මට ඕනේ කාට වුණත් වටිනා දෙයක් දෙන්නයි | සිළුමිණ

මට ඕනේ කාට වුණත් වටිනා දෙයක් දෙන්නයි

 

 

කන් සොලවන, කට සොලවන, හිස වන වන වචන කියන රූකඩ සතුන් ඔසවගෙන නාළිකාවෙන් නාළිකාවට දුව පැන සතුටින් ‘මපට් ෂෝ’ කරමින් සිටි ශ්‍රීනාත් මද්දුමගේ හදිසියේ ම අතුරුදන් විය. වේදිකාවේ ද ටෙලි නාට්‍යයේ ද චිත්‍රපටවල ද ක්‍රියාකාරී පසුබිමක ඔහු දකින්නට නොවුණි. දන්නා හඳුනන අයගෙන් ඇසූමුත් පිළිතුරක් නොලැබුණි. ගෙවුණු කාලය වසර 16කි. අපට හමුවූයේ කලෙකට පස්සෙයි.

 

ඇත්ත තමයි. මං ඕස්ට්‍රේලියාවට ඇවිත් වසර 16ක් වෙනවා. හැමෝටම කිය කියා හිටියා නම් තවමත් මම ලංකාවේ.

මගේ බිරිය ශ්‍රියාණි ජයවික්‍රම ලංකාවේ පරිපාලන නිලධාරියෙක් හැටියට ඉන්න කාලේ ඇයගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා අපි ඔස්ට්‍රේලියාවට ආවා. දැන් අපට දුවෙක් ඉන්නවා. එයා චමත්කා. මගේ බිරිය ඔස්ට්‍රේලියාවේ දුම්රිය ස්ථානාධිපති කෙනෙක් හැටියට දැන් රාජකාරි කරනවා. මමත් පුහුණු පාඨමාලාවක් හදාරලා අවශ්‍ය සුදුසුකම් සැපිරීමෙන් පසුව පීටර් මැක් පිළිකා රෝහලේ ශල්‍යාගාර සහායකයකු ලෙස රැකියාව කරනවා. ලංකාවේ පිළිකා රෝහල වගේ අතිශ්‍ය කාර්ය බහුල තත්ත්වයක් මෙහේ නෑ. හැම රෝහලකට ම සම්බන්ධ ව පිළිකා රෝගීන් සඳහා වාට්ටු සහ අනෙකුත් ප්‍රතිකාර සේවා, වෛද්‍යවරුන් ඉන්න නිසා මං වැඩ කරන රෝහලේ ලොකු තදබදයක් නෑ. නමුත් මෙහේ වැඩ නම් වැඩ තමයි. මේ කාලේ ලොක් ඩවුන් කරලා තියෙන්නේ. ඒ වුණාට වැඩට යන අය යන්න ඕනේ. එහේ මෙහේ නිකරුණේ ඇවිදින්න, යාළුවො බලන්න යන්න, විනෝද ගමන් බෑ. අත්‍යවශ්‍ය කඩ ඇරලා. රැකියාවට නොයන අයට හා රැකියාවට නොයන වෙලාවක කුමන හෝ අවශ්‍ය කාරණයකට ගමන් කළ හැක්කේ කිලෝමීටර් 5ක් දක්වා පමණයි. මෙහේ මිනිස්සු නීති කඩන්නේ නෑ. බැරිවෙලාවත් නීති කඩලා සීමාව පැන්නොත් ලොකු දඩයක් කන්න වෙනවා. සාමාන්‍යයෙන් කිව්වොත් ලංකාවේ මුදලින් ලක්ෂ එකහමාරකට වැඩි දඩයක් ගෙවන්න වෙනවා. දඩ නම් දඩ තමයි. ඒ නිසා හැමෝ ම විනය ගරුකයි. අනුන්ගේ වැරදි හොය හොය අනුන්ට කරදර කරන්නේ නෑ. හැමෝගෙම ගරුත්වය රකිනවා. මෙහේ හැම ජාතියක ම ආගමක ම අය එකට ජීවත් වෙනවා. මෙහේ වෙනස ඒකයි.

මොරටුව ලක්ෂපතියේ ඉපිද, වේලස් කුමර විද්‍යාලයට ගිය ශ්‍රීනාත්ට ප්‍රවීණ නාට්‍යවේදී තිස්ස ගුණවර්ධනයන් ව හමුවන්නේ පාසලේ නාට්‍ය ගුරුවරයා වූ බැවිනි. කොහොමටත් නාහෙට නාහන ශ්‍රීනාත් ළමයා පාසල් සගයකු සමඟ ඇල්ලූ ගුටිකෙළියක් දෙස බලා උන් මේ අපූරු ගුරුවරයා ශ්‍රීනාත්ට ලබා දී ඇත්තේ සදහට ම ජීවිතයට ගැලවුමක් නැති දඬුවමකි.

"ඒක නම් හරි පුදුම දඬුවමක් තමයි. රණ්ඩුව බේරපු තිස්ස සර් මට තර්ජනාත්මක ව කිව්වා හවසට ආර්ට් රූම් එකට එනවා කියලා. මං යද්දි සර් මොනර විල නාට්‍යයේ පුහුණුවීම් කරවමින් හිටියා. මටත් ලැබුණා දෙබස් කීපයක් එක්ක රැස්වීමක මයික් සෙට් කරන පොඩි චරිත කෑල්ලක්. මාත් ඉතින් කට පණ ගහලා ජස්ටින් වන් වන්... ඕයි.., ඕයි.., වයර් පාගන්න එපා කරන්ට් එන්නෙ නෑ... කියලා කියමින් සර් කියන්න කිව්ව රඟපෑම කළා. නාට්‍ය වේදිකාගත වුණා. මං රඟපාමින් දෙබස් කිව්වා. මුළු ප්‍රේක්ෂකාගාරය ම එක ම හඬින් හිනැස්සුනා. දඬුවම ජීවිතය වුණා.

අනතුරුව සයිමන් නවගත්තේගම වෙතින් තවදුරටත් නාට්‍ය කලාව හදාරමින් එතුමාගේ සුභ සහ යස, පණ්ඩුකාභය, ලෝකෝත්තර ආදි වශයෙන් වූ නාට්‍ය බොහෝමයකට රංගනයෙන් දායක වෙමින් නාට්‍ය කලාවේ ප්‍රධාන ධාරාවට එකතු වූයේ ය. මේ අතර රූපසිංහ කංකානම්ගේගෙන් රූකඩ කලාව හදාරමින් නිර්මාණවලට දායක වූ ඔහු මපට් ෂෝ සමඟ සෑම රූපවාහිනී නාළිකාවකට ම සම්බන්ධ විය. අදට ද මවු රටින් ගව් ගණනක දුර සිටියත් තමන්ගේ ම රූපාගාරයක් නිවසේ පුංචි කාමරයක කුඩා පුස්තකාලයක් ද සහිත ව ගොඩනගාගෙන ඇති ඔහු ඔස්ට්‍රේලියාවේ සුන්දර හා වටිනාකමකින් යුතු ස්ථාන පිළිබඳ දර්ශන සහිත මපට් ෂෝ වැඩසටහනක් පුදුම ඉස්කෝලේ නමින් ස්වර්ණවාහිනියට ඉදිරිපත් කරන්නේ ය.

සාලමන් ෆොන්සේකා වෙතින් ද නාට්‍ය ප්‍රවේශයන් ලැබූ ශ්‍රීනාත් ආර්.ආර්. සමරකෝන්, ලින්ටන් සේමගේ, සුනිල් චන්ද්‍රසිරි, ජයලත් මනෝරත්න ආදි වශයෙන් මෙරට වේදිකාවේ දැවැන්තයන් සමඟ සිය රංග කාර්යය නොපිරිහෙලා ඉටු කළේ ය.

විමලරත්න අධිකාරීගේ වටපලුව ටෙලි නාට්‍යයෙන් පස්සෙ නාලන් මෙන්ඩිස්ගේ ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය රැසක මම රඟපෑවා. උදයකාන්ත වර්ණසූරියගේ හැම චිත්‍රපටයක ම වගේ මම රඟපෑවා. පරාක්‍රම නිරිඇල්ලගේ, අනුර හොරේසස්ගේ චිත්‍රපටවලත් රඟපෑවා. වහලෙ කඩාගෙන බිමට වැටෙන රයිනෝ වෙළෙඳ දැන්වීම නිසා ලංකාවේ බොහෝ ජනප්‍රියත්වයක් මට ලැබුණා. රවීන්ද්‍ර මුණසිංහගේ නඳුන් උයන රූපවාහිනී සංගීත වැඩසටහනේ නිරෝෂා විරාජිනිගෙ සඳ සාක්කි කියාපුදෙන්... ගීතයේ රූපරචනයට රංගනයෙන් දායක වන්න ලැබීම නිසා එක රැයින් මාව ලෝකය පුරා ජනප්‍රියත්වය වුණා.

ශ්‍රීනාත් ඔස්ට්‍රේලියාවේ ද ප්‍රසංග කිහිපයක් මෙන්ම 'මේ මොකක්ද මේ' යනුවෙන් වේදිකා නාට්‍යයක් ද නිර්මාණය කර ප්‍රදර්ශනය කර ඇත.

පෙත්සම්කාරයෝ අබියස කැලෑ පත්තර කියලා වේදිකා නාට්‍යයක් මම මේ දවස්වල කරගෙන යනවා. ඕස්ට්‍රේලියාවේ විස්තර මුළු ලෝකයට ම කියන්න 'තැනින් තැන' කියලා මගේ යූටියුබ් නාළිකාවේ වැඩසටහන් කරනවා. මගේ දුවත් බොහෝ අවස්ථාවලදී මාත් එක්ක මේ වැඩසටහන් කරනවා. ළඟදී ම ජනගත කෙරෙන අලුත් ම වැඩේ තමයි 'ලොණ්ඩ පතුරු'. මට ඕනේ කාට වුණත් වටිනා දෙයක් දෙන්නයි. ඕපාදූප, නිසරු දේවල්වලට ඉල්ලුම වැඩි වුණාට සත්‍ය සහ වටිනා දේ ඉදිරිපත් කරන නිසා එක්තරා පිරිසක් මගේ වැඩසටහන් නරඹනවා. ඒ ගැන මට සතුටුයි. ඉඩක් ලැබෙන විදිහට ලංකාවට ඇවිත් නිර්මාණවලටත් දායක වෙනවා. කඳ මෙහේ තිබුණාට මගේ අක් මුල් ඇති මව්බිමට අපි කවදා හරි එනවා." ඔහු කීවේ ය.

Comments