මගේ බලාපොරොත්තුව දූවිලි නාට්‍යය වේදිකාවට ගෙන ඒමයි | සිළුමිණ

මගේ බලාපොරොත්තුව දූවිලි නාට්‍යය වේදිකාවට ගෙන ඒමයි

 

කලක් රම්‍යා වනිගසේකර බොහෝ දෙනා හඳුනා ගන්නේ හඬින් මිස රුවින් නොවේ. නමුත් අද වෙද්දී නම් හඬ මෙන්ම ඇයගේ රුව ද බොහෝ දෙනා හඳුනන්නීය. සිය ජීවිතයෙන් හරි අඩකට වැඩි කාලයක් කලාව වෙනුවෙන් කැප කළ ඇගේ විවිධ වූ කලා කුසලතා පිළිබඳව අටුවා ටීකා කීම අවැසි නැත. අති දක්ෂ, සම්මානනීය රංගවේදී රම්‍යා වනිගසේකර වේදිකා නාට්‍ය පසුබිම් ගායිකාවක ලෙස කලා ලොවට ප්‍රවිෂ්ට වන්නේ ගායිකාවක වීමේ එකම සිහිනය සැබෑ කර ගන්නට ය. එහෙත් දෛවය ඇයව අති දක්ෂ රංගන ශිල්පිනියක මෙන්ම කටහඬ ඇසූ සැණින් රටම දන්නා නිවේදිකාවක් බවට පත් කළේ ය.

 

 

ඔබ මේ දිනවල විකාශය වන දිවිතුරා නාට්‍යයේ වින්ඩිගේ අම්මා. කොහොමද ඊට ලැබෙන ප්‍රතිචාර

ඇත්තටම මට මේ සඳහා ආරධනා ලැබුණාම මම ඒ ගැන ටිකක් අධ්‍යයනය කළා. මොකද මට ලැබුණේ ආගන්තුක චරිතයක්. මම බැලුවා වින්ඩිගේ චරිතය මොකක්ද කියලා. ඒ වගේම නාට්‍යයට සම්බන්ධ අයගෙන් විස්තර ඇහුවා. අවසානගේ මම දිවිතුරා නාට්‍යයට සම්බන්ධ වුණා. ඊට පස්සේ මට හුඟක් ප්‍රතිචාර ලැබුණා. ප්‍රේක්ෂකයෝ වුණත් හුඟක් සතුටු වෙලා මට කතා කළා.

 

කොරෝනා තත්ත්වය එක්ක රූගත කිරීම් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද ?

පහුගිය දවස්වල නම් මම සම්බන්ධ වුණේම නැහැ. ඇත්තටම මේ ලෙඩේ නිසා. මොනවා කළත් ජීවිතේ රැකගන්න ඕන. එත් දැන් හුඟක් අය නාට්‍යය වැඩ පටන් අරන්. ඒ නිසා ඉස්සරහට රූපගත කිරීම් වලට සම්බන්ධ වෙනවා.

 

මොනවද ඉස්සරහට එන්න තියෙන ඔබේ නිර්මාණ ?

ඉන්දික ධර්මතිලකගේ නිර්මාණයක් සැප්තැම්බර් 18 ඉඳන් ITN එකේ සති අන්තයේ විකාශය වෙන්න පටන්ගත්තා. එකේ තව රූගත කිරීම් කරන්නත් තියෙනවා. ඒ වගේම වැඩිහිටි දිනයට කෙටි චිත්‍රපටයක් වැනි නිර්මාණයක් කරනවා.

 

ටෙලි නාට්‍ය රූ ගත කළාට, වේදිකාවේ කටයුතු නම් සම්පුර්ණයෙන් නැවතිලා නේද ?

ඇත්තටම ඉතාම අවාසනාවන්ත විදිහට පහළට බැස්සේ වේදිකා නාට්‍ය තමයි. රට වහලා තියෙද්දී නම් කොහොමත් කරන්න බැහැ. එහෙම නොවුණත් පිරිස රැස් කරලා කොහොමද වේදිකා නාට්‍ය කරන්නේ. මේ වගේ ව්‍යසනයක් තියෙනකොට කවුද එන්නේ. ජූඩ් ශ්‍රීමාල් වේදිකා නාට්‍ය ෆෙස්ටිවල් එකක් කරන්න හිටියා. කැලණි පාලමත් එකේ රඟදක්වන්න හිටියා.

කැලණි පාලම වේදිකා නාට්‍යයේ මැටිල්ඩා චරිතයට ඔබ වසර 43 පණ පොවනවා. ඒක සුවිශේෂී සිද්ධියක් නේද?

ඇත්තටම ඔව්. 1978 සිට මේ දක්වා එක දිගට ඉන්නවා. එත් ගෙවුණු අවුරුදු 02 නම් සෘණ අවුරුදු. ගිය අවුරුද්දට ෂෝ දෙකයි. මේ අවුරුද්දට එකක්වත් නැහැ.

 

මේ දවස් වල හඬ කැවීමේ වැඩ කටයුතු වලට සහභාගී වෙනවද?

හඬ කැවීමේ වැඩ කටයුතු වලට සහභාගී වෙමින් හිටියා; හිරු නාළිකාවේ ආදරෙයි මං ආදරෙයි කියන නාට්‍යයට. එත් කොරෝනා එක්ක ඒකත් නැවතුනා.

 

ඔබ වසර ගණනාවක් තිස්සේ රංගන, නිවේදනය, හඬ කැවීම්වලට සම්බන්ධ වෙනවා මොන බාධක ආවත්. එත් ගායනය කියන එක ඔබෙන් මගහැරුණා නේද ?

අනේ ඔව්. මට ඒ දේ ගොඩාක් මගහැරුණා. මම හුඟාක් පසුතැවෙනවා ඒ ගැන. මෙච්චර කාලයක් ගුවන් විදුලියේ ඉඳල ගායනයට සම්බන්ධ වෙන්න බැරි වුණ එක ගැන සමහරු පුදුම වෙනවා. එත් මම අතහරින්නේ නැහැ. මට මේ කාලේ ගායනයට යොමුවෙන්න පුළුවන් නම් හොඳයි. මම අභියෝගයක් විදිහට ඒක බාර ගන්නවා.

 

එත් ඔබ මෑතකාලීනව ගායනා කළ ගීතයක් ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනවා නේද මේ දවස් වල

 

ඔව් ඒක අහම්බයකින් වුණ දෙයක්. ආශා රාජපක්ෂ මට චිත්‍රපටයක වැඩකදී හමුවුණේ. ඇයත් එක්ක මම ගායනය මගහැරුණු එක ගැන කතා කර කර හිටියා. ඒ වෙලාවේදී මම ආශාට කිව්වා ලියපු ගීතයක් තියෙනවා කියලා. ඇය මට පොරොන්දු වුණා මාව නැවත ගායිකාවක් කරනවා කියලා. මම ඒ ගීතය පස්සේ පටිගත කළා. ආශා ඒ නිර්මාණය කරලා මට ගෙනත් දුන්නේ හරියටම මගේ උපන් දිනේ දවසේ. ඒ ගීතය නම් කළේ කොබෝලීල මල් නමින්.

ඔබේ හඬට පෙම් කරන අය ඔබට අදත් මුණගැහෙනවා ඇති

මම නිවේදිකාවක් ලෙස කරපු දේවල් ගැන ඉතාම සතුටුයි. මම කවදාවත් හිතුවේ නැහැ ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න පුළුවන් වෙයි කියලා. මාව පුහුණු කළේ එල්මෝ ප්‍රනාන්දු මහත්මයා. මගේ රාජකාරිය මම 1980 සිට 2018 දක්වා කළා. ගුවන් විදුලියෙන් මාව බැබළුණා වගේම මමත් ගුවන් විදුලිය බබළවන්න කටයුතු කළා.

 

මඟතොටදී මුණගැහෙන අයගෙන් ලැබෙන ප්‍රතිචාර මොනවද?

හුගක් දේවල් වෙලා නම් තියෙනවා. එක දවසක් මම ටැක්සි එකක යනවා. ඒ යද්දී මාවත් පෙන්න රියදුරු මහත්මයා කැමරා එක ඕන් කරන් යනවා. මම කන්දේ ගෙදර බලලා ආවේ කිව්වා. එයා අර කැමරා එකෙන් මාව එයාගේ බිරියට පේන්න තියලා. බිරියට කතා කළොත් හුඟක් සතුටු වෙයි කිව්වා. අන්තිමට මම එයාගේ බිරිය එක්කත් ජංගම දුරකතනයෙන් කතා කළා. ඔවුන්ගේ ජිවිතේ සතුටුම දවස එදා කියලා තමයි කිව්වේ.

 

ගගුලෙන් එගොඩ සිට දිවිතුරා දක්වා පැමිණි ටෙලි නාට්‍ය ජීවිතය ගැන මොකද හිතෙන්නේ.

දැන් මට වයස 71ක්. එදා සිට අද දක්වා කරපු එක චරිතයක්වත් ප්‍රතික්ෂේප වෙලා නැහැ. මම පලිඟු මැණිකට සම්බන්ධ වෙනකොට, එකේ රඟපෑවේ ප්‍රවීණයෝ. ඒක හරියට විශ්වවිද්‍යාලයට ගියා වගේ. සාමුහිකව අපි හැමදේම කළා. ඒ කාලේ නාට්‍යකට ආරාධනා කරන්න ගෙදරටම එනවා; පිටපත දෙනවා; ශිල්පියාට නිසි ගරුත්වයක් තිබුණා; දැන් නම් ඒවා නැහැ.

හුඟක් අය කියන දෙයක් තමයි ඒ කාලේ නිර්මාණ අද කාලෙට වඩා හොඳයි කියන එක

එදා මඤ්ඤොක්කා අලයක් තම්බන් කාපු අය ක්ෂණික නුල්ඩ්ස් වලට පුරුදු වෙලා. හැමදේම වේගවත් වෙලා. නිෂ්පාදකවරයා නළුවා නිළිය තෝරන්නේ. දැන් නම් ඊටත් එහා ගිහින් නාළිකා නළු නිළියෝ තෝරන්නේ. ඉතින් කොහෙද කලාවක් පිහිටන්නේ.

 

අත්තම්ම කෙනෙක් විදිහට ගෙවන ජීවිතේ ගැනත් අපි කියමුද

නිර්මාණවල නම් මම 20 - 30 වතාවක් අත්තම්ම වෙලා ඇති. දැන් නම් මම ඇත්තටම අත්තම්ම කෙනෙක්. මිනිපිරියක් ඉන්නේ මට. එයාගේ හුරතල් බලන්නත් බැරි වෙලා මේ වසංගතයක් නිසා.

මොනවද ඉදිරි බලාපොරොත්තු

දුවිලි නාට්‍ය වේදිකාවට ගේන්න බලාපොරොත්තු වෙනවා. ආර්. ආර්. සමරකෝන් මගේ මහත්තය වෙනුවෙන් මට කරන්න පුළුවන් එකම දේ එච්චරයි.

Comments