නොපමාව ම දහමෙහි හැසිරෙනු මැන | සිළුමිණ

නොපමාව ම දහමෙහි හැසිරෙනු මැන

 

ධනිය ද සිය පියා මෙන් වළං තැනීමේ හපනෙක් විය. සකෙහි තැබූ මැටි ගුළිය විසිතුරු ව බඳුනක් වන හැටි ළමා වියේ සිටි දුටු ධනිය සක පෝරුව ළඟට මැටි ගෙනැවිත් දීමෙන් මුල දී පියාට උදව් විය. පසුව ඔහු පියාට වඩා දක්ෂ වළං තනන්නෙක් විය.

තරුණ ධනිය රජගහනුවර මහ වෙළෙඳ පොළට ද වළං යැවී ය. ඔහු ගේ වළංවලට ලොකු ඉල්ලුමක් තිබිණි. වළං ගොඩගැසීමට මහ ශාලාවක් තැනීමට ද ඔහුට සිදුවිය. ඒ කුඹල්හල ඉදිරියෙන් වැටුණු මහ වීදියේ ගමන් කරන බොහෝ දෙනාට විවේක ගැනීමට ද එහි ඉඩ තිබිණ.

දිනක් උස මහත් පුරුෂයෙක් මේ කුඹල්හලට ඇතුළු විය.

“අද රෑ මට මෙහි නවාතැන් ගත හැකි ද?“ ඔහු ඇසී ය.

“ඔය ඕන තරම් ඉඩ තියෙන්නේ. නතර වෙන්න“ ධනිය කී ය.

හැන්දෑ අඳුර වැටුණු පසු කුඹල්හලට ඇතුළු වන පැවිද්දකු ධනියට දක්නට ලැබිණ.

“පින්වත, මට අද රෑ මෙහි නතර විය හැකි ද?“ මිහිරි හඬකින් ප්‍රශ්නයක් නැඟිණ.

“ස්වාමීනී, මෙහි වැඩ සිටින්න. හැබැයි සවස තවත් කෙනෙක් ඇවිත් ඉන්නවා. ඔහුට කරදර නොවන පරිදි හැසිරෙන්න“ ධනිය කී ය.

මඳ වේලාවක් ගෙවිණ. අමුත්තන් දෙදෙනා ම අඳුරේ සැතැපෙනු ඇතියි ධනියට සිතිණ.

එහෙත් මැදියම් රැයේ කුඹල්හලෙන් මිහිරි හඬක් නැඟිණ. මිහිරිව නැඟෙනුයේ අර පැවිදි හඬ ය. උස මහත පුරුෂයා ඒ හඬට කන් දී සිටී. අවසානයේ දී අර පුරුෂයා සාදුකාරයක් දුන්නේ ය.

“මට සමාවෙන්න. මා අතින් සම තත්ත්වයේ ලා සලකා කළ නිගරු බවට මට සමාව දෙන්න. මා සොයා යමින් සිටි බුදුරජාණන් වහන්සේ ඔබ බව මට දැන් වැටහෙනවා. මා සෙවූ දෙය මට ලැබුණා. මගේ සිත දැන් මහා සැනසිල්ලකින් පිරී තිබෙනවා. මහා නිවීමක් තුළ මා දැන් පසු වෙනවා. ස්වාමීනී, මට ඔබ වහන්සේ ළඟ පැවිදි වීමට වුවමනායි“ ධනිය නිදා සිටි තැනින් නැඟිට්ටේ ය.

‘හැන්දෑ අඳුරේ අපේ කුඹල්හලට වැඩම කොට තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ. මා උන් වහන්සේ ගැන අසා තියෙනවා. දැකලා නැහැ. අර අනෙක් පුද්ගලයා මහා නිවීමක් ලද බව කියනවා. පැවිදි වීමේ වුවමනාවක් ද කියනවා. මේක නම් ධනයක් වගෙයි.‘

ධනිය තව දුරටත් කන් දී සිටියේ ය.

“සිවුරු පාත්‍රා නැතිව පැවිදි කරන්න බැහැ“ ඒ මිහිරි හඬ යළි නැඟිණ.

“මම හෙට උදේ ම සිවුරු පාත්‍රා සොයාගෙන එන්නම්“ පුරුෂයා කී ය.

ඉර පායන්නටත් පෙර ධනිය මැටි සපයාගැනීම සඳහා ඈත ගමකට ගැලකින් ගියේ ය.

ඔහු ආපසු එන විට කුඹල්හල පාළුව තිබිණ. ගොනකු ඇන මරාදැමූ අයකු ගේ මළ සිරුරක් පාරේ ඇති බව ධනියට මිතුරෙක් කී ය. ධනිය ඒ මළ සිරුර බැලීමට ගියේ ය.

‘මේ අන් කිසිවෙක් නොවේ; ඊයේ රෑ අපේ කුඹල් හලේ සිටි තැනැත්තා‘යි. ඔහු ඒ මළ සිරුර හඳුනාගත්තේ ය.

රියකින් බැස ආ සිටුවරයෙක් ඒ මළ සිරුර දැක හිසේ අත් ගසාගත්තේ ය.

“මේ පුක්කුසාති රජතුමා! මා ඇසුවා ඔහු රජකම අතහැර බුදුරජාණන් වහන්සේ දැකුමට පයින් ම ගමනක් ඇරැඹූ බව. අනේ අවාසනාවක හැටි! ඔහු බුදුරජාණන් වහන්සේ නොදැක මිය ගිහින්“ සිටුවරයා කීවේ ය. ධනිය ඉදිරිපත් විය.

“ඔහු ඊයේ රෑ සිටියේ අපේ කුඹල්හලේ. එතැනට බුදුරජාණන් වහන්සේ වැඩියා. බණ කිව්වා. ඔහු සිත නිවී ගිය බව කීවා. පැවිදිවීම සඳහා පාත්‍රා සිවුරු සොයාගැනීමට උදයෙන් ම යන බව කීවා.“

“එහෙනම් මේ පාත්‍රා සිවුරු සොයන්නට පාරට ආ ගමන් වෙන්න ඇති. සිත නිවී ගිය බව කීවා නම් ඔහුට අවශ්‍ය දේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන්න ඇති. මා හිතනවා ඔහු නිවන් දකින්න ඇති.“

“බුදුරජාණන් වහන්සේ බණ කීවේ සුළු වේලාවයි. ධාතු ගැන කීවා මට මතකයි. මට ඇහුණේ ටික ටික.“

“මා අහලා තියෙනවා. ධාතු ගැන කීවා නම් ඒක ගැඹුරු දේශනාවක්. ඒ දේශනාවෙන් සිත පැහැදුණා නම්, පැවිදි වෙන්න හිතුණා නම් නිසැකව ම පුක්කුසාති රජතුමා නිවන් දකින්න ඇති.“

පසු දිනෙක ධනියට ඒ ගැන ද අසන්නට ලැබිණ.

“පුක්කුසාති රජු මිය ගියේ නිවන් දුටු අයකු වශයෙන්“ බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. එබස් ඇසූ ධනිය ‘මේ ධර්මය වහා ප්‍රතිඵල ලබාගත හැකි එකක්. පැය කීපයක් බණ අසා හිත හදාගෙන අර රජතුමා සසරෙන් එතෙර වුණා. මාත් ඒ අනුව ඒ මාර්ගය ම අනුගමනය කළ යුතුයි.‘ සිතූයේ ය.

ධනිය පසුදා ම බුදුරජාණන් වහන්සේ දැක පැවිදි වූයේ ය.

පැවිදි වුව ද විදසුන් වැඩීමේ වුවමනාවක් ධනිය හිමියනට නොතිබිණ. උන්වහන්සේ සිය කුටිය අලංකාර කිරීමට කාලය ගත කළේ ය.

මෙය බුදුරජාණන් වහන්සේට අසන්නට ලැබිණ. උන් වහන්සේ ධනිය හිමියනට අවවාද කළහ.

“නුඹ පැවිදි වූයේ ගෙවල් හැඩ-වැඩ කර කර ඉන්න ද? සසර දිනන්නට ඔහොම බැහැ. අවට සිටින භික්ෂූන් දෙස බලා, වහා කමටහනක් ලබාගෙන විදසුන් වඩන්න.“

ධනිය හිමියෝ සංඝයා සතු වෙනත් කුටියකට ගොස් විදසුන් වඩන්නට වූහ. වැඩි කලක් නොගොස් රහත් වූහ. පසු කලෙක ධනිය රහතන් වහන්සේ සිය උදානය මෙසේ පළ කළහ.

පැවිදි බවෙහි සුවසේ රැඳුමට නම්

සඟ සතු සිවුරට දනට නොගරහනු

පැවිදි බවේ සුවසේ රැඳුමට නම්

මීයකු සැරූ ගුලට ඇදී යන

නයකු ලෙසින් සෙනසුන්හි රැඳෙනු මැන

පැවිදි බවේ සුවසේ රැඳුමට නම්

ලද පමණින් සතුටට පත්වනු මැන

නොපමාව ම දහමෙහි හැසිරෙනු මැන.

 

Comments