රටටම වින කරන ඖෂධ මාෆි­යාව | සිළුමිණ

රටටම වින කරන ඖෂධ මාෆි­යාව

අපේ රටේ  නිප­ද­වන ලද බට­හිර  ඖෂධ රාජ්‍ය ඇමැති  චන්න ජය­සු­මන  විසින් රජයේ   වෛද්‍ය  නිල­ධා­රීන්ගේ සංග­මයේ   නිල­ධා­රීන්  වෙත පිරි­නැමූ  අව­ස්ථාව.
අපේ රටේ නිප­ද­වන ලද බට­හිර ඖෂධ රාජ්‍ය ඇමැති චන්න ජය­සු­මන විසින් රජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ නිල­ධා­රීන් වෙත පිරි­නැමූ අව­ස්ථාව.

 

මේ ලෝකයේ වැඩියෙන්ම සල්ලි හොයන ජාවාරම් අතර ආයුධ හා ඖෂධ ජාවාරමට ප්‍රමුඛත්වය ගනී. මේ අනුව පසුගිය කාලයේ අපේ රටේත් සමහර බලධාරීන් හා නිලධාරීන් මෙන් ම ඖෂධ ව්‍යාපාරිකයන් ඖෂධ ජාවාරම්වලින් අයුක්ති සහගත ලෙස ලක්ෂ ගණන් මුදල් උපයා ඇතැයි ඒ පිළිබඳ කළ පර්යේෂණ මඟින් පෙන්නුම් කරන බව ගවේෂකයෝ පවසති.

2018 දී විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණන වාර්තාවක් අනුව ද, විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අනුව ද 2015 - 2019 වකවානුවේදී මෙරට ඖෂධ සැපයුම් මිලදී ගැනීමේදී අක්‍රමිකතා රැසක් හා අපතේ යැවීම් රැසක් සිදුවී ඇති බව පෙන්නුම් කරයි.

මේ පිළිබඳ කරුණු දක්වන ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසන්නේ පසුගිය රජය කාලයේදී හදිසි මිලදී ගැනීම් යැයි කියමින් වැඩි මිලට ඖෂධ ගැනීම හා තමන්ට හිතවත් ඖෂධ සමාගම්වලින් පමණක් වැඩි මිලට ඖෂධ මිලදී ගැනීම නිසා අපේ රටට පසුගිය වසරවලදී රුපියල් කෝටි 114 ක් අහිමි වී ඇති බවයි.

නමුත් වත්මන් රජය මෙම හදිසි මිලදී ගැනීම නවතා දැමීමත්, අවශ්‍ය ඖෂධ අවශ්‍ය වේලාවට පෙර සිටම නව කළමනාකරණය යටතේ මෙරටට ගෙන්වීමත්, අත්‍යවශ්‍ය ඖෂධ රැසක් මෙරට නිපදවීමත් නිසා රුපියල් කෝටි 340 ක් පමණ ඉතිරි කිරීමට හැකි වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඒ අයුරින් පසුගිය රජය කාලයේ ඖෂධ මිලදී ගැනීම් හා ඇතැම් ඖෂධ සඳහා අසාමාන්‍ය මුදලක් වියදම් කර ඇති බවත් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවත් රාජ්‍ය ඇමැති චන්න ජයසුමන පාර්ලිමේන්තුවේදී පැවසීය.

වැඩි මිලට ඖෂධ අරන් රටට කෝටි 340 ක් පාඩු කරලා

Captopril 5mg Syrup එක 2019 දී මිලදී අරගෙන තිබෙන්නේ රුපියල් 55,188 කට. අප ආවට පස්සේ 2020 අවුරුද්දේදී ඒක මිලදී ගත්තේ රුපියල් 395 ට. ඒ ඒක මිලදී අරන් තියෙන්නේ 138% ගුණයක් වැඩියෙන්. Lorazepam ඉන්ජෙක්ෂන් 2019 දී මිලදී අරන් තියෙන්නේ රුපියල් 17957 ට. අපි දැන් ගන්නේ රුපියල් 375 ට. මේ සියලු මිල අධික ලැයිස්තුව විමර්ශන කටයුතු සඳහා අප බාරදී තිබෙනවා. එමෙන්ම අධික මිල ගෙවා ගෙන්වූ ඖෂධ 35 ක ලැයිස්තුවක් මම පාර්ලිමේන්තුවේ සභාගත කළා.

ඒ වගේම හදිසි මිලදී ගැනීම් ලෙස පෙන්වා දෙමින් රුපියල් කෝටි 114 ක ආසන්න ප්‍රමාණයක වටිනාකමක් ඇති ඖෂධ මිලදී අරන් තිබෙනවා. උදාහරණයක් වශයෙන් Rituximab ඉන්ජෙක්ෂන් එක රුපියල් 55,000 කට මිලදී අරන් තිබෙන්නේ.

අපි දැන් ඒක මිලදී ගන්නේ 17735 කට. එමඟින් රටට ඉතිරිවන මුදල රුපියල් කෝටි 12.8 ක් යැයි ද රාජ්‍ය ඇමැති චන්න ජයසුමන පාර්ලිමේන්තුවේදී පැවසීය.

රුපියල් බිලියන ගණනක පාඩුවක් වෙච්ච ඖෂධ පිළිබඳව විමර්ශන පටන් ගත්තට පස්සෙ තමයි ඖෂධ නියාමන අධිකාරියේ ඔය කියන ලිපි ගොනුව මේ දත්ත ක්ලවුඩයෙන් මැකිල ගිහින් තියෙන්නේ. එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අපි මේ වනවිට කටයුතු කරමින් යනවා.

ඒ වගේම තමයි මේව මැකුවේ කවුද කියන කාරණය හොයලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු ලැබුණාට පස්සේ අනිවාර්යයෙන්ම ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා යැයි ද රාජ්‍ය ඇමැතිවරයා කීය.

කෙසේ වුවත් මේ තොරතුරු පිළිබඳව පාර්ලිමේන්තුවේ පිළිතුරු ප්‍රකාශයක් කළ හිටපු සෞඛ්‍ය ඇමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න පවසන්නේ ඉහත තොරතුරු සාවද්‍ය බවයි. අපේ රටේ ඖෂධ මාෆියාවක් නැති බවත් තමාගේ පාලන කාලයේදී ද ඖෂධ මිල අඩු කිරීමට පියවර රැසක් ගත් බවත් ඔහු කියයි.

ඖෂධ 300ක් වැඩි මිලට අරන් ඖෂධ 200ක හදිසි මිලදී ගැනීම්

නමුත් පසුගිය යහපාලන රජය සමයේ මෙරටට ගෙන්වූ ඖෂධවලින් 80% ක් ම ලොව කිසිම රටකින් මිලදී නොගන්නා ආසියානු රටවල් 2 ක් මඟින් පමණක් නිපදවන ඖෂධ බව ජාතික ඖෂධ පාලන නියාමන අධිකාරියේ ප්‍රධාන ඖෂධවේදියා පසුගිය වසරේ ජනාධිපති විමර්ශන කොමිසමට සාක්ෂි දෙමින් පවසා තිබිණි. පසුගිය යහපාලන සමයේ මෙරටට ඖෂධ ගෙන්වීමේදී අයුතු බලපෑම් ඥාති සංග්‍රහ හා බලය අයුතු ලෙස පාවිච්චි කිරීම් සිදුවී ඇති බව ද විශේෂ ජනාධිපති කොමිසමට තොරතුරු ලැබී තිබේ.

ඒ සමඟම පසුගිය රජය සමයේ ඖෂධ සැපයීම පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව ද විශේෂ පරීක්ෂණයක් කර ඇත. ඉහත පරීක්ෂණ දෙක අනුව හෙළිවී ඇත්තේ පසුගිය වසරවලදී අපේ රටට බාල හා කල් ඉකුත් වූ ඖෂධ ගෙන්වීම මඟින් හා අධික මිලට ඖෂධ මිලදී ගැනීම් නිසා අප රටට රුපියල් කෝටි 1100 පාඩුවක් සිදුවී ඇති බවයි.

2018 ට පෙර වසර තුනක කාලය ඇතුළත නිසි තොග කළමනාකරණය නොකිරීම හේතුවෙන් වෛද්‍ය සැපයීම් තොග රැසක් කල් ඉකුත් වී තිබුණි. මේ නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් කෝටි 115 කි. 2016 වසරේදී පමණක් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 52 ක් වටිනා ඖෂධ ප්‍රමිතියට නැති බව හෙළිවී ඇතැයි විගණකාධිපති පරීක්ෂණය කළ නිලධාරීහු පවසති.‍

පසුගිය යහපාලන රජය ඖෂධ අලෙවියට සම්බන්ධ රජයේ බලවතුන් ගජමිතුරන් සමඟ ගෙන ගිය ඖෂධ මාෆියාව නිසා අපේ රටට වසරකට රුපියල් කෝටි 340ක් අහිමි වී ඇතැයි ඒ පිළිබඳ පර්යේෂණ කරන ආයතන මඟින් හෙළිදරව් කර ගෙන ඇත.

දැන් රු. 395 ගේන බේත 2019 ගෙනාවේ 55000 ට

අධික මිලට ඖෂධ මිලදී ගැනීම, ඉතා හදිසි බවට පෙන්නුම් කර වැඩි මිලට හදිසි මිලදී ගැනීම් සිදු කිරීම නිසා මෙම පාඩුව අපේ රටට සිදුවී තිබේ.

මේ පිළිබඳව කරුණු දක්වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ 2015 - 2019 වකවානුවේ කළ හදිසි ඖෂධ මිලදී ගැනීම් 2020 සිට නවතා දමා ඇති බවයි.

පසුගිය රජය කාලයේ මේ රටට අවශ්‍ය ඖෂධ ප්‍රභේද 830න් ඖෂධ වර්ග 300 - 400ක් නිසි මිලදී ගැනීම් පටිපාටියෙන් තොරව හා හදිසි මිලදී ගැනිම් ලෙස මිලදී ගෙන ඇති බවත් පවසන සභාපතිවරයා අවධාරණය කරන්නේ දැන් අපේ රටේ ඉස්සර මෙන් ඖෂධ මාෆියාවක් නැති බවයි.

ඊට අමතරව කල් ඉකුත්වූ ඖෂධ මිලදී ගැනීම් හා ප්‍රමිතියෙන් බාල ඖෂධ මිලදී ගැනීම් රැසක් ද පසුගිය යහපාලන රජය සිදු කර ඇත.

ඒ අනුව ගැබිනි මවුවරුන්ට දෙන යකඩ පෙති ලක්ෂ ගණනක් කල් ඉකුත් වූ ඒවා වූ බවද මේ පිළිබඳව විගණාකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ ගවේෂණ වාර්තාවක දැක්විණි. එම වාර්තාව අනුව බාල හා කල් ඉකුත් වූ ඖෂධ‍ නිසා රෝගීන්ට තම රෝගය සුව නොවී වෙනත් අතුරු ආබාධ ද ඇති වී තිබෙන බව එම වාර්තාවේ දැක්විණි.

පසුගිය ඖෂධ ජාවාරම පිළිබඳව කළ අධ්‍යයනය පිළිබඳව ඖෂධ සංස්ථාවේ සභා‍පති ප්‍රසන්න ගුණසේන මෙසේ පවසයි.

Òපිළිකා රෝගීන් වෙනුවෙන් ලබා දෙන Rituximab ඖෂධය 2019 වර්ෂයේ හදිසි මිලදී ගැනීම් යටතේ රුපියල් 55,000 කට මිලට ගෙන තිබුණේ. අප එය 2020 වර්ෂයේ 17,735 කට තමයි මිලට ගත්තේ. මෙලෙස හදිසි මිලට ගැනීම් යටතේ මාත්‍රා 3443 ක් මිලට අරන් තිබුණ. 17,735 කට මිලට ගන්න තිබුණ ඖෂධය 37,265 ක් වැඩිපුර ගෙවල තියනවා.

එතකොට මාත්‍රා 3443 හදිසි මිලට ගැනීම් නැතුව සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියට ගිය නිසා වත්මන් රජයට ඉතුරු කර ගැනීමට හැකි වූ මුදල 128,302,049.12 ක්. එක බෙහෙතකින් පමණක් රුපියල් මිලියන 128 ක් මෙරටට ඉතුරු වෙලා තියනවා. පසුගිය කාලයේ 30% මිල අඩු කරා කියල මාධ්‍ය සන්දර්ශන පැවැත්වුවාට සත්‍ය වශයෙන්ම 200% ක් 300 % වගේ ගණන් වලින් වැඩි මිලට ඖෂධ අරගෙන තියනවා.

මෙලෙස ඖෂධ හිඟයක් මවමින්, මිලට ගත් හදිසි මිලට ගැනීම් නවත්තපු ගමන් මෙරටට වසරකට ඉතුරු වූ මුදල රුපියල් බිලියන 114 ක්.

පිළිකා ඖෂධ වලින් කෝටි 226 ක් ඉතිරි වුණා. එතකොට ඔබට අවබෝධයක් ගන්න පුළුවන් ඖෂධ මාෆියාව තුළ වැඩිපුර අපේ සල්ලි ගෙවල තියන විදිය. මේ සේරම මෙරට අහිංසක රෝගීන් වෙනුවෙන් තවත් ඖෂධ මිලියන ගණන් ලබා දෙන්න තිබුණ අවස්ථාව නැති කරලා තියන විදිය. මේක එක අවුරුද්දක සිදු වූ දෙයක් නෙවෙයි. 2019 ට පෙර වර්ෂ වල පවා මේ විදියට තමයි මිලදී අර ගෙන තියෙන්නේ.

බාල කල් ඉකුත් වූ බෙහෙත් ලෙඩ්ඩුනට දීලා

2019 වර්ෂයේ රුපියල් 55,185 කට මිලට ගත් ඖෂධය අප මිලට ගත්තේ රුපියල් 395 යි. ඒ කියන්නේ එක් ඖෂධයක් වෙනුවෙන් 55,185 ක් වියදම් කරන විට අපිට රුපියල් 395 ගානේ තවත් ඖෂධ 140 ක් පමණ මිලට ගන්න පුළුවන්. විටමින් D injection රුපියල් 300 කට ගන්න පුළුවන් කම තියන කොට පසුගිය යහපාලන රජය මිලට අරන් තියෙන්නේ රුපියල් 20,000 කට. හිතන්න සත්‍ය මිල හා පසුගිය රජය මිලට ගත් මිල අතර වෙනස.

රු.1.23 ඇස්ප්‍රින් පෙත්තට රුපියල් 13 ක් දීලා

ඒ අය ඖෂධ හිඟයක් බොරුවට මවා පාලා හදිසි මිලදී ගැනීම් සඳහා මිල ගණන් කැඳවනවා. එතකොට හිතවත් සැපයුම්කරුවන් කිහිප දෙනෙක් වැඩි මිලට මිල ගණන් ඉදිරි පත් කරනවා.

ඊට පස්සේ වැඩි මිලට මිලදී ගන්නවා. එය සාමාන්‍යයෙන් සිය ගුණයක් වගේ වැඩි මිලක් වෙන්නත් පුළුවන්.

හදිසියේ වැඩි මිලට වුණත්, ටෙන්ඩර් දාල ගන්න නිසා කිසිම නීතිය පැත්තෙන් වරදක් වෙලා නෑ. එතකොට ජාවාරම්කරුවන් ආරක්ෂා වෙලා. බෙහෙත් වලින් මිලියන බිලියන ගණන් හොයපු අයට අද අදායම් මාර්ග නැති වෙලා තියනවා. විවධ රටවල්, බහුජාතික සමාගම්, වෛද්‍යවරුන්, නිලධාරීන්, දේශපාලන නියෝජිතයන් විවිධ පුද්ගලයන් මේ මාෆියාව හා සම්බන්ධ වෙලා මේ ක්‍රමය කඩාකප්පල් කිරීමට උත්සහ කරනවා.

විවිධ බොරු චෝදනා කරනවා. අසත්‍ය ප්‍රකාශ නිකුත් කරනවා. කෘතීමව ඖෂධ හිගයන් නිර්මාණය කරනවා. මේ ඖෂධ මාෆියාව තුළ ඔවුන්ගේ අදායම් මාර්ග ස්ථාවර කර ගන්න ඩොලර් මිලියන බිලියන ගණන් වියදම් කරනවා. අප බුද්ධිමත්ව හිතලා කටයුතු කරලා මේවගෙන් බේරෙන්න අවශ්‍ය වනවා.

අද රුපියල් 300 ඖෂධය 2019 ගෙනාවේ 38793 ට!

අපි හදිසි මිලට ගැනීම් නවත්වනවා කියල හෝ ඖෂධයක් සඳහා ටෙන්ඩර් කැඳවීමක් ආරම්භ කළා කියලා ප්‍රසිද්ධ කරපු ගමන්, දේශපාලන නියෝජිතයන්, විවිධ මාෆියා නියෝජිතයන්, ජාවාරම්කරුවන්, විවිධ ප්‍රකාශ කරලා ජනතාව නොසන්සුන් කරනවා. එන්නත් හොඳ නැ, ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ මෙරට නිපදවන ඖෂධ හොඳ නැ,

බාල බෙහෙත් ගෙන්වලා වගේ අසත්‍ය ප්‍රකාශ ඔබට අසන්නට ලැබෙනවා. පසුගිය කාලයේ ඔබට මේ වැනි අසත්‍ය ප්‍රකාශ, කෘත්‍රිම බෙහෙත් හිඟ ගැන අසන්නට ලැබුනද ? නෑ .

ජාවාරම්කරුවන් ඔවුනට අවශ්‍ය විදියට මේ රටේ ඖෂධ වෙළෙඳපොළ මෙහෙය වුවා. මාෆියා සල්ලි වලින් කොතරම් විවේචන, මාධ්‍ය සාකච්ජා, පුවත්පත් ලිපි, උද්ඝෝෂණ මෙහෙය වුවත්, අපේ ගමන ඒවාට නතර කරන්න ඉඩ දෙන්නේ නෑ .

බාල බෙහෙත් ගෙන්වන එක නතර කරලා, ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කරන මට්ටමට අප මෙය ගෙන එනවා. මේ ගැන අප සියලු දෙනා සහතික වන අතර ඉදිරියේදී ඇතැම් බෙහෙත් ගෙන්වන එක නතර කරලා ඒවා ලංකාවේ නිෂ්පාදනය ආරම්භ කරනවා යැයිද සභාපතිවරයා කීය.

 

Comments