මිටියට රුසි රුසියානුවෝ | සිළුමිණ

මිටියට රුසි රුසියානුවෝ

 

ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී මිටිය විසිකොට පදක්කමක් දිනා ගැනීම ශ්‍රී ලංකාවේ අපට නම් කළ හැක්කක් යැයි සිතන්නට පවා අපහසු ය.

ශක්තිය හා තාක්ෂණය පදමට මුහු කළ යුතු මේ ක්‍රීඩාවේ වැඩි ගෞරව දිනාගන්නට සමත් වූ රටක් ලෙස නම් කළ හැක්කේ රුසියාව ය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී පිරිමි මිටිය විසිකිරීමේ ඉසව්වේදී ප්‍රදානය කරන පදක්කමක් දිනා ගැනීම කෙසේ වෙතත් එම ඉසව්වට පිරිනැමෙන රන්, රිදී සහ ලෝකඩ යන පදක්කම් ත්‍රිත්වයම දිනාගැනීමට යමක් රටක් සමත් වන්නේ යැයි සිතිය හැකි ද?

එහෙත් එලෙස රන් පදක්කම් ත්‍රිත්වයම ඔලිම්පික් උළෙලක දී දිනාගැනීමට සමත්වූ රටක් වේ නම් ඔවුහු අසිරිමත් ජාතියකැයි කීමට නොහැක්කේ ද? එසේ මිටිය විසිකරමින් පදක්කම් ජයග්‍රහණය හිමිකරගත් රටක් ලෝක ඉතිහාසයේ සිටී. එසේ ඉතිහාස ගත වී ඇත්තේ රුසියාව ය.

එහි සුවිශේෂී හපන්කම ඔලිම්පික් පුරාණයට එක් කිරීමට රුසියාව අවස්ථාව උදා වූයේ අද වැනි දිනක එනම් 1988 වසරේ සැප්තැම්බර් 26 වැනිදා ය.

දකුණු කොරියාවේ සෝල් නගරයේ දී 1988 වසරේ පවත්වන ලද ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි මිටිය විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම රුසියාවේ සර්ජි ලිට්විනෝව් විසින් දිනා ගත්තේ මීටර් 84.80ක දුරක් සටහන් කොට ඔලිම්පික් වාර්තාවද අලුත් කරමිනි.

එහි රිදී පදක්කම ලෝක වාර්තාවට (මීටර් 86.74) හා පැවති ඔලිම්පික් වාර්තාවට ද (මීටර් 83.76) හිමිකරුවා වූ රුසියාවේ යූරි සෙඩික් ද ලෝකඩ පදක්කම ජූරි මාට් ද (මීටර් 81.16) දිනා ගෙන තිබුණි.

ඒ අනුව සෝල් ඔලිම්පික් උළෙලේ දී තෙවැනි වරටත් මිටිය විසිකිරීමේ රන්, රිදී හා ලෝකඩ යන පදක්කම් ත්‍රිත්වය රුසියාවේ ග්‍රහණයට නතුවීම සිදුවිය.

රුසියාව මේ අති විශේෂ වාර්තාවට පළමු පියවර තබනු ලැබුවේ 1976 වසරේ මොන්ටොරියල් නගරයේ පවත්වන ලද ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ය.

එහිදී යූරි සෙඩික්, ඇලෙක්සි ස්ප්‍රිඩොනෝච් හා ඇනටෝලි බොන්ඩර්ස් මිටිය විසිකිරීමේ පදක්කම් ත්‍රිත්වය රුසියාවට අත් කර දී තිබුණි. අනතුරුව 1980 වසරේ මොස්කව් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී යළිත් ක්‍රියාත්මක වූ යූරි සෙඩික් මීටර් 81.80ක් වූ ඔලිම්පික් වාර්තාව සමගින් රන් පදක්කම දිනා ගනිද්දී සර්ජි ලිට්විනෝව් රිදී පදක්කමද ජුරි ටාම් ලෝකඩ පදක්කමද දිනා ගත් හ.

ලොස් ඇන්ජලීස් නගරයේ දී 1984 වසරේ පවත්වන ලද ඔලිම්පික් ක්‍රීඩා උළෙල රුසියාව විසින් වර්ජනය කිරීම නිසා එක දිගට සිව් වරක්ම මිටිය විසි කිරීමේ ඔලිම්පික් පදක්කම් සියල්ලම දිනා ගත් රට වීමේ මාහැඟි අවස්ථාව රුසියාවට අහිමි වී ගියේ ය.

එහෙත් යළි 1988 වසරේ සැප්තැම්බර් 26 වැනිදා ඔලිම්පික් මිටිය විසිකිරීමේ බල පරාක්‍රමය තමන් සතුව තවදුරටත් පවතින බව ඔවුහු ඔප්පු කළ හ.

මෙහි තවත් විශේෂත්වයක් වූයේ 1976 වසරේ යූරි සෙඩික් මීටර් 81.80 ක් ලෙස පිහිටවා තිබූ ඔලිම්පික් වාර්තාව 1988 සැප්තැම්බර් 26 වැනි දා පැවති අවසන් වටයේ දී සර්ජි නිට් විනෝව් තමන්ට ලබා දුන් උත්සාහයන් හයේ දී ම ඉක්මවා යන්නට සමත්ව තිබීමයි.

 

 

Comments