දේශ සීමා පැන පාපන්දු ලන්දු පාකිස්තානයට එති | සිළුමිණ

දේශ සීමා පැන පාපන්දු ලන්දු පාකිස්තානයට එති

 

'කවර අරමුණක් මූලික කරගනිමින් වුවද පළායාම අසීරු ය. බොහෝවිට පළා යන්නෝ පළායන්නේ තමන් පතන හෝ අදහස විමුක්තිය සොයා ය. ඔවුහු ද පළා ආවේ එලෙස විමුක්තිය පතාගෙන ය.'

පාකිස්තාන තොරතුරු අමාත්‍ය ෆාවඩ් චෞද්‍රි පවසන්නේ වයඹ දිග පාකිස්තානයේ ටොර්ක්හෑම් දේශ සීමාවෙන් තමයි ඔවුන් මෙලෙස පාකිස්තානයට ඇතුළු වෙලා ඇත්තේ. එහෙම එද්දී ඔහු සම්පූර්ණයෙන්ම තමන් වැසෙන ආකාරයට හිජාබය ඇඳගෙන, සම්ප්‍රදායික ඉස්ලාම් ආගමික කාන්තාවන් විධිහට සිටි බව පැවසුණා.

ඒ විධිහට පාකිස්තානයට ඇතුළු වුණු ඇෆ්ගන් පාපන්දු ක්‍රීඩිකාවන් එරටට දී පිළිඅරගෙන තිබුණේ උණුසුම් ආකාරයෙනුයි. ඒ පිළිගැනීමට පාකිස්තානයේ පාපන්දු සම්මේලනය ද එක්ව සිටි බවයි සඳහන් වුණේ. මේ සම්බන්ධයෙන් එරට තොරතුරු අමාත්‍ය චෞද්‍රි ට්විටර් පණිවුඩයක් යොමුකරලා තිබුණා.

ඒ පණිවුඩයෙන් කියැවුණේ, 'ටෝර්ක්හැම් දේශ සීමාව තරණය කරලා පාකිස්තානයට පැමිණි ඇෆ්ගනිස්ථාන පාපන්දු ක්‍රීඩිකාවන් සතුව නීත්‍යානුකූල ගුවන්ගමන් බලපත්‍ර හා වීසා බලපත් තිබුණා. ඒ නිසා අපි ඔවුන්ව රටට ඇතුළත් කරගත්තා.' යනුවෙනුයි.

කොහොම වුණත් මේ ආකාරයට පාකිස්තානයට ඇතුළු වීම සඳහා ඇෆ්ගන් ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ පවුල් හි සාමාජිකයන් කීදෙනෙකුට අවසර ලැබුණි ද යන්න ගැන නිශ්චිත තොරතුරක් තවමත් ලැබිලා නැහැ. කෙසේ නමුත් පාකිස්තානයේ පුවත්පත් සඳහන් කරලා තිබුණේ මානුෂීය පදනම යටතේ ඇෆ්ගන් පාපන්දු ක්‍රීඩිකාවනට කාබුල් නුවරින් නික්ම තම රටට ඇතුළුවීමට හදිසි වීසා බලපත් නිකුත් කර තිබූ බවයි.

තලිබාන් පාලනය මෙයට පෙර ඇෆ්ගනිස්ථානයේ පාලන බලය හොබවද්දී එරට කාන්තාවන්ට හා දැරියන්ට ක්‍රීඩාව හා සම්බන්ධවීම තහනම් කරලා තිබුණා. ඒ නිසා යළිත් වරක් ඔවුන් එරට බලය අල්වා ගත්තාට පස්සේ කාන්තාවන්ගේ සියලු අයිතාවාසිකම් උල්ලංඝණය වෙනු ඇති බවට විශාල තැතිගැන්මක් ඇතිවෙලා තිබෙනවා. ඒ අනුව සෑම ක්‍රීඩිකාවක්ම වගේ උත්සහ කරන්නේ ඇෆ්ගනිස්ථානයෙන් පළා ගිහින් සුරක්ෂිත රටක රැකවරණය ලබන්නයි.

මේ නිසා බොහෝ කනිෂ්ඨ ක්‍රීඩකයන්, ඔවුන්ගේ පුහුණුකරුවන් හා පවුලේ සමාජිකයන් පසුගිය මාසයේ පමණ ඉඳලා උත්සහ ගනිමින් සිටියේ මොන විධිහකට හරි ඇෆ්ගනිස්ථානයෙන් පළා යන්නයි.

ඒත් ඒ සියල්ලට කණකොකා හැඬුවේ කාබුල් නුවර ගුවන්තොටුපොළ ආශ්‍රිතව බෝම්බ පුපුරා යන්න පටන් ගත් නිසයි. වෙඩි තැබීම්, බෝම්බ ගැසීම් නිසා ඔවුන් පිළිසරණක් නොමැති තත්ත්වයට පත්ව තිබුණා.

මේ අතර එංගලන්තයේ ක්‍රියාත්මක වෙන රාජ්‍ය නොවන සංවිධායනයක් ඇෆ්ගන් ක්‍රීඩකයන්ව මුදා ගන්න බොහෝ ඉල්ලීම් සිදුකළා. ඔවුන් ඒ ඉල්ලීමේ ලෝකයේ විවිධ රටවල් වෙත ඉදිරිපත් කර තිබුණා.

'මම මේ බව පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් ට ත් ලියා දැන්වූවා. මම ඔහුගෙන් ඉල්ලා සිටියේ මේ ක්‍රීඩක, ක්‍රීඩිකාවනට පාකිස්තානයට ඇතුළත්වීමට අවසර ලබාදෙන් කියා යි.' එංගලන්තය මූලික කරගනිමින් ක්‍රියාත්මක 'සාමය සඳහා පාපන්දු' නමැති රාජ්‍ය නොවන සංවිධානයේ නියෝජිත සර්දාර් නවීඩ් හයිඩර් පවසා ඇත්තේ ඒ නිසයි.

දැනට වාර්තාවන ආකාරයට උතුරු දිග දේශ සීමාව පසුකරමින් පාකිස්තානයට ඇතුළුවූ මේ ඇෆ්ගන් කාන්තා පාපන්දු කණ්ඩායම සමඟ හැත්තෑපහ ඉක්මවන සංඛ්‍යාවක් පාකිස්තානයට ඇතුළු වෙලා. එලෙස නීත්‍යානුකූල වීසා බලපත් සහිතව ඇෆ්ගනිස්ථානයෙන් පාකිස්තානයට ඇතුළු වූ කණ්ඩායමට මල් මාලා දමා පිළිඅරගන්න කටයුතු කර තිබුණා. මේ බව දැක්වූයේ විදෙස් වාර්තා විසිනුයි.

'ඉදිරියේ දී ඔවුන් සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් පැමිණෙන තුරු මේ ක්‍රීඩිකාවෝ ලාහෝරයේ ම නැවතී ඉන්නවා.' එහෙම කියන්නේ සාමය සඳහා පාපන්දු උප සභාපති අමිර් ඩොගාර්.

පාකිස්තානයට ඇතුළු වුණු පාපන්දු ක්‍රීඩිකාවන් අවුරුදු 14, 16 හා 18 යන වයස් කාණ්ඩවලට අයත් වූ අතර මීට පෙර කීවාක් මෙන් ඔවුන් සියලු දෙනා බුර්කා වෙන් සැරසී සිටි බව කියැවුණා.

මෙලෙස පාකිස්තානයට පළා ආ පාපන්දු ක්‍රීඩිකාවන් කටාර් රාජ්‍ය බලා ගමන් කිරීමට සූදානමින් සිටින බව යි තවත් වාර්තාවකින් කියැවුණේ. කෙසේ නමුත් එයින් අනතුරුව ඔවුන් ලෝකයේ වෙනත් සුරක්ෂිත රාජ්‍යයක් වෙත ගමන් ගන්නට ඇති ඉඩකඩ වැඩියි.

ප්‍රංශ පුවත් සේවය සඳහන් කර ඇති ආකාරයට ජ්‍යෙෂ්ඨ තලිබාන් නිලධාරියක් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වෙත පවසා තිබුණේ ඇෆ්ගන් කාන්තාවන්ගේ ක්‍රීඩා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව යි. ඒත් දැන් තත්ත්වය තවටිකක් වෙනස් කරමින් පසුගිය අඟහරුවාදා ඇෆ්ගනිස්ථාන් ක්‍රීඩා ප්‍රධානියා වන බෂීර් අහමඩ් රුස්ටම්ෂායි පවසා තිබුණේ ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීමේ අයිතිය සම්බන්ධයෙන් ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වෙන බවකුයි. ඒ වුණත් එය ලබාදිය යුතු ද නැද්ද යන්න ගැන තවමත් නිශ්චිත තීන්දුවකට පැමිණ නැති බවත් ඔහු පවසා තිබුණා.

මේ අතර තලිබාන් පාලනය යටතේ තමන්ට විවිධ හිරිහැර, පළිගැනීම් සිදුවෙතැයි බිය පළකරන ඇෆ්ගන් ජාතිකයන් දස දහසක් පමණ දැනටමත් ඇෆ්ගනිස්ථානයෙන් පළාගිහින්.

මේ අතර තලිබාන් නව අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඇතැම්විට ලෝකය හා පවතින අරගල අඩුකරගන්න තලිබාන්වරු කාන්තාවන්ගේ අයිතිවාසිකම් මඳක් ලිහිල් කරන්න ඉඩ තියෙන්න පුළුවන්. එසේ නොවී තමන්ගේ ධර්මයට අනුව කටයුතු කරන්න තීරණය කරලා කාන්තා නිදහස නැති කරන්නත් පුලුවන්.

 

 

Comments