මගේ අනාගත බලාපොරොත්තුව ‘පයිලට්’ කෙනෙක් වෙන්න | සිළුමිණ

මගේ අනාගත බලාපොරොත්තුව ‘පයිලට්’ කෙනෙක් වෙන්න

 

 

මේ දිනවල කාගේත් කතා බහට ලක්වෙලා තියෙන නාට්‍යය නිර්මාණයක් තමා දෙරණ නාළිකාවේ රාත්‍රී 7.30ට විකාශය වන ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යය. මෙහි එන ‘යහපත්’ මේ වෙද්දී හැමෝගෙම අවධානය දිනාගෙන තියෙනවා. ඒ නිසාම යහපත්ගේ චරිතයෙන් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබා ගන්නා විනුක් එක්ක අපි කතා කළා.

 

යහපත්ගේ ඇත්ත නම මොකක් ද?

විනුක් දෙව්මිණ හෙට්ටිආරච්චි

 

පවුලේ විස්තර

අම්මා චම්පිකා කරුණාරත්න. තාත්තා ඉෂංක විරාජ්. මට ඉන්නේ එක නංගි කෙනෙක්. එයාගේ නම විහඟි සෙනායා තවම අවුරුදු 6 යි.

 

ඉගෙන ගන්න පාසල

කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලය. 5 වසර.

 

රංගනයට එන්නේ කොහොමද?

මගේ මාමා එයා මහවිරු පණ්ඩු නාට්‍යයේ කැමරාකරණය කරන්නේ. මුලින් ම මාමා නිසා මහවිරු පණ්ඩු එකේ පොඩි චරිතයක් කළා. ඊට පස්සේ ටික කාලයකින් මාමා මගේ අප්පච්චිට කිව්වා අලුත් නාට්‍යයකට ළමයි ගන්නවා කියලා. ඒකට අපි ගියා. ටික කාලයක් ගියා ම එතැනින් අප්පච්චිට කතා කරලා කියලා තිබ්බා එන්න කියලා.

 

මාමා නිසා ද නළුවෙක් වුණේ

මට මාමල තුන්දෙනෙක් ඉන්නවා. ලොකු මාමා තමා මහවිරු පණ්ඩු එකේ කැමරාකරණයට ඉන්නේ. පොඩි මාමා කවිඳු. කවිඳු මාමා තමා මට පොඩි කාලේ ඉඳන්ම රඟපාන්න, කැමරාවට මුහුණ දෙන්න ඕනේ විදිය එහෙම කියලා දුන්නේ. එතකොට තමා මටත් ආස හිතුණේ කවදා හරි නළුවෙක් වෙන්න ඕනේ කියලා.

 

මුල් ම දවසේ මොකද හිතුණේ

පළවෙනි දවසේ කැමරාවට බය හිතුණා. ඊට පස්සේ නම් පොඩ්ඩ හරි ගියා. එතන ඉන්න කට්ටිය ම හිතවත් ඒ නිසා බයක් දැනෙන්නේ නැහැ.

 

විනුක්ගේ කොටස් රූගත කරලා දර්ශන තලයේ ඉන්න කොට මොනවද කරන්නේ

අපි ඔක්කොම දැන් යාළුවො නිසා කෑගහනවා. දුවනවා, සෙල්ලම් කරනවා. සද්දේ වැඩියි සද්ද නොකර ඉන්න කියලා කිව්වම කම්මැළි නිසා කට්ටිය ම එකතු වෙලා චිත්‍ර අඳිනවා.

 

බැණුම් අහන අවස්ථා තියෙනවද?

ඔව් ඉතින් කම්මැළි නිසා කෑගහලා සෙල්ලම් කරද්දී බැණුම් අහනවා. ටික වෙලාවක් නිහඬ ව ඉඳලා ආයේ ඉතින් සෙල්ලම් කරනවා.ආයේ බැණුම් අහනවා. ඊට පස්සේ නම් පාඩුවේ ඉන්නවා.

 

කොහොමද ලැබෙන ප්‍රතිචාර

මුල් කාලයට වඩා මගේ රංගනය හොඳයි කියලා අධ්‍යක්ෂණය කරන අන්කල් එහෙම කියනවා. මඟ තොට දී වුණත් මාව දැක්කම ආ මේ ඉස්කෝලේ ළමයා නේද කියලා කතා කරනවා.

මොකද හිතෙන්නේ ඒ වෙලාවට

ඇත්තටම සතුටුයි මාව හැමෝම වගේ දන්නවා කියලා දැනෙනකොට.

 

විනුක්ගේ පාසලේ ගුරුවරු සහ යාළුවෝ මොකද කියන්නේ

තවත් හොඳින් චරිතය කරන්න කියනවා. රඟපෑමේ කටයුතු එක්ක පාසල් අධ්‍යාපන කටයුතුත් හොඳින් සමබරව කරගෙන යන්න කියනවා.

විනුක් කැමතිත් දිගට ම රඟපාන්න ද?

මගේ අනාගත බලාපොරොත්තුව පයිලට් කෙනෙක් වෙන්න. ඒ එක්ක ම රංගන කටයුතුත් හොඳින් කරගෙන ගිහින් හොඳ නළුවෙකුත් වෙනවා.

 

අම්මා තාත්තාගෙන් ලැබෙන සහයෝගය

ලොකු සහයෝගයක් ලබා දෙනවා. මට කට්ටිය එක්ක සුහදව ඉන්න, චරිතය හොඳින් කරන්න කියන එක නිතරම කියනවා. මම ඒ දේවල් අහලා හොඳට ඉන්නවා.

 

නංගි කෙනෙක් නේද ඉන්නේ, එයා මොකද කියන්නේ

එයාට මාව ටීවී එකෙන් දකිද්දී ගොඩක් සතුටුයි. එයා කියනවා අන්න අයියා ඉන්නවා කියලා.

 

එයාත් ආසයි ද රඟපාන්න

ඔව්. එයත් ගොඩක් ආසයි. ඒත් එයා තවම පොඩි වැඩි නිසා නාට්‍යයක් ලැබුණේ නැහැ. හැබැයි එයත් ඉතින් තව අවුරුදු දෙක තුනකින් මම වගේම රඟපායි.

 

පාසලේ යාළුවොන්ට වඩා 'ඉස්කෝලේ' නාට්‍යයේ යාළුවො දැන් පුතාගෙ යාළුවො ද?

ඔව්, දැන් නම් පාසලේ යාළුවොන්ටත් වඩා හොඳ යාළුකමක් ඉස්කෝලේ කණ්ඩායම එක්ක තියෙනවා.

 

යහපත් ට ආදරය කරන අයට මොකක් ද කියන්නේ

මගේ චරිතය හොඳින් මම කරනවා නම් හැමදාම මා එක්ක ඉන්න. මට කතා කරන්න. මමත් ඔයාල එක්ක හැමදාම ඉන්නවා. Vinuk Dewmina Hettiarachchi කියන මගේ Fb page එකෙන් මාව සම්බන්ධ කර ගන්න පුළුවන්.

විනුක් කියන්නේ කටකාර පුංචි පොඩ්ඩෙක්. අනාගතයේ දක්ෂතා සපිරි රංගන ශිල්පියෙක් වෙන්න සිළුමිණ රසඳුන අපිත් සුබ පතන ගමන් විනුක්ගේ අම්මා එක්කත් පොඩ්ඩක් කතා කළා. දරුවන්ගේ දක්ෂතා දැකලා දෙමාපියන් තරම් සතුටු වෙන අය නැහැනේ.

අද වෙද්දී පුතාට බොහෝ දෙනෙක් ආදරය කරනවා, ඒ ගැන මොකද හිතෙන්නේ

ඇත්තට ම හරි ම සතුටුයි. මේක මගේ හීනයක් කිව්වොත් හරි. මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා නම හිතුවේ නැහැ. හැබැයි කවදා හරි පුතා රඟපානවා දකින්න මම ගොඩක් ආසාවෙන් හිටිය කෙනෙක්. විනුක්ගේ තාත්තාත් කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටිය කෙනෙක්. ඒ නිසා පුතා ලැබෙන්න ඉන්න කාලේ ඉඳන්ම අපි ආස කළා කලාවට දක්ෂ දරුවෙක් ලැබෙනවා නම් කියලා. මට මල්ලිලා තුන්දෙනෙක් ඉන්නවා. ඒ අයත් කලාවට සම්බන්ධ වෙලා ඉන්නේ. මහේෂ් කරුණාරත්න කියන මගේ මල්ලි තමා මහවිරු පණ්ඩු නාට්‍යයට සම්බන්ධ වෙලා වැඩ කරන්නේ. කවිඳු කරුණාරත්න කියන්නේ මගේ බාල ම මල්ලි. එයාටත් ඕනේ වුණා කවදා හරි පුතාව නළුවෙක් කරන්න. ඒනිසා පුංචි කාලේ ඉඳන්ම ජංගම දුරකතනයේ කැමරාවෙන් පුතාගේ හැකියාවන් වීඩියෝ කරලා අඩුපාඩු කියලා දීලා හැදුවා. අද ඉන්න තැන ගැන නිහතමානී සතුටක් තියෙනවා පවුලේ හැමෝට ම.

Comments