මාලි ගේ වාර්තාවක තෙද නැමීබියානුවෙක් බිඳී විස්සයි විස්සේ දී | සිළුමිණ

මාලි ගේ වාර්තාවක තෙද නැමීබියානුවෙක් බිඳී විස්සයි විස්සේ දී

 

වාර්තා ඇත්තේ පිහිටුවන්නට ය, බිඳින්නට ය. එහෙයින් වාර්තා යනු පෙණ බුබුළු, පිණි කැකුළු මෙනැයි කිව හැකි ය. පසුගිය දා ක්‍රිකට් ලොවින් සමුගත් ලසිත් මාලිංග පිහිටවූ වාර්තාවක් බිඳහෙළු ක්‍රීඩකයෙක් නැමීබියාවෙන් මතුව තිබේ. ක්‍රිකට් ක්‍රීඩාව එතරම් ජනප්‍රිය නැති රටක ක්‍රීඩකයකු අතින් විශිෂ්ටයකුගේ වාර්තාවක් බිඳවැටීම නිසැකවම සැලකිල්ලට බඳුන් කළ යුතුව තිබේ.'

ලසිත් මාලිංග 21 වන සියවසේ ලොව බිහි වූ විශිෂ්ට වේග පන්දු යවන්නෙක්. එහි විවාදයක් නෑ. පසුගිය දා තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා‍වෙන් විශ්‍රාම ගන්නා බව ඔහු කියා සිටියා.

2004 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් භූමියට ගොඩවැදුණු මාලිංග තවත් ක්‍රීඩකයෙකුට පසුකර යෑමට තබා පහසුවෙන් සම කිරීමටවත් නොහැකි ගණයේ විශිෂ්ට වාර්තා කිහිපයකටම හිමිකම් කියනවා. නමුත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව නිවේදනය කර සතියක් ගතවන්නටත් පෙර ඔහු තැබූ විස්සයි20 ලෝක වාර්තාවක් බිඳ වැටුණා.

ඒකත් ප්‍රබල ක්‍රිකට් රාජ්‍යයකින් නම් එතරම් අරුමයක් නොවෙයි. එහෙත් මෙය වාර්තා වුණේ නැමීබියානු රාජ්‍යයෙන්. ඒ වාර්තාව පිහිටුවා තිබුණේ ඩේවිඩ් වීස්. ඔහු උපතින් දකුණු අප්‍රිකානුවෙක්. නමුත් අද වන විට නැමීබියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක්.

වීස් මේ දිනවල කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරනවා. ඒ ශාන්ත ලුසියා කින්ග්ස් කණ්ඩායම ට. පසුගිය දා ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ පැවති අවසන් පුර්ව තරගයේ දී ලකුණු 39 ක ට කඩුලු 5 ක් බිඳ හෙළුවා. ඒ සීමාවට ඔහු ප්‍රවේශ වූයේ 6 වැනි වතාවටයි. ලොව විස්සයි20 ක්‍රීඩකයන් අතර එම වාර් තා‍වේ පළමු ස්ථානයට පත් වන්නට ද වීස් ඒ අනු සමත් වෙනවා.

මීට පෙර එම වාර්තාවේ හිමිකරුවා ලසිත් මාලිංග යි. සිව්වතාවක් එම දස්කම පෑ, බංග්ලාදේශ සුපිරි ක්‍රීඩක සකීබ් අල් හසන් සහ පකිස්තානු සුපිරි ක්‍රීඩක සහීඩ් ඇෆ්රීඩි එම වාර් තාවේ මාලිංගට පසුපසින් රැඳී සිටිනවා. වීස් තරග 264 ක දී මෙම වාර්තාවට හිමිකම් කියද්දි මාලිංග එම වාර් තාවේ දෙවැනි තැන පසු වන්නේ තරග 289 කට ක්‍රීඩා කරමිනුයි.

වර්තමානයේ නැමීබියාව නියේජනය කළත් ඩේවිඩ් වීස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ බෞතිස්මය ලබන්නේ දකුණු අප්‍රිකාව වෙනුවෙනුයි. ඒ 2013-2016 අතර කාලය තුළ දකුණු අප්‍රිකාව ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර ඔහු එහි දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග සහ විස්සයි20 තරග 26 ක දී ක්‍රීඩා කර තිබෙනවා. දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ඔහු 2013 වසරේ දී මංගල එක්දින තරගය ක්‍රීඩා කරන්‍නේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි.පසුව දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර එක්දින තරග 6 ක ට සහභාගී වන වීස් එහිදී ලකුණු 102 ක් ලබා ගන්නට සමත් වන අතර කඩුලු 9 ක් දවා ගන්නට ද සමත් ‍වෙනවා.

වීස් 2013 වසරේ දී පළමු වරට විස්සයි20 තරග බිමට පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී යි. එහිදී ඔහු සිය පළමු ජාත්‍යන්තර විස්සයි20 කඩුල්ල ‍ලෙස ඇන්ජලෝ මැතිව්ස්ව දවා ගත්තා. ඔහු දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් විස්සයි20 තරග 20කට ක්‍රීඩා කළා. එහි අවසන් තරගය වුණේ 2016 වසරේ දී අවසන් වතාවට දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් විස්සයි20 තරගයකට ක්‍රීඩා කරන්නෙත් ශ්‍රී ලංකාවට එරෙහිවයි.

ඩේවිඩ් වීස් 2017 වසරේ සසෙකස් ක්‍රීඩා සමාජය සමඟින් කෝල්පැක් නම් ක්‍රීඩා සම්මුතියට එළැඹෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් නීතිරීතිවලට අනුව කෝල්පැක් සම්මුතියට අත්සන් කළ ක්‍රීඩකයකුට සිය මව්බිම නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට අවසර හිමි වන්නේ නැහැ. ඒ අනුව ඉන්පසුව ඩේවිඩ් වීස්ට දකුණු අප්‍රිකාව නියෝජනය කිරීම අහිමිවුණා. නමුත් ඔහු පසුව ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රිමියර් ලීග් තරගාවලි රැසක්ම නියෝජනය කරනවා. අයි.පී.එල්. තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, සී.පී.එල්. තරගාවලියේ ගයානා ඇමසන් වෝරියර්ස්, බාබඩෝස් රෝයල්ස්, සෙන්ට් ලුසියා කින්ග්ස්, පී.එස්.එල්. තරගාවලියේ කරච්චි කින්ග්ස්, ලාහෝර් කලන්දර්ස්, බී.පී.එල්. තරගාවලියේ කුල්නා ටයිගර්ස් යන කණ්ඩායම් ඔහු නියෝජනය කළා.

වීස්ට නැමීබියානු ක්‍රිකට් සමඟ එක්වන්න අවස්ථාව උදාවන්නේ ඔහුගේ පියා නිසයි. එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු පසුගියදා දන්වා සිටියේ 2021 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඩේවිඩ් විස් නැමීබියානු කණ්ඩායම නියෝජනය කරන බවයි. ඒ අනුව 2016 දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් සිය මංගල විස්සයි20 තරගය ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කළා සේ නැමීබියාව නියෝජනය කරමිනුත් තම මංගල තරගය ශ්‍රී ලංකාව සමඟ ක්‍රීඩා කරන්නට වීස්ට අවස්ථාව හිමිවනු ඇති.

 

Comments