පහන් ටැඹක ආශ්චර්යය | සිළුමිණ

පහන් ටැඹක ආශ්චර්යය

 

දිවිමඟ සටහන්

උපත - 1939 ඔක්තෝබර් 4

උපන් ස්ථානය - බොරැල්ල

නම - මත්තක ගමගේ ධර්මසිරි

භාවිත නම - ධර්මසිරි ගමගේ

පියාගේ නම - මත්තක ගමගේ පීටර් අප්පුහාමි; ව්‍යාපාරිකයෙකි

මව - කලෙගානා ආරච්චිගේ චන්ද්‍රාවතී

සහෝදරියන් - 3 කි. ඔවුන් ප්‍රේමා, ශ්‍රියා හා ලතා වේ.

අධ්‍යාපනය - කැලණිය ගුරුකුල විද්‍යාලය, කොල්ලුපිටියේ ශාන්ත තෝමස් විද්‍යාලය

විවාහය - 1963 සැප්තැම්බර් 27

බිරියගේ නම - වෘර්තියෙන් නර්තන ගුරුවරියක වූ සීතා මංගලිකා

දරුවන් - 3 කි. සංජීව චමින්ද, සංජය සුමින්ද, අංජනා සමින්දනී

මුනුපුරු මිනිබිරියන් - රන්දි, සචී ආකාෂ්, රයන් හා ෂෙනෝවා

ප්‍රථම වෘත්තිය - 1960 මාර්තු 1 දා ලංකාදීප පුවත්පත්කලාවේදී, 1977 - දිනමිණ පත්‍රයට එක්වී කෙටි කලෙකින් යොවුන් ජනතා සංස්කාරකත්වය හිමි වෙයි. පසුව සිළුමිණ විශේෂාංග කර්තෘ වශයෙන්ද, 1996 නොවැම්බරයේදී රසඳුන සමාරම්භක සංස්කාරකත්වයටද පත් වෙයි.

මුල් ම ගීතය - අක්කලා ගොහින්...

මුල්ම කෘතිය - 1960 වසරේ ආදර සුවඳ

රචනා කරන ලද ගීත සංඛ්‍යාව - දහසකට අධික ය

රචනා කරන ලද පුවත්පත් ලිපි සංඛ්‍යාව - දහසකට අධික ය

රචනා කරන ලද කෘති සංඛ්‍යාව - 25 කි

සම්මාන - හොඳම චිත්‍රපට තිර රචනය - සරුංගලේ වෙනුවෙන් OCIC සම්මානය, ජනාධිපති හා සරසවි සම්මාන ඔහු ම අධ්‍යක්ෂණය කළ යසඉසුරු චිත්‍රපටයේ අම්මාවරුනේ ගීතයට, ඔහු ම අධ්‍යක්ෂණය කළ පූජා චිත්‍රපටයේ දරු දුක උහුලා තනිව වැලපෙනා.. ගීතයට හොඳම ගීත රචනය වෙනුවෙන් ජනාධිපති සම්මානය, ‘සුළං කුරුල්ලෝ‘ ගීත පොතට රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ‘කලක් අවෑමෙන් පෙරුම් පුරා‘ ගීත එකතුවට විද්‍යෝදය සම්මානය

අභාවය - 2004 සැප්තැම්බර් 19

 

අඩ සියවසකට නොඅඩු නිර්මාණ කලා ජීවිතය ඇතුළත පරම්පරා ගණනක් කිසිදු මැසිවිල්ලක් නොනඟා ඥානණය කළ ධර්මසිරි ගමගේ සුළවතාණන් තමාගෙන් රටට ඉටු විය යුතුකම ඉටු කෙරුවේ සමනලයකු මලකින් රොන් ගන්නා සදිසි සුමට ව ය; කරුණාබර ව ය. අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී කියූයෝ කුමාරතුංගයෝ ය. අලුත් පරපුරකට නොපැකිල ව අත හිත දුන් කුමරතුඟුවෝ නව පරපුරක අරුමැසි මෙහෙවර නිදොස් බස විය යුතු බව පැවසුවෝ ය. මානව හෘදයාංගම අතින් ගත් කල නව පරපුරක් සැදීම තරම් ආයෝජනයක් තවත් නැත. කුමතුඟුවෝ බසට කළ ආයෝජනය සේ ම පුවත්පත් කලාව ඇතුළත හා නව නිර්මාණකරණය ඇතුළත නව පරපුරක් ඥානණය කිරීමේ මෙන්ම තැනීමේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් ධර්මසිරි ගමගේහු පැසසුමට ලක් වෙති. පහන් වැට පාමුල අඳුර ගැන මැසිවිලි නඟන බොහෝ අයට ඒ පහන් වැට ම ආලෝකය දෙමින් නව එළියක් සම්පාදන කිරීමේ ලා කරන මෙහෙය අමතක නොකළ යුතු ව ඇත්තේ ඒ නයිනි. ගුරුකුල, මතවාද මේ කිසිවකට ලඝු නොවූ මහා කරුණාවක් හා ගුරු භූමිකාවක් අබියස තැනුණු නව නිර්මාණ පරපුර අද ඔහු නික්ම යෑමෙන් වසර 17ක් ගෙවෙන මෙකල්හි පවා අනලස් ව නිර්මාණ වේදිකාවේ නොබිය ව සරන බැව් අපි දනිමු.

 

1939 ඔක්තෝබර් 4 වෙනිදා උපත ලබන මත්තක ගමගේ ධර්මසිරිගේ පියා වන්නේ මත්තක ගමගේ පීටර් අප්පුහාමි ය; මව

කලෙගානා ආරච්චිගේ චන්ද්‍රාවතී ය. ඔහුට සහෝදරියන් 3කි; ඒ ප්‍රේමා, ශ්‍රියා හා ලතා ය. කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් හා කොල්ලුපිටියේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු විවාහ දිවියට ඇතුළත් වෙන්නේ 1963 සැප්තැම්බර් 27 දා ය; ඒ වෘත්තියෙන් නර්තන ගුරුවරියක වූ සීතා මංගලිකා අල්විස් සමඟිනි. ඔවුනට දරුවන් තිදෙනෙකි. ඔවුන් වන්නේ සංජීව චමින්ද, සංජය සුමින්ද, අංජනා සමින්දනී ය. ඔහු පුවත්පත් කලාවට අවතීර්ණ වෙන්නේ 1960 මාර්තු 1 වැනිදා සිට ලංකාදීපයේ මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස ය. 1977 දී ලේක්හවුසියට එක්වන ධර්මසිරි ගමගේ ගේ ස්වර්ණමය පුවත්පත් අවදිය එකළ බවට විවාදයක් නැත. දිනමිණට එක්වුව ද කෙටි කලෙකින් යොවුන් ජනතා පුවත්පතේ කර්තෘ වන ඔහු නව ලේඛක පරපුරක් තැනීමේ ලා පුරෝගාමී මෙහෙවරට අවතීර්ණ වෙන්නේ ඒ අවදියේ දී ය. ජාතික පුවත්පත්වලට ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ කලා අතිරේක හඳුන්වා දී නොබෝ කලෙකින් ම සිළුමිණ ද එකී ප්‍රවණතාවට අනුගත වෙයි. ඒ අනුව සිළුමිණ ප්‍රථම කලා අතිරේකය රසඳුන ආරම්භක සංස්කාරකවරයා වන්නේ ධර්මසිරි ගමගේ ය.

ලංකාදීපයෙන් පටන් ගත් වෘත්තීය පුවත්පත් කලා ජීවිතයේදී හේ ලියූ පුවත්පත් ලිපි සංඛ්‍යාව දහසකට වැඩි මිසක් අඩු නොවේ. පුවත්පත් කලාවෙන් කලාවට නිපන්නේ වුව ද ඔහුට කවිය, ගීතය, නිර්මාණ සාහිත්‍යය හා සිනමාව ද පසුකලෙක ආගන්තුක වූයේ නැත. එකල ලංකාදීපයේ සිටි විමලවීර පෙරේරා, සුදාස් මාස්කෝරාල ආදී කවීන්ගේ ආභාසය තරුණ ධර්මසිරි පෝෂණය කළේ ය. සුළවත් ඇසුර තරම් නිර්මාණකරුවකුගේ දිවිය සුමට කරන අන් යමක් නැත. එවැන්නෝ සරසවි තරම් දැනුමක් ඇත්තෝ ය.

ඔහුගේ සෞන්දර්යය චාරිකාවට අපූර්ව හැඩයක්, රිද්මයක් එක් වෙන්නේ ආචාර්ය කේමදාසයන්ගේ ඇසුරත් සමඟ ය. කේමදාසයන්ගේ ‘නවරැල්ල‘ ට නව විධ රස ගී නිර්මාණ ලියැවෙන්නේ ඔහුගේ අතිනි. නවරැල්ල ගීත නාටකය චීනයට රැගෙන යද්දී කේමදාසයෝ ඒ ගමනට ධර්මසිරි ගමගේ ද එකතු කර ගත්හ. ඔහුට සිනමාවේ දොර ඇරෙන්නේ නවරැල්ලේ පෙන්නූ සියත් බව හේතුවෙනි. ඊට මූලික වන්නේ ද නාද ලොව රජු වූ කේමදාසයන් මඟිනි. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ සැනසුම කොතැනද චිත්‍රපටයේ අඩංගු අපූරු ගී පහම ලියන්නේ ධර්මසිරි ගමගේ ය. සුළං කුරුල්ලෝ, සංසාර ගමනේ වැනි ගීත අද ද මියුරු රස දනවන්නේ ගීත කලාවේ රිද්මීය ආනන්දය පසක් කරමිනි. ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ රමණීයත්වය යම් සේ ද එය සිංහල සිනමාවට එක්කළ ලාලිත්‍ය අද ද දෙසවනට මිහිරි වන්නේ එකී නිර්මාණවල අකාලික බව නිසා ය.

ඔහුගේ ගීත කලාව රසාලිප්ත වන්නේ යම් සේ ද ගද්‍ය කලාව ද ඊට ආවේණික රසාලිප්ත කාව්‍යමය භාෂාවක් වූයේ ය. ඔහු අසීමිත ව සොබාදහමට පෙම් බැන්දේ ය. ඒ පෙම ස්ත්‍රී පුරුෂ ප්‍රේමය, දාරක ප්‍රේමය හා සේ ම දැඩි ව බැඳුණක් විය. තමන් සොබාදහමේ කොටසක් බැව් එකී ලියැවිල්ලෙන් පාඨකයාට දැනීම එහි විශේෂත්වයයි. බලෙන් නොඔබ්බවා ලියැවිල්ලෙන් තමා බලාපොරොත්තු වෙන දෑ පාඨකයා තේරුම් ගැනීම පාරිපාකයට පත් ලියැවිල්ලක ස්වභාවයයි. පත්‍රකලාවේ සොබාදම් ලකුණ සාරසුභාවිත ලෙස පිරිවිතර කරන්නේ ගමගේ පුවත්පත් කලාවේදියා ය. ළා තණ පතක රැඳි පිනි බිංඳුවක්, ඒ මත නටන තණකොළ පෙත්තෙක්, ළා හිරු රැස් අබියස මඳින් මඳ විකසිත වෙන මල් කැකුළු, ඒ මත නොරිදෙන සේ පැණි බොන බමරුන් සේ ම සොබාදහමට යුතුකම් ඉටුකර මඳින් මඳ වියැකී මියයන මල් පෙති පවා ඔහුට මඟ හැරුණේ නැත. මුල්ම හිරු පහස ලබන කඳු මුඳුන් සේම විසල් වෘක්ෂයන්හි අගිසි පත්‍ර ද කමත, බැත, කෙත හා රන්වන් ගොයම් කරල් ද ඔහුට ආගන්තුක වූයේ නැත. මිනිස් හඬින් දූෂණය නොවූ වනපෙත් ඔහුට ජීවිතයේ නිවීම කියා දෙන්නට ඇත. ඒ නිවීම පෙරළා පාඨක අපට දෙන්නට ඔහු වියමන් කළ අකුරු පවා භාවනාවක් වැනි විය. සිට පාඨක ප්‍රජාව අතරේ අතිශය ආදර බුහුමන් ලැබූ ධර්මසිරි ගමගේ එකී ආදරය සිය නොනිමුණු නිර්මාණකරණයට පහන් ටැඹක් කර ගත්තේ ය. එතැනින් නොනැවතුණු ඔහු තමන්ගෙන් රටට විය යුතු අසීමිත යුතුකම් ගැන වගවීමෙන් යුතුව නව පරම්පරාවකට එකී අර්ථයෙන් ම අලුත් මඟක් සම්පාදනය කළේ ය. පහන් වැට නිර්මාණ කේන්ද්‍රය අතරමග අරමුණක් නැතිව සිටි පිරිසක් වෙත කළ දයාර්ද්‍ර අතදීම කෙලෙසකවත් ලඝු කළ නොහැක්කකි. නොයෙක් දෑ කියමින් නව පුරපුර නොතකා හරින, ඔවුන්ට අවස්ථා නොදෙන බොහෝ දෙනකුට ධර්මසිරි ගමගේ යනු ආදර්ශයකි. හැකියාව ඇති අයට අත දීම තම තැන නැති වීමට හේතුවක් බැව් සිතන්නේ තම තැන ගැන බිය වූවෝ ය. ධර්මසිරි ගමගේ වැනි උපන් ගෙයි නිර්මාණකරුවකුට බිය වන්නට දෙයක් නැත. ඉදින් නව පරපුරක් බිහිවීමට වැටකඩොලු ද නැත.

විවිධ කලාකරුවෝ එක ම වේදිකාවක සිට මෙකී තරුණ පිරිස් ඥානණය වෙනුවෙන් එක්කහු කිරීම ම මහා කාර්යයකි. අප එලෙස කියන්නේ සියලු මාධ්‍ය දියුණුවක් පවතින මෙකල්හි පවා එය අසීරු කරුණක් බව දන්නා නිසා ය. සිය පෙර පරපුර දැනුම්වත් කිරීමේ ආධ්‍යාශයෙන් ක්‍රියාත්මක කෙරුණු මේ නිර්මාණ කාර්ය සඳහා කලා පරපුරේ දැවන්තයෝ එක්ව සිටියහ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය සුචරිත ගම්ලත්, කේ. ජයතිලක, තිස්ස අබේසේකර, මහාචාර්ය සෝමරත්න බාලසූරිය, සෝමවීර සේනානායක ඇතුළු ආචාර්ය, මහාචාර්යවරු මෙන්ම සාහිත්‍යවේදියෝ ද මේ සඳහා එක්සිත් ව එක් වූහ. මේ කරුණ සිත් ව සැදූ පරපුරේ බොහොමයක් අද සක්‍රිය ව කලාවේ විවිධ ඉසව් නියෝජනය කරමින් සිටීම ම මේ වගවීම වෙනුවෙන් ඔහු ලද ආශීර්වාදයයි.

පුවත්පත් කලාවේදියෙක් ලෙස ඔහු අතින් ලියැවුණු පාඨක සිත් වසඟ කළ ලිිපි බොහොමයකි. 1975 දී රජරට පළාත භීතියෙන් හා ත්‍රාසයෙන් ඇළලූ ඩී. ජේ. සිරිපාල නොහොත් මරු සිරා නම් දාමරික පුද්ගලයාගේ ජීවන තොරතුරු ආශ්‍රයෙන් ඔහු ලියූ මරු සිරාගේ කතාව එකල අතිශය ජනප්‍රිය ලිපි මාලාවක් විය. කොටස් 50 ක් පුරා ලියැවුණු මරු සිරාගේ ජීවිත කතාව එකතු කළ බොහෝ පාඨකයෝ වෙති. සිරිපාල සහ රන්මැණිකා හා මරුවා සමඟ වාසේ යනුවෙන් චිත්‍රපට ද්විත්වයක් නිර්මාණය වීමට ධර්මසිරි ගමගේ ඒ චරිතය පිළිබඳ ඇති කළ අවධානය හා අපූර්ව ලියැවිල්ල හේතු පාදක විය. මේ අතරින් සිරිපාල සහ රන් මැණිකා චිත්‍රපටයේ තිර රචකයා වූයේ ද ධර්මසිරි ගමගේ ය.

ලෝකාන්තයෙන් බිමට පැන දිවි නසාගත් මොනිකා හා බ්‍රිටෝ ගේ කතා ප්‍රවෘත්තිය රොමියෝ ජුලියට්, සාලිය අශෝකමාලා, දස්කොන් ප්‍රමිලා වැනි ඉතිහාසගත පෙම් පුවත් අතරට ගෙන යන්නට තරම් අවධානයට ලක් වූයේ ධර්මසිරි ගමගේ ගේ අපූර්ව රචනා ශෛලිය නිසා ය. ඒ ආදර කතාවේ අනුවේදනීය බව සිය ලේඛනය අතරේ දෝරේ ගලන්නට තරම් සරල, සුගම, මනරම් බසක් ඔහු සතු විය.

ගවේෂණාත්මක පුවත්පත් කලාව හා නිර්මාණාත්මක රචනය විෂයෙහි ඔහු කළ එක්තැන් කිරීම පුවත්පත් කලාවට නව ප්‍රවේශයකි. ඔහු නිරන්තර අත්හදාබැලීම් කෙරූවෙකි. නව මං සොයා යන්නට හේ නිරන්තර උත්සුක විය. වෙනත් කිසිවකුත් හෝ ස්පර්ශ නොකළ බිම් සොයා යෑම නව මාධ්‍ය කලාවේ ප්‍රබල අරමුණකි. එය සිය වගකීමක් සේ සැලකූ ධර්මසිරි සුළවතාණන් නිරන්තර නව මං ස්පර්ශ කළේ සමස්ත ලේඛන නිර්මාණ කලාව ම අලුත් කරමිනි.

සිංහල ගේය කාව්‍ය කලාවේ ඔහු ඇති කළ නව රිද්මය හා ලාලිත්‍ය අද ද සුවිසෙස් ලකුණු සේ සම්භාවනාවට පාත්‍ර වෙයි. ඒවා පරිසරයෙන් ඇරඹී ආදරය, කරුණාව අතුරා ශාන්ත ගුණයෙන් ගුණෝපිත ව ගලා යයි. ජීවිතය හා මානව සංවේදීත්වය පිළිබඳ අතිශය හෘදයාංගම වූ කලාකරුවකුගේ ආධ්‍යාත්මික නිවීමෙන් මේ ගී සුපෝෂිත ය. කේමදාස- ගමගේ සුසංයෝගය සිංහල සිනමාව තුළ එතෙක් මෙතෙක් බිහිවූ මිහිරිතම මෙන්ම අරුත්බර ගීත රැසක් බිහි කරමින් දශක කිහිපයක් පොබ කළේ ය.

අම්මාවරුන් නැති දරුවන්ගේ ශෝකය සිය පද අතරෙන් හදවතට ගිලා බැස් වූ නිර්මාණකරුවකු වෙත් ද ඒ ධර්මසිරි ගමගේ ය. ඒ ගීතය අසන විට නෙත් කෙවෙණි අග මතුවෙන කඳුළු බිඳු නිරායාසයෙන් කම්මුල් දිගේ ගලා යන්නේ යම් සේ ද අම්මාගේ රුව පෙනී නොපෙනී යන්නට තරම් ඒ පද සංවේදී ය.

අම්මාවරුනේ අම්මාවරුනේ

සම්මා සම්බුදු අම්මාවරුනේ

දරුවන්ගේ දුක් කදුළු දකින දා

සුරලොව සිට අත පා....

මේ ගීතය වෙනුවෙන් ජනාධිපති සම්මානය හා සරසවි සම්මාන ද්විත්වයෙන් ම හේ පිදුම් ලබන්නේ ඒ නිසා ය. ඊට අමතර ව සරුංගලේ වෙනුවෙන් OCIC සම්මානය, ඔහු ම අධ්‍යක්ෂණය කළ පූජා චිත්‍රපටයේ දරු දුක උහුලා තනිව වැලපෙනා.. ගීතයට හොඳම ගීත රචනය වෙනුවෙන් ජනාධිපති සම්මානය, සුළං කුරුල්ලෝ ගීත පොතට රාජ්‍ය සාහිත්‍ය සම්මානය, කලක් අවෑමෙන් පෙරුම් පුරා ගීත එකතුවට විද්‍යෝදය සම්මානය ආදී සම්මාන රැසකින් හේ සම්මානිත වන්නේ ය. එහෙත් ඒ සම්මාන හැමකකටම වඩා ඔහු බෙහෙවින් ඇලුම් කළේ ජනතාව ඔහු කෙරෙහි දැක්වූ අසීමිත ආදරයට ය.

සුභාෂිතයේ දැක්වෙන්නේ ‘මිනිස් හට සොඳරු ගුණ සහ නුගුණ ඇති..‘ කියා ය. එහෙත් අප දන්නා ධර්මසිරි ගමගේ සුළවතාණන්ට නුගුණ තිබුණේ ම නැත. හේ ඒ වදන හෝ ක්‍රියාව නොහඳුනන්නා සේ ය. මිත්‍රත්වයේ, දයාවේ, කරුණාවේ ප්‍රතිමූර්තියක් වන් ඔහු ජීවිත කාලයේ ම කළේ කුමන හෝ අයුරකින් කුමක් හෝ දායාද කිරීම ය. සතුරාට පවා සිනහවකින් හා මිත්‍රත්වයෙන් සලකන්නට හැකි වීම විරල උත්තම මානව ගුණාංගයකි. අටලෝ දහම ම ඔහුට ද සාමාන්‍ය අපට සේ ම උරුම වුව ද හේ එයින් අකම්පිත වූයේ නැත. උපේක්ෂාව තරම් ජීවිතය නිවන අන් දෙයක් නැති බැව් ඔහු දැන සිටියේ ය. සිය දිවි මඟ එකට බෙදා හදාගත් සහෘදනිය, බිරිය සීතා රෝගී ව එක්තැන් වූ කල ඇගේ කුදු මහත් සියලු දෑ ඔහු සියතින් කරන්නට තරම් දයාර්ද්‍ර සැමියෙක් විය. අප මාතෘ භාර්යා ගැන පමණක් කතා කරන කලෙක ඔහු මාතෘ සැමියකු විය. එය ම ඔහුගේ කරුණ ගුණය ගැන නිහඬ ව කියන්නකි.

මිනිසකුට තමන් ඉපදුණු දේශයට කළ හැකි යමක් වේ ද එය ඊටත් වඩා බෙහෙවින් සාර සුභාවිත ව කළ ධර්මසිරි ගමගේ; පුවත්පත් කලාවේ පියගැට පෙළ නඟින්නට ආසාවෙන් නමුදු බියෙන් සිටි බොහොමයකට පියගැට පෙළ විශ්වාසයෙන් යුතුව නඟින්නට අත දුන්නේ පෙරළා කිසිවක් බලාපොරොත්තුවෙන් නොවේ. ඔහුට අවැසි වූයේ කලාවෙන්, නිර්මාණයෙන් සිට ජීවිත සුමට කරගන්නා අනාගත පරම්පරාවක් පමණී. ඔහු සාමාන්‍ය මිනිසකුට යා හැකි දුරට වඩා දුරක් ගිය අප්‍රමාණ මිනිසෙක් බැව් සටහන් කළ යුතු ම ය.

 

Comments