පාකිස්තාන ක්‍රීඩාව දැදුරු කළ නවසීලන්තයේ හදිසි පිටුපෑම | Page 2 | සිළුමිණ

පාකිස්තාන ක්‍රීඩාව දැදුරු කළ නවසීලන්තයේ හදිසි පිටුපෑම

 

නවසීලන්ත ක්‍රිකට් පිල හදිසියේ සියරට ගිය හ. ඒ ක්‍රීඩක ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් මතුව ඇතැයි පවසමිනි. එය ක්‍රීඩා ලෝකය තුළ මහත් ආන්දෝලනයක් නිමවා තිබේ. එම තීරණයත් සමඟ පාකිස්තානයේ ක්‍රීඩාව යළි කඩා වැටීමේ අනතුරක් මතුව තිබේ. මේ එම සිද්ධිය සම්බන්ධයෙනි. ’

2003 වසරෙන් පසු පාකිස්තානයේ සංචාරයක නිරතව සිටි නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම පළමු එක්දින තරගය ආරම්භවීමට ආසන්නව තිබිය දී සංචාරය අවලංගු කළේ ය.

කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් මතුවී ඇති බවට නවසිලන්ත රජයෙන් ලැබුණු නිවේදනයක් මත එම සංචාරය අවසන් කිරීමට සිදු වූ බව නවසිලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබිණි.

“මෙය පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට බලවත් පහරක් බව මට තේරෙනවා ඔවුන්ගේ ආගන්තුක සත්කාරය ඉතාමත් විශිෂ්ටයි. නමුත් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාවයි වඩාත් වැදගත් වන්නේ.” නවසිලන්ත ක්‍රිකට් ප්‍රධාන විධායක ඩේවිඩ් වයිට් නිවේදනයක් නිකුත් කර තිබුණේ එලෙසිනි. එමෙන්ම රොයිටර් පුවත් සේවයට පණිවිඩයක් නිකුත් කරමින් නවසිලන්ත අගමැතිනි ජසින්තා ආඩ්න් පවසා තිබුණේ, “ මම පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා සමග කතා කර නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ දී ලබාදී තිබෙන සැලකිලි සම්බ්න්ධයෙන් ස්තුතිය පළ කළා. තරගාවලිය අවලංගුවීම සම්බන්ධයෙන් සෑම දෙනෙකුටම ඇතිවන අපහසුතාව මට වටහා ගන්න පිළිවන්. නමුත් ආරක්ෂාව ගැනයි අපි වැඩියෙන් සිතිය යුත්තේ.” යනුවෙනි.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉල්ලා ඇත්තේ තරගාවලිය අවලංගු නොකරන ලෙසට ය. නමුත් නවසීලන්තය තම තීරණය වෙනස් නොකළේ ය. ඒ සම්බන්ධයෙන් පාකිස්තානු හිටපු ක්‍රිකට් නායකයෙකු වන ඉන්සමාම් උල් හක් සිටිනුයේ කෝපයෙනි. “නවසීලන්තය මේ කළ දෙය රටකට තවත් රටක් නොකළ යුතු ක්‍රියාවක්. මම හිතන්නේ නෑ ඔවුන් පවසන විදිහේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණා කියලා. යම් ප්‍රශ්නයක් තිබුණේ නම් ඔවුන් අපට පැවසිය යුතුවුණා. එහෙම වුණානම් ආරක්ෂාව තවදුරටත් දැඩි කරනවා. අපට අපේ ආරක්ෂක අංශ විශ්වාසයි.”

පාකිස්තානයේ හිටපු ක්‍රීඩකයින් වන සයිඩ් අෆ්රිඩි හා සොයිබ් අක්තාර් නවසීලන්තයේ මෙම තීරණය දැඩිසේ විවේචනය කර තිබිණි.

”නවසිලන්තය අපේ ක්‍රිකට් විනාශ කළා.” සොයිබ් අක්තාර් නවසීලන්තයේ හැසිරීම ගැන ප්‍රතිචාර දක්වා තිබුණේ එසේ ය. එමෙන්ම සයිඩ් අෆ්රිඩි පවසන්නේ පාකිස්තානය අනෙක් රටවල් වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කර ඇති බවයි. ” මට මේ ගැන කනගාටුයි. අපේ ප්‍රේක්ෂකයින් හා ක්‍රීඩකයින් ගැන ඇත්තටම දුකක් තිබෙනවා. නවසීලන්තය මොන ලෝකෙද ජීවත්වන්නේ. අපි අයි.සි.සි.යෙදී හමුවෙමු.”මේ පාකිස්තාන් ක්‍රිකට් ප්‍රධානි රමිෂ් රාජා දැක්වූ ප්‍රතිචාරය ය.

ත්‍රස්තවාදය නිසා පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ බැට කෑ රටකි.මෙම වසරේ වසර විස්ස සම්පුර්ණ කළ එක්සත් ජනපදයට 2001 වසරේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයද බටහිර ජාතින් පාකිස්ථානය දෙස අවිශ්වාසයෙන් බැලීමට හේතුවක් විය. එම වසර අවසන ඇරැඹීමට නියමිත වූ නවසිලන්ත කණ්ඩායමේ එරට සංචාරය ආරක්ෂක තත්ත්වය මත 2002 වසර දක්වා කල් දැමිණි. නමුත් එවර පළමු ටෙස්ට් තරගයෙන් පසු නවසිලන්ත පිල නතරවී සිටි හෝටලය අසල පුපුරා ගිය බෝම්බය හේතුවෙන් සංචාරය අවලංගු කෙරිණි.

2002 වසරේ කරච්චි හි බස් බෝම්බයක් පිපිරී යාම මත සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග 2002-03 පැවැත්වීමට නියමිත වූ ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාවේ හා එක්සත් අරාබි එමිරයේ පැවැත්වීමට සිදුවිය. 2008 ආසියා කුසලාන අවසන් තරගය කරච්චිහි පැවැත්වෙමින් තිබිය දී ඉස්ලාමාබාද් හි බෝම්බයක් පිපිරීයාම යන සිදුවීම් මේ අතර කැපී පෙනිණි.

එරට ක්‍රිකට් ක්‍රීඩාවට විශාලතම ප්‍රහාරය එල්ලවූයේ 2009 ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙනි. මෙතැන් පටන් සංචාරක කණ්ඩායම් එරටට පැමිණීම නතර වූ අතර විකල්පයක් වශයෙන් ඔවුනට තම මවුබිමේ පැවැත්විය යුතු තරග එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වීමට සිදුවිය.

මෙවන් වාතාවරණයක් මධ්‍යයේ ඔවුන් තම රටෙහි යළි ජගත් ක්‍රිකට් තරග පැවැත්වීම සඳහා දැරූ පරිශ්‍රමය අවසානයේ සිම්බාබ්වේ, කොදෙව්, ශ්‍රී ලංකා කණ්ඩායම් එරට සංචාරය කිරීම යළිත් අවශේෂ ලෝකයා පාකිස්ථානය දෙස සුබවාදීව බලන්නට දිරි දිමක් විය.

මේ අනුව ඉදිරියේ දී පාකිස්තානයේ සංචාරය කිරීමට සූදානමින් සිටි එංගලන්තය හා ඕස්ට්‍රේලියා කණ්ඩායම් සිය සංචාර අවලංගු කර ඇත. එහෙත් කොදෙව් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය

කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත. ඒ අනුව පාකිස්තානය තුළ ක්‍රීඩා තරග පැවැත්වීම යළි අවිනිශ්චිත බවට පැමිණ තිබේ.

”අප අපගේ තරග සංචාරයන් අත්හිටුවනවා. අපේ කණ්ඩායම් හි ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණයක් වශයෙනුයි අපි මේ තීරණයට එළැඹෙන්නේ.”

එංගලන්ත ක්‍රිකට් පරිපාලනය පසුගිය දා නිවේදනය කළේ ය.

“මම හෙට පාකිස්තානයට යනවා. කවුද එන්නේ මාත් එක්ක” මේ කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් 19 වැන දින නිකුත් කර තිබු ට්විටර් පණිවිඩයකි. ඔහු පාකිස්තානයට ගිය ද නොගිය ද පාකිස්තාන් ප්‍රේක්ෂකයන් අතරින් සුබවාදී ප්‍රතිචාර රැසක් ඔහුගේ මෙම පණිවිඩයට හිමිව තිබිණි.

ඔහුට අමතරව කොදෙව් දුපත් හිටපු නායක ඩැරන් සැමි පවසන්නේ පාකිස්තානයේ ක්‍රීඩා කිරීම මෙන්ම සංචාරය කිරීම ආරක්‍ෂිත බවයි. නවසීලන්තයේ මෙම තීරණයෙන් ඔහු මහත්සේ කම්පාවට පත්ව සිටියි.

”මෙම තරගාවලිය අවලංගු කිරීම ගැන නවසිලන්ත ක්‍රීඩකයින්ට දොස් පවරා වැඩක් නෑ.ඔවුන් කළේ රජයේ තීරණයට අනුගතවීම පමණයි.” මේ නවසිලන්ත වේග පන්දු යවන්නෙක් වූ මිචෙල් මැක්ලෙනන් ය.

කෙසේ නමුත් මේ අසීරු අවස්ථාවේ ප්‍රකාශයක් නිකුත් කරමින් එරට ක්‍රිකට් ප්‍රධානි රමිෂ් රාජා තම ක්‍රීඩකයින්ගෙන් ඉල්ලා සිටිනුයේ “ඔබගේ කේන්තිය හා කලකිරීම ඔබ තුළම රඳවාගෙන තම හැකියාවන් ලොව ඉදිරියේ ප්‍රදර්ශනය කරන්න. එවිට පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට ලොව රටවල් එකිනෙකා පසුපස එකිනෙකා පැමිණෙනු ඇත. “ යනුවෙනි.

 

Comments