද හත්තක හා ජයතිලක කම්මැල්වීර විටින් විට සිංහලට නගා තිබුණත් ඒ ගැන නිසි අවධානයක් යොමුවුණේ නෑ. මන්ටොගේ කෙටි කතා බොහොමයක් චූලානන්ද සමරනායක විසින් පරිවර්තනය කර ගෙන යෑම පාඨකයාට සුබ ආරංචියක් වනු නොඅනුමානයි.

********************

ප්‍රමුදිත ජීවිතයක්

කුඩගම්මන සීලරතන හිමි

විදර්ශන ප්‍රකාශනයකි.

දුරකථනය - 070 100 4283

 

දලයිලාමා සහ ආර්ච් බිෂොප් ඩෙසමන්ඩ් ටුටූ සමඟ ඩග්ලස් ආබ්‍රහම්ස් එකතුවක් වශයෙන් ප්‍රකාශයට පත්ව ඇති මෙම කෘතිය සිංහලට පරිවර්තනය වන්නේ ප්‍රමුදිත ජීවිතයක් නමිනි. ජීවිතයේ හරය සමාජ දේශපාලනික වශයෙන්ද අවධාරණයට ලක් කළ ප්‍රකට වෙසෙස් චරිත දෙකක් හැටියට බෞද්ධ පසුබිමකින් එන දලයිලාමා සහ කිතු පසුබිමකින් එන ඩෙස්මන්ඩ් ටුටූ හැඳින්විය හැක.

විශේෂයෙන්ම පසුගිය ලෝක දේශපාලන අර්බුදයන්හි යථාවාදි සහ ආකල්පවාදි විමසුමක් ඔවුන්ගේ ප්‍රකාශනයන්හි දකින්නට ඇත.

***************

ආහාර පාන පුරාණේ

මිල්ටන් ප්‍රනාන්දු

ඇස්. ගොඩගේ ප්‍රකාශනයකි.

දුරකථනය 011 268 6925

 

දඩයම් යුගයේදී මිනිසා සිටියේ කුසගින්න සමඟ ය. එතනදී ආහාරය බලවත් අවශ්‍යතාවක් වූවා විනා සංස්කෘතියක් වූයේ නැත.

පසුව කෘෂි යුගයත් සමඟ ශිෂ්ටාචාරවත් වන මිනිසා හමුවේ ආහාරය මූලික අවශ්‍යතාවයක් වන තරමටම කලාවක් හා සංස්කෘතියක් ද වූයේ ය. ලෝක ආහාරපාන සංස්කෘතිය රටවල් වශයෙන් වෙනම ගත්කල විචිත්‍රවත් මෙන්ම රසවත් ඉතිහාසයක් අපට ලබාදී තිබේ. මිල්ටන් ප්‍රනාන්දුුගේ ආහාර පාන පුරාණේ නම් මෙම කෘතිය උක්ත තත්ත්වය ශාස්ත්‍රීය වශයෙන් ගවේෂණය කිරීමට ගත් ප්‍රයත්නයක් බව පැහැදිලිය. අතිශය වෙහසකින් මතු නොව ඉවසීමකින් රැස්කළ යුතු තොරතුරු හා විස්තර පසුව සංවිධානය කොට සම්පාදනය කෙරෙන මෙවැනි ප්‍රයත්නයන්ට යොමු වන කෘතහස්ත ලේඛකයින් සම්මානයට පත්වීම අවශ්‍යම වේ.

Comments