යුරෝපයට පාලි භාෂාව හඳුන්වා දුන් රොබට් සීසර් චිල්ඩර්ස් | සිළුමිණ

යුරෝපයට පාලි භාෂාව හඳුන්වා දුන් රොබට් සීසර් චිල්ඩර්ස්

 

මහා බ්‍රිතාන්‍යයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයවලින් ප්‍රථම උපාධිය ලැබ භද්‍ර යෞවනයේදී ලංකාවේ පරිපාලන සේවාවට බැඳුණු අතැම් ඉංග්‍රීසි ජාතිකයන්ට ලංකාවේ සංස්කෘතිය සම්බන්ධයෙන් ජනිත වූ කුතූහලය හේතුවෙන් ශාස්ත්‍ර ලෝකයට සිදු වූ අර්ථසිද්ධිය අතිමහත්ය. පෙරදිග රටවලට පැමිණි ශාස්ත්‍රීය කුතුහලයෙන් යුත් ඇතැම් යුරෝපීය තරුණ සිවිල් නිලධාරීහු පෙරදිග සංස්කෘතියෙහි දැකිය හැකි අපරදිග සංස්කෘතියට හාත්පසින් වෙනස් ඇතැම් අංග කෙරෙහි වීමසනාක්ෂිය යොමු කරමින් ඉමහත් උද්‍යෝගයකින් ඒ සම්බන්ධ අධ්‍ය්‍යනයන්හි නිරත වූහ. ඒ සඳහා අවශ්‍ය විධිමත් පදනම හා ශික්ෂණය විශ්වවිද්‍යාලීය අධ්‍යාපනයෙන් ඔවුන්ට ලැබී තිබිණ. ලංකාවට පැමිණි සිවිල් නිලධරයකු වූ රොබට් සීසර් චිල්ඩර්ස් පාලි භාෂාව අන්තර්ජාතික ශික්ෂණ මාර්ගයක් බවට පත් කිරීමට පුරෝගාමී වූ විද්වතෙකි.

චාල්ස් චිල්ඩර්ස් නම් දේවගැතිවරයාගේ පුත්‍රයකු ලෙස 1838 වර්ෂයේ උපන් රොබට් සීසර් චිල්ඩර්ස් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය වඩ්හැම් විද්‍යායතනයෙන් ප්‍රථම උපාධිය ලැබ සිවිල් සේවා පරීක්ෂණයෙන් උත්තීර්ණව දෙවිසි හැවිරිදි වියේදී ලංකා සිවිල් සේවයේ ආධුනික නිලධරයකු ලෙස පත්ව ආවේ 1860 වර්ෂයේ අවසන් භාගයේදීය. ඔහු මුලින්ම පත් කෙරුණේ ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ලේකම් තනතුරටය. තෙවසරක් ඒ තනතුරෙහි කටයුතු කළ ඔහු දෙවනුව, මහනුවර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ සහකාර ඒජන්ත තනතුරට පත් කෙරිණ. ඔහුට මේ කාලයේදී ලංකා ජනයාගේ චින්තන විධි, ජීවන රටා, භාෂාව, සාහිත්‍යය හා ආගම පිළිබඳ අවබෝධ කර ගැනීමේ අභිලාෂයක් ඇති විය. එමෙන්ම ලංකාවේ ඇති වෙමින් පැවති ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර ප්‍රබෝධය කෙරෙහිද චිල්ඩර්ස්ගේ අවධානය යොමු විය. ඒ වන විට පාලි භාෂාව විෂයයෙහි පතළ කීර්තියක් සහිතව සිටි, ගාල්ලේ මේධංකර හිමියන් විසින් අරඹන ලද පැල්මඬුල්ලේ ශාස්ත්‍රශාලාවෙන් ශාස්ත්‍ර හදාළ බෙන්තොට අත්ථදස්සි හිමියන්ගේ ශිෂ්‍ය යාත්‍රාමුල්ලේ ධර්මාරාම හා මේධංකර හිමියන් ඇසුරේ පැල්මඬුල්ලේ සත් වසක් ශාස්ත්‍ර හදාළ වස්කඩුවේ සුභූති යන භික්ෂුන් වහන්සේ දෙනම ගැන තොරතුරු දැන ගත් චිල්ඩර්ස්ට ඔවුන් කරා එළඹ පාලි, සිංහල භාෂා හා බුදු දහම පිළිබඳ හදාරන්නට රිසි විය. මුලින් යාත්‍රාමුල්ලේ හිමියන් දැන හඳුනා ගත් චිල්ඩර්ස් විවේක ලද අවස්ථාවන්හි බෙන්තොට තානායමට ගොස් එහි නවාතැන් ගෙන උන්වහන්සේ වෙතින් පාලි භාෂාව ඉගෙන ගත්තේය. ලංකාවේ සිටි සිවු වසරක කාලය ඇතුළත චිල්ඩර්ස්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරුණු බැවින් 1864 වර්ෂයේදී ඔහු ලංකා සිවිල් සේවයෙන් විශ්‍රාම ලැබ නැවත එංගලන්තය බලා පිටත් විය.

එංගලන්තයට ගොස් ටික කලකට පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරිණ. 1868 වර්ෂයේ සරත් ඍතුවේදී චිල්ඩර්ස්ට එංගලන්තයේ ඉන්දියා ඔෆිස් පුස්තකාලයේ ආචාර්ය ආර්. රොසෙට් හමු විය. ඒ හමුවීමේදී ලංකාවේ සිටි කාලයේ ආරම්භ කළ පාලි අධ්‍යයන කටයුතු අඛණ්ඩව කර ගෙන යන ලෙස කරනු ලැබූ දිරි ගැන්වීම නිසා අතර මග නතරවී තිබුණු පාලි අධ්‍යයනය නැවත කර ගෙන යාමට චිල්ඩර්ස් උනන්දු විය. මෙහිදී පාලි අධ්‍යයනය සඳහා ඩෙන්මාර්ක් ජාතික විගෝ ෆවුස්බෝල් පඬිවරයාගෙන්ද මනා පිටුබලයක් ලැබිණ. මේ දිරිගැන්වීමෙහි සහ අධ්‍යයනයෙහි ප්‍රතිඵල වැඩි කලක් ගත වීමට මත්තෙන් දැක ගත හැකි විය. 1869 වර්ෂයේ රාජකීය ආසියාතික සමිතියේ මහා බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත ශාඛාවේ සඟරාවේ (JRAS(Gb & I)) සිවු වන වෙළුමෙහි ඛුද්දක පාඨයේ පෙළ සහ විවරණ සහිත ඉංග්‍රීසි පරිවර්තනය පළ කෙරිණ. බුදු දහමේ එන නිර්වාණය නමැති සංකල්පය පිළිබඳ චිල්ඩර්ස්ගේ විවරණය මුලින් පළ වූයේ 1870 වර්ෂයේදී Trubner’s Literary Record නමැති සඟරාවෙහිය. 1871 වර්ෂයේදී රාජකීය ආසියාතික සමිතියේ සඟරාවේ පස් වෙනි වෙළුමෙහි නිර්වාණ සංකල්පය පිළිබඳ විශේෂ සැඳහුමක් සහිතව ධම්මපදය පිළිබඳ ලිපියක් පළ කෙරිණ. නිර්වාණ සංකල්පය පිළිබඳ තව දුරටත් අධ්‍යයනය කළ චිල්ඩර්ස් ඒ සම්බන්ධ ස්වකීය අදහස් දීර්ඝ වශයෙන් සිය පාලි අකාරාදියෙහි පළමු වෙළුමෙහි අන්තර්ගත කළ අතර ඒ කෘතිය 1871 වර්ෂයේ පළ විය. පාලි අකාරාදි සංඥාපනයෙහි ලා චිල්ඩර්ස් ලංකාවේ පාලි උගතුගෙන් ඒ සඳහා ලැබුණු පිටුබලය ගැන සඳහන් කරමින් "සිංහල බෞද්ධ පඬිවරුන් තිදෙනකුගෙන් පාලි අකාරාදියේ ශාස්ත්‍රීය ගුණය වර්ධනයට අනුග්‍රහය ලැබුණු බවත් ඒ අතුරින් 1872 ජනවාරි මාසයේදී අකාලයේ අපවත් වීම නිසා බුදු සසුනට අහිමි වූ අනගි ආභරණයක් බඳු වූ යාත්‍රාමුල්ලේ ධම්මාරාම හිමියන්" ගැනත් විශේෂයෙන් පවසා තිබේ. යුරෝපයේ සහ ලෝකයේ සෙසු රටවල පාලි අධ්‍යයනය සඳහා මේ පාලි අකාරාදියෙන් සැපයුණේ මහත් පිටුබලයකි. විගෝ ෆවුස්බෝල් ජාතක කථා දහයක් ඉංග්‍රීසියට පරිවර්තනය කොට පළ කළ කෘතිය ආරම්භයෙහි විශේෂ ස්තුතියක් චිල්ඩර්ස් පඬිවරයා වෙත පළ කරමින් කියා සිටියේ සිය පාලි භාෂා අධ්‍යනය උදෙසා චිල්ඩර්ස් මහතාගෙන් ලද අනුප්‍රාණයට කෘතවේදීතාව පුද කරන බවය. පාලි කෘති ඉංගිරිසියට නඟා පළ කිරීමට අමතරව ස්වතන්ත්‍ර පාලි රචනය කෙරෙහිද චිල්ඩර්ස්ගේ අවධානය යොමු වී තිබිණි. මෙහි තවත් පියවරක් ඉදිරියට තබමින් ඔහු බයිබලයේ නව තෙස්තමේන්තුවේ සුද්ධ වූ පාවුලු විසින් කොරින්තියන්වරුන්ට යවන ලද පළමු වන හස්න නම් පරිච්ඡේදයෙහි 13වන කොටස පාලි පද්‍යයට පරිවර්තනය කෙළේය. ඔහු විසින් එය නම් කරන ලද්දේ ''මෙත්ත සුත්ත" යනුවෙනි. මේ පරිවර්තනය ජේම්ස් ද අල්විස්ගේ දැඩි ප්‍රසාදයට පාත්‍ර විය. අල්විස් චිල්ඩර්ස්ගේ කෙටි පරිවර්තනය අගය කරමින් දීර්ඝ විවරණයක් ලියා එය ඔහුගේ පාලි පරිවර්තනය සම්බන්ධ කෘතියකට ඇතුළත් කිරීමටද කටයුතු කෙළේය.

1872 වර්ෂයේදී රොබට් චිල්ඩර්ස් ඉන්දියන් ඔෆිස් පුස්තකාලයේ උපපුස්තකාලයාධිපති තනතුරට පත් කෙරුණු අතර 1873 වර්ෂයේදී ලන්ඩන් විශ්වවිද්‍යලයීය විද්‍යායතනයේ පාලි භාෂාව හා බෞද්ධ සාහිත්‍යය පිළිබඳ මහචාර්ය තනතුරට පත් කෙරිණ. ලංකාවේ සිටි සිව් වසර ඇතුළත චිල්ඩර්ස් ශාස්ත්‍රඥයා යාත්‍රාමුල්ලේ හිමියන් වෙතින් පාලි භාෂාව සහ බුදු දහමට අමතරව සිංහල භාෂාවද හැදරූ බැවින් ඔහුට සිංහල භාෂාව පිළිබඳවද මනා වැටහීමක් තිබිණ. එංගලන්තයට ගිය පසු ලංකාවේ උගතුන්ට එවූ ඇතැම් ලියුම් ලියා තිබුණේ සිංහල භාෂාවෙනි. සිංහල භාෂාව පිළිබඳ ඔහුට තිබුණු ශාස්ත්‍රීය ඇල්ම 1873 වර්ෂයේ රාජකීය ආසියාතික සමිතියේ සඟරාවෙහි හය වෙනි වෙළුමට සැපයූ ‘Notes on Sinhalese Language No. I – On the Formation of the Plural of Neuter Nouns’ යන ලිපියෙන් අනාවරණය වෙයි. මේ ලිපියෙහි දෙවැන්න රාජකීය ආසියාතික සමිති සඟරාවෙහි අට වෙනි කලාපයෙහි ‘Notes on Sinhalese Language No. 2: Proofs of the Sanskritic Origin of Sinhalese’ යන මැයෙන් පළ වූ අතර එහිදී ඔහු උත්සාහ කළේ සිංහල භාෂාව සංස්කෘත භාෂාවෙන් සම්භවය වූ භාෂාවක් බවත් ඊට ද්‍රාවිඪ භාෂාවල සම්බන්ධයක් නැති බවත් පෙන්වා දීමටය.

චිල්ඩර්ස් පඬිවරයා 1874 වර්ෂයේදී වස්කඩුවේ සුභූති හිමියන් විසින් සම්පාදනය කෙරුණු නාමාවලිය ග්‍රන්ථයට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශස්ත හැඳින්වීමක් සම්පාදනය කළේය. මේ වර්ෂයේදීම ලංකාවේ පාලි අධ්‍යයනය පිළිබඳ සංක්ෂිප්ත සටහන් කිහිපයක් ලන්ඩනයේ පළ වූ Academy, Athenaeum, Trubner’s Literary Record යන ප්‍රකාශනවල පළ කෙරුණු අතර ලාංකේය පාලි අධ්‍යයනය පිළිබඳ වැදගත් කරුණු රැසක් බටහිර ලෝකයට අනාවරණය කිරීමක් එමඟින් සිදු විය. 1875 වර්ෂයේදී පාලි අකාරාදියේ දෙවෙනි වෙළුම ප්‍රකාශයට පත් කෙරිණ. 1876 වර්ෂයේ ප්‍රංශ ආයතනය මඟින් පාලි අකාරාදිය සඳහා වොල්නි ත්‍යාගය චිල්ඩර්ස් පඬිවරයාට පිරිනැමීමෙන් ඔහුගේ ශාස්ත්‍රීය පරිශ්‍රමයේ වටිනාකම අගය කෙරිණ. චිල්ඩර්ස් පඬිවරයා විසින් රාජකීය ආසියාතික සංගමයේ සඟරා කලාප කිහිපයක මහා පරිනිර්වාණ සූත්‍රය විවරණ සහිතව ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලැබ පළ කිරීමෙන් ප්‍රකට වූයේ ආගමික අගතියෙන් තොර ශාස්ත්‍රඥභාවයයි. මීට අමතරව දීඝ නිකායේ තෝරා ගත් සංකථන දහයක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම ආරම්භ කළද චිල්ඩර්ස් පඬිවරයාට පරිවර්තනය කිරීමට හැකි වූයේ එහි කොටස් හතක් පමණි.

ශාස්ත්‍ර ලෝකයට අපරිමිත සේවයක් කිරීමට බොහෝ කාලයක් තිබියදී 1876 වර්ෂයේ ජුලි මස 25 වෙනි දින රොබට් චිල්ඩර්ස් පඬිවරයා රෝගී තත්ත්වයකට බඳුන්ව ජීවිතයෙන් සමු ගන්නා විට ඔහුගේ වයස අවුරුදු තිස් අටකි. එතරම් කෙටි ආයු කාලයකදී එතුමන් විසින් ඉටු කරන ලද ශාස්ත්‍රීය මෙහෙය සිය වසක් ජීවත් වූ මිනිසෙකුටවත් කළ නොහැකි බව නම් අවිවාදිතය. ලංකාවේ දැල්වුණු ශාස්ත්‍ර ප්‍රදීපයේ ආලෝකය සමස්ත ලෝකයටම විහිදුවා හැරීමෙන් චිල්ඩර්ස් පඬිවරයා විසින් ඉටු කරන ලද මෙහෙයට සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගේ ප්‍රණාමය එතුමන්ට හිමි විය යුතුය.

Comments