බලා­ගෙ­නයි! සියලු මරණ කොවිඩ් මරණ නොවිය හැකියි | Page 2 | සිළුමිණ

බලා­ගෙ­නයි! සියලු මරණ කොවිඩ් මරණ නොවිය හැකියි

ඝාතනය වූ කලනි විවාහය දා  සිය  සැමියා සමඟ
ඝාතනය වූ කලනි විවාහය දා සිය සැමියා සමඟ

කොරෝනා වසංගතයෙන් සිදුවන මරණ අතරේ කොරෝනා මරණවලට සැඟවී සිදු කිරීමට තැත් කරන ඝාතන අපරාධ පිළිබඳවත් පසුගිය දිනවල අසන්නට ලැබිණි. රත්නපුර කාන්තාවක විසින් සිය අනියම් සැමියා හා එක්ව විවාහක සැමියා ඝාතනය කොට කොරෝනා වසංගතයෙන් සිදු වූ මරණයක් ලෙස බැර කිරීමට තැත් කළ අපරාධයක්ද ඉකුත් මාසයේ වාර්තා විණි.

එලෙස කොරෝනා මරණයක් සේ හුවා දැක්වීමට තැත් කරමින් සිදු කළ තවත් අවාසනාවන්ත ඝාතන අපරාධයක ශෝචනීය පුවතක් ඉකුත් සතියේ බොරලැස්ගමුව පොලිස් වසමේ එගොඩවත්ත ප්‍රදේශයෙන් වාර්තා වූයේ මිනිසුන් අතර සිටිනා අමනුෂ්‍ය වෙස්ගත් පාපතරයකුගේ ක්‍රියාවක් නිසාවෙනි.

බොරලැස්ගමුවේ හන්දියේ සිට මහරගම දෙසට ගොස් පිරිවෙන හන්දියෙන් වමට හැරි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යනෙන මාර්ගයේ හමුවන එගොඩවත්ත පාරේ, තුන්වැනි පටුමගේ නිවෙසක විසූ 45 හැවිරිදි දෙදරු මවක වූ කලනි යසින්තා මාපලගමට පසුගිය දිනෙක කොවිඩ් රෝගය වැලඳි තිබුණාය. ඇය කොවිඩ් රෝගයෙන් මියගියා සේ හඟවමින් පසුගිය 15 වැනිදා රාත්‍රියේ ඝාතනය කර තිබුණේ ඇගේ සැමියා විසිනි. මේ වන විට එම ඝාතනයේ සුලමුල බොරලැස්ගමුව පොලිසිය විසින් අනාවරණය කරගෙන අවසානය.

කලනි, මීට වසර 15කට පමණ පෙරදී විවාහ වූයේ නලින් ප්‍රියන්ත එදිරිවීර සමඟය. මේ වන විට නලින්ගේ වයස අවුරුදු 47කි. දෙදෙනාට වයස අවුරුදු 13ක පුතෙක් සහ අවුරුදු 6ක දියණියක්ද සිටි. මුදල් අතින්ද ඔවුනට අඩුවක් නොවීය. දරුවන්ද ජාත්‍යන්තර පාසල්හි ඉගෙනීම් කටයුතුවල නිරත වෙමින් දෙමාපියන්ද දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් මහත් සේ කැපවෙමින් සිටියේය. නලින් මහරගම, නාවින්නෙ මෝටර් රථ අමතර කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. පවුලේ සියලු දේපළ මුදල් වත්කම් තිබුණේ කලනිගේ නමටය.

ඉකුත් දිනෙක කලනිට කොවිඩ් රෝගය වැලඳුණාය. ඇය නිවෙසේම කාමරයක කල් ගෙවමින් සිටියාය. කෙසේ හෝ ඇයට කොවිඩ් රෝගී තත්ත්වය උත්සන්න වී නොතිබුණි. පසුගිය 15 වැනිදා මධ්‍යම රාත්‍රිය ආසන්න වෙද්දී කලනිගේ නිවෙසේ වූ ඇගේ මව කලනිගේ වැඩිමහල් සහෝදරයාට දුරකථන ඇමැතුමක් දී කීවේ,

“නංගි කතා කරන්නේ නෑ. මැරිලදවත් දන්නෙ නෑ. මොකද්ද කරන්නෙ කියලා හිතාගන්නවත් බැරුවයි ඉන්නෙ. ඉක්මනට මෙහෙට එන්න පුළුවන්ද?“

ඒ වන විට කලනිගේ සැමියා නිවෙසේ විසූවත් ඔහු බලාගත් අත බලාගෙන තුෂ්ණිම්භුත වී සිටියේය. කලනිගේ වැඩිමහල් සහෝදරයා සිය බිරිය සමඟ එම නිවෙසට පැමිණියේය. ඒ වන විටත් කලනිගේ සිරුරේ රස්නය ද තිබූ හෙයින්, සහෝදරයා කීවේ ඉක්මනින්ම නැඟණිය රෝහලට රැගෙන යා යුතු බවයි. නිවෙසේ වූ මෝටර් රථයෙන්ම ඇගේ සැමියා සහ සහෝදරයා විසින් කලනි කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණේය. රෝහලේ වෛද්‍යවරු පරීක්ෂා කර බලා කීවේ ඇය මියගොස් ඇති බවත් පීසීආර් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්ය. අනතුරුව මළසිරුර ලබා දෙන බව පැවසුවේය.

මේ පිළිබඳව රෝහල් පොලිසියටද දන්වන ලෙස කලනිගේ සැමියා නලින්ට රෝහලෙන්ද දැන්වූවත් ඔහු ඒ පිළිබඳ හාහූවක් නොමැතිව සිටියේය. ඒ අතරේ නලින්ගේ කතාබහේ හැසිරීමේ වෙනසක් පිළිබඳව කලනිගේ සහෝදරයාටද දැනෙන්නට විය. පසුදින නලින් නිවෙසේදී හැඳ සිටි කමිසයේ කොලරයද උස්සා කටුවක්ද ගසාගෙන සිටියේය. එය බැලු බැල්මට අමුතුම විලාසිතාවකි. මේ පිළිබඳව කලනිගේ සහෝදරයා නලින්ගෙන් දිගින් දිගටම විමසීය.

“මේ බිස්නස් වැඩකට ගෙදරකට ගියා... ඒ ගෙදර බල්ලෙක් හිටියා... මං ඌත් එක්ක සෙල්ලම් කරන්න හැදුවා... එවෙලේ උගේ නියපොතු පාරක් වැදිලා බෙල්ල හිරුණානේ...“

ඒ අතරේ 16 වැනිදා සවස් යාමයේ කලනිගේ මළසිරුරේ පීසීආර් වාර්තාවද රෝහලෙන් නිකුත් කෙරිණි. එහිදී සඳහන් වී තිබුණේ ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවයි. එහෙත් තම නැඟණියගේ මරණය පිළිබඳව ඇගේ සහෝදරයාට සැකසංකා මතු වූයේ ඇයගේ සැමියා නලින්ගේ හැසිරීම් විලාසයේ වෙනසත් සමඟිනි.

දාහත් වැනිදා බොරලැස්ගමුව පොලිසියට ගිය කලනිගේ සහෝදරයා පොලිස් පොතේ පැමිණිල්ලක් සටහන් කළේ නැඟණියගේ මරණය සැක සහිත බවත් ඊට ඇගේ සැමියා සැක බවත් සඳහන් කරමිනි.

බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. ජී. විජේරත්න නිවාඩු ගොස් සිටි හෙයින් වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ පොලිස් පරීක්ෂක ප්‍රියන්ත තෙන්නකෝන්ය. ඔහුගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජනිත මධුශංඛ ඇතුළු පිරිස විමර්ශනයට එක්වෙමින් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ ඇයගේ මරණය සැක සහිත බව සඳහන් කරමිනි.

අනතුරුව එහි වැඩ බලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න පැමිණ මරණයට පත් කලනිගේ නිවෙසේ ස්ථානීය පරික්ෂණයක්ද සිදු කෙරිණි. ඒ වන විට මළසිරුර කළුබෝවිල රෝහලේ තිබූ හෙයින් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ කළුබෝවිල රෝහල ගල්කිස්ස අධිකරණයට අයත් වන හෙයින් ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තාකොට පශ්චාත් මරණ පරික්ෂණයකට නියෝගයක් ලබාගන්නා ලෙසටයි.

බොරලැස්ගමුව පොලිස් නිලධාරින් මරණය පිළිබඳ ගල්කිස්ස අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමඟ අතිරේක මහේස්ත්‍රාත් ඒ. සී. එල්. ධර්මතිලක නියෝග කළේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි. පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සම්පත් සේනතුංග විසින් සිදු කළේය. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූයේ මුඛය සහ නාසය සිරවන අන්දමින් යම් දෙයකින් සිර කිරීම මත හුස්ම ගැනීමේ අපහසුතාවෙන් මරණය සිදුව ඇති බවයි. ඒත් සමඟ බොරලැස්ගමුව පොලිසියට කැඳවූයේ කලනිගේ සැමියා සහ දරුවන් දෙදෙනායි. දරුවන් දෙදෙනා පොලිසියට පාපෝච්චාරණය කළේ තම පියා පසුගිය කාලයේ නිතරම මවත් සමඟ ගැටුම් ඇති කරගත් බවයි.

එහෙත් කලනිගේ සැමියා ගෙන් විමසූ කල ඔහු අසන සෑම දේකින්ම ලිස්සා යාමේ පිළිතුරු දෙන බවක් පොලිස් නිලධාරින්ටද හැඟී ගියේය.

නැවතත් පොලිසියට කැඳවූ පැමිණිලිකරු, කලනිගේ සහෝදරයාගෙන් නිලධාරින් වැඩිදුරටත් විමසූ කල, ඔහු පුන පුනා කීවේ නැඟණියගේ මරණයට ඇගේ සැමියා නලින් සැක බවත් ඔහුගේ ගෙළ ප්‍රදේශයේ තිබෙන සීරිම් ද සැක සහිත බවත් ය.

එම ප්‍රකාශත් සමඟ පසුගිය සෙනසුරාදා එනම් ඉකුත් 18 වැනිදා නැවතත් නලින් පොලිසියට කැඳවූයේය. විමර්ශන නිලධාරින් ඔහුගේ බෙල්ලේ සීරිම් පිළිබඳවද විමසීය. එසැණින් ඔහු බල්ලෙක් සීරු කතාන්දරය පොලිසියටද කීවේය. ඔහුගේ හැසිරීම් විලාසයේ වෙනස පොලිස් නිලධාරින්ටද මනා සේ පෙනිණි. ඒ සමඟම කලනිගේ සැමියා ට තමන්ට පොලිසියෙන් ගැලවීමක් නොමැති බව ගම්‍ය වූයේය. අනතුරුව ඔහු සියල්ල මුල සිට අකුරක් නෑර පාපෝච්චාරණය කරන්නට වූයේ තවත් ශෝචනීය අපරාධයක සුලමුල හෙළි කරමිනි.

ඔහුගේ පාපෝච්චාරණයෙන් අනාවරණය වූයේ මෙකී පුද්ගලයා බිරිය ඝාතනයට පෙර බොරලැස්ගමුවේ ප්‍රසිද්ධ මල් ශාලාවකටද ගොස් මළසිරුරේ අවසන් කටයුතු කිරීමටද අත්තිකාරම් මුදලක්ද බාර දී ඇති බවයි. ඔහු එම මල් ශාලාවට සඳහන් කර තිබුණේ,

“කොරෝනා හැදිච්ච කෙනෙක් ඉන්නවා... බොහෝ දුරට එයා මැරේවි... එහෙම වුණොත් අවසන් කටයුතු ඔයාලා කරලා දෙන්න...“

එකී හිත්පිත් නැති සැමියා බිරිය ඝාතනය කළ ආකාරයද පොලිස් නිලධාරින් හමුවේ වමාරන්නට වූයේය.

“15 වැනිදා රාත්‍රී 10ට විතර දරුවෝ දෙන්නා නිදාගන්න ගියා... ඊට පස්සෙ මම බිරිඳ හිටිය කාමරේට ගිහින් කොට්ටෙන් මූණ හිර කළා... ඒ වෙලාවේ බිරිඳ මාව බදාගෙන මගේ ඇඟපත සියල්ල හිරුවා...“

ඔහු බල්ලෙක් සීරු බවට කියමින් කොලරයෙන් වසාගෙන සිටියේ එලෙස සිදු වූ සීරීම් තුවාලයි. බිරිය ඝාතනය කිරීමට යොදාගත් කොට්ටයද නිවෙසේ පිටුපස පුළුස්සා තිබියදී සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විණි. 15 වැනිදා බිරිය ඝාතනය කොට මරා දැමූ ඔහු 18 වැනිදා අත්අඩංගුවට පත්වන තෙක්ම නාවින්නෙ පිහිටි සිය වාහන අමතර කොටස් ව්‍යාපාරික ස්ථානය විවෘත කොට ව්‍යාපාර කටයුතුද සිදු කර තිබුණේ හිත්පිත් නැත්තකු ලෙසිනි.

වාර්තා වන ආකාරයට එලෙස බිරිය ඝාතනයට හේතු වී ඇත්තේ නලින්, බොරලැස්ගමුව ප්‍රදේශයේම ළාබාල තරුණියක සමඟ පවත්නා අනියම් ඇසුරකි. සියලු දේපළ වත්කම්හි අයිතියද බිරියගේ නමටම තිබූ හෙයින් ඇය ඝාතනය කොට අනියම් බිරිය සමඟ එක් වහලක් යට පවුල් කෑම ඔහුගේ අරමුණ වී තිබූ බව මේ වන විට හෙළි වෙමින් තිබේ.

එම සැකකරු පිළිබඳව ගම්වාසින් පවසන්නේ ඉතාම නිහතමානී, ගුණගරුක පුද්ගලයකු බවත් සැවොමගේ දුකකදී, කරදරයකදී පිහිටවන පුද්ගලයකු බවත් ය. එසේම දරුවන්ටද හොඳින් ඉගැන්වීම් කටයුතු සිදු කරමින් ඉතාම යහපත් පවුල් දිවියක් ගත කරමින් සිටි පවුලක් බවත් ගම්මු පවසති.

අත්අඩංගුවටපත් කලනිගේ සැමියා නලින් පසුගියදා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අතිරේක මහේස්ත්‍රාත්වරිය වන බෝගහදෙනිය විසින් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. කළනීගේ සිරුර පසුගිය බදාදා ඔට්ටමාවඩිහිදී භූමිදාන කෙරිණි.

මෙකී ඝාතනය පිළිබඳව විමර්ශන නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේගේ සෘජු අධීක්ෂණයෙන් බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. ජී. විජේරත්නගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ප්‍රියන්ත තෙන්නකෝන්ගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජනිත මධුසංඛ ඇතුළු සැරයන්වරුන් වන 36763 සමන්, 51857 විපුල, කොස්තාපල්වරුන් වන 68832 අමරසිංහ, 94121 ඒකනායක, 92525 මාලන්, 96878 වීරසිංහ, 34142 ජිනදාස, 92527 ප්‍රසාද් සහ කාන්තා පොලිස් කොස්තාපල් 11853 ඒකනායක යන නිලධාරිහු සිදු කළහ.

 

ඡායාරූප - සමීර අබේසිංහ නුගේගොඩ සමුහ

Comments