මම වඩාත් කැමති වේදිකා නාට්‍යය නිර්මාණයකට දායක වෙන්න | සිළුමිණ

මම වඩාත් කැමති වේදිකා නාට්‍යය නිර්මාණයකට දායක වෙන්න

 

 

"මල් මල් සාරිය බඳේ වදිනකොට

බඹර බඹර තාලෙට හිත ගැස්සෙන"

 

මේ දිනවල අහන්න දකින්න ලැබෙන මියුරු ගීතයක්. මේ ගීතය ගයන්නේ සඳලිදු දුක්ගන්නාරාල. "මල් මල් සාරිය" ගීතයේ රූප රචනය පසුගිය දා එළිදැක්වීම සිදුවුණා. ගීතය නිර්මාණය වෙන්නේ ම හරි අපූරු ආකාරයට. ඒ ගැන වගේම ඉදිරි නිර්මාණ ගැනත් සිළුමිණ රසඳුන අපි සඳලිදු එක්ක කතා කළා.

 

"මල් මල් සාරිය" නිර්මාණය වෙන පසුබිමෙන්ම කතාව පටන් ගමු

මේකේ මෙලඩි එක නිර්මාණය වෙන්නේ සහන් රන්වල අන්කල් අතින්. ඒකට මුල් වෙන්නේ මගේ නර්තන ගුරුවරයා වන රසික කොතලාවල සහ නිශා කොතලාවල. මගේ අම්මට තමා මගේ ගීතයක් කරන්න ඕනේ කියන අදහස මුලින් ම එන්නේ. ඊට පස්සේ තමා අම්මා රසික සර්ට සහ නිශා මිස්ට මේ ගැන කියන්නේ. රසික සර් තමා සහන් අන්කල් ව යෝජනා කරන්නේ. මෙහි තියෙන තවත් විශේෂත්වය අපි මේ ගීතය නිර්මාණය කරන්නේ අප්පච්චිට නොකියා. පස්සේ කාලෙක වැඩසටහනක දී මේ ගීතය මුලින් ම කියද්දී අප්පච්චිට හිතාගන්න බැරිව සංවේදී වුණා.

 

අම්මයි පුතයි අප්පච්චිට හොරෙන් ගීතයක් කරන්න හිතුවේ ඇයි

ඒක වුණේ සහන් අන්කල් එක්ක කතා කරනකොට, සහන් අන්කල් ම තමා කිව්වේ මේක ලියන්න හොඳ ම කෙනා ගෙදර ම ඉන්න නිසා පුතාට කියලා කියන්නේ නැතුව අපි ලියා ගමු කියලා.

 

මේ ගීතය ගැයුවට පස්සේ අප්පචිගෙන් ලැබුණු මුල්ම ප්‍රතිචාරය මොකක් ද?

අප්පච්චි එදා ගොඩක් සංවේදී වුණා. අප්පච්චිට හිතිලා තිබ්බේ ඇයි මෙච්චර කාලයක් ගීතයක් කරලා දෙන්න බැරිවුණේ කියන එක. ඊට පස්සේ තව තව වැරදි අඩුපාඩු හදලා දියුණු කරලා තමා ඔෆීෂියල් ඕඩියෝ රිලීස් එකක් කරේ.

 

මේ වෙද්දී දැන් රූප රචනාව දකින්න ලැබෙනවා. ඒ ගැනත් කතා කළොත්

අපච්චිගේ පද රචනාව නිසා පිටපතක් හදලා අප්පච්චි ම තමා අධ්‍යක්ෂණය කළේ. මේක කලින් අපි කරන්න හිටියට කොරෝනා පැතිරීමත් එක්ක කල් ගියා. මෙතැනදී මතක් කරන්න ඕනේ රසික සර් සහ නිශා මිස්ව. මොකද මේ ගීතයට කවර් ඩාන්ස් එකක් කරමුද කියලා යෝජනාව ගේන්නේ රසික සර්. එතැනදී තමා අපප්ච්චි තීරණය කළේ අපි ඔෆීෂියල් මියුසික් වීඩියෝ එක ම කරමු කියලා. මෙහි නර්තන අංග සියල්ල සකස් කළේ රසික කොතලාවල රංග ආයතනයේ සියලු දෙනා. එඩිට් එක කළේ ඉරාජ් ප්‍රඩක්ෂන් හි ප්‍රියංග රණසිංහ අන්කල්.

 

කොහොමද වීඩියෝ එකට ලැබෙන ප්‍රතිචාර

ඇත්තට ම ගොඩක් හොඳයි. පළවෙනි පැය හය ඇතුළත යූ-ටියුබ් හි ට්‍රෙන්ඩින් අතරට ආවා. ගොඩක් අයගේ හොඳ ප්‍රතිචාර තවමත් ලැබෙනවා. මේ "මල් මල් සාරිය" ගීතයේ ඕඩියෝ එකටත් විව්ස් ලක්ෂ හත පැනලා තියෙනවා. ඒ අතරේ ගොඩක් අය අහලත් තිබ්බා ඇයි වීඩියෝ එකක් කරන්නේ නැත්තේ කියලා. ඒ නිසා ලැබෙන ප්‍රතිචාර ගැන සතුටුයි.

 

සඳලිදු කියන්නේ දක්ෂ නර්තන ශිල්පියෙක්, ඒ පැත්තෙන් ඉස්සරහට යමක් කරන්න අදහසක් නැද්ද?

මම පාසලේදී මුලින් ම ක්‍රිකට් ක්‍රීඩාව පැත්තට තමා වැඩි නැඹුරුවක් දැක්කුවේ. පස්සේ හය වසරේදී විතර තමා මට රසික සර් නර්තනය උගන්වන්නේ. එදා සිට උසස් පෙළ දක්වා මම නර්තනය හදාරනවා. රසික සර් මුලදී දන්නේ නැහැ මම වසන්ත දුක්ගන්නාරාලගේ පුතා කියලා. මගක් යද්දී තමා සර් දැනගන්නේ. උසස් පෙළට ආවම මට නර්තනය මඟ හැරෙනවා. ආයේ මට මගේ නර්තන හැකියාවන් පෙන්නුම් කරන්න අවස්ථාව ලැබෙන්නේ මගේ ගීතයෙන්. මේ ගීතය වෙනුවෙන් රසික සර් සහ නිශා මිස් එකතුව හදපු සම්පුර්ණ නර්තන අංගය ඇතුළත් වීඩියෝ එකත් ළඟදී ම රසික සර්ගේ යූ-ටියුබ් නාළිකාවෙන් දැක ගන්න පුළුවන්. ඒ එක්කම ඉදිරියේදීත් මගේ නිර්මාණ තුළින් නර්තන හැකියාවන් දැක ගන්න ලැබෙයි.

උසස් පෙළදී නර්තනය මග හැරෙන්නේ ඇයි

මම උසස් පෙළට තෝරා ගන්නේ ව්‍යාපාර කළමනාකරණය පැත්ත. මේ වෙද්දී මගේ උපාධිය ට පවා මම තෝරා ගෙන තියෙන්නේ ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය.

 

කලාවේ නියැ⁣ළෙන්න කැමති ම ක්ෂේත්‍ර

මම කැමති නර්තන, රංගන, ගායන සහ නිවේදන කියන පැති වලින් මගේ හැකියාවන් පෙන්නුම් කරන්න.

 

කලාවෙන් ඉදිරියට යන්න ආසාව තියෙද්දී ඇයි ව්‍යපාර කළමනාකරණය පැත්තෙන් ඉගෙන ගන්නේ

මම පොඩි කාලේ ඉඳන් ඒ පැත්තට නැඹුරු වෙලා හිටියා. අප්පච්චිට මාස්ටර් එක වුණත් තියෙන්නේ ව්‍යාපාර කළමනාකරණය පැත්තෙන්. අම්මා තමා හැමවෙලාවෙම අධ්‍යාපනය පැත්තට යොමු කළේ. අප්පච්චි වුණත් අපිට කිව්වේ යම් වෘත්තියක නිරත වෙන ගමන් මේ ක්ෂේත්‍ර තුළ නියැළෙන්න කියන එක.

 

රංගනයට තියෙන කැමත්ත

ලොකු ආසාවක් තියෙනවා රංගනයට. මම පාසල් ගියේ ලයිසියම් ජාත්‍යන්තර පාසලට. එතැනදී පාසල් වේදිකාව තුළදී 2018 වසරේ හොඳම නළුවා සම්මානය ලබලා තියෙනවා. මම වඩාත් කැමතියි වේදිකා නාට්‍යය නිර්මාණයකට දායක වෙන්න සහ රංගනයට එන්න. බලමු ඉස්සහරට ඉතින්

 

මේ දවස් වල හැදෙන අලුත් ගීතය ගැනත් කෙටියෙන් හෝ කියමු

අලුත් ගීතය මම කරන්න යන්නේ නදීක ගුරුගේ අන්කල් එක්ක. ඒක වෙනස්ම වැඩක්. මේ දවස් වල එහි මුලික කටයුතු නිර්මාණය වෙමින් පවතිනවා. ඒකත් ඉක්මනින්ම එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

සඳලිදු වෙනස්ම නමක් තියෙන්නේ, කවුද මේ නම තියන්නේ

මේ නම මට තියලා තියෙන්නේ ජැක්සන් ඇන්තනී මාමා. ජැක්සන් මාමා නම් කියන්නේ ඉස්සර කතා වල මේ නම තියෙනවා කියලා. සඳෙන් උපන් සඳලිදු, මලෙන් උපන් මලලිඳු වගේ අර්ථ වලින්. මම ඉපදෙද්දී ටිකක් අමාරුවෙන් ඉපදිලා තියෙන්නේ. ඒ ඉපදිලාත් මගේ එක අතක් මුලදී වැඩ කරලා නැහැ. ඒ එක්කම ඉස්සර විජය කුමාරයා ඉන්දියාවෙන් ගෙන්වපු කුමාරවරුන් අතරත් සඳෙන් උපන් සඳලිදු, මලෙන් උපන් මලලිඳු වගේ නම් තියෙන අය ඉඳලා තියෙනවා. ඒ සඳලිදු කියන කුමාරයාට ලංකාවට එන්න බැරි වෙලා තියෙනවා. ඒවත් ඔක්කොම හිතලා තමා ඒ නම තියලා තියෙනවා කියලා මම දන්නේ.

Comments