තලිබාන් නැගීම හා පාකිස්තාන ක්‍රීඩාවේ වැටීම | Page 2 | සිළුමිණ

තලිබාන් නැගීම හා පාකිස්තාන ක්‍රීඩාවේ වැටීම

 

පසුගිය දා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හදිසියේ පාකිස්තාන ක්‍රිකට් තරග සංචාරය අතහැර දමා පෙරළා සියරට ගියේ ය. ඔවුන් එම තීරණයට එළැඹියේ ක්‍රීඩක ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇතැයි පවසමිනි.

එය තවත් බැරෑරුම් කළේ මෙම වසරේම පාකිස්තානය තුළ තරග වැදීමට සූදානමින් සිටි එංගලන්ත පිරිමි හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ද නවසීලන්තය ගත් තීරණයෙන් පැය කීපයකට පසුව සිය සංචාර අවලංගු කිරීම යි. එය ඔස්ට්‍රේලියානු පිලේ පාකිස්තාන සංචාරයට ද බලපෑම් කළ අතර පාකිස්තානයය තුළ සංචාරය කරන්නට තම කණ්ඩායම එවන්නේ ද නැද්ද යන්න ගැන තවමත් කිසිත් පවසා නැත්තේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පමණි.

කෙසේ නමුත් පාකිස්තානය ක්‍රිඩා තරග පැවැත්වීමට තරම් ආරක්ෂිත යැයි ලෝකයට කියන්නට ශක්තිමත් පදනමක් දමා දුන්නේ ශ්‍රී ලංකාව ය. ඒ ජාතික ක්‍රිකට් කණ්ඩායම එරට සංචාරයට එක්කරමිනි. එහෙත් දැන් ඒ සියල්ල කනගාටුදායක ලෙස වෙනස් වෙමින් ඇත.

මෙවැනි තත්ත්වයකට පාකිස්තානයට මුහුණ දීමට සිදුවූයේ ඇයි ද යන්න වෙසෙසින් සලකා බැලිය යුතු ය. ඊට ප්‍රබල ලෙසම ඉවහල්ව ඇත්තේ ඇෆ්ගනිස්ථානය තුළ සිදු වූ දේශපාලන බල පෙරැළිය ය. මේ හේතුවෙන් කලාපය තුළ යළි ආගමික අන්තවාදී අදහස් මතුවෙමින් ඇතැයි ලෝකයේ බොහෝ රටවල නිගමනය වී තිබේ. එමගින් වැඩිම බලපෑම් සිදුවිය හැක්කේ අසල්වැසි පාකිස්තානයට බව ප්‍රබල මතයක්ව නැග එමින් ඇතැයි පෙණේ.

එය එසේ වන්නට ප්‍රබලම හේතුවක් ලෙස ඇෆ්ගන් රාජ්‍යයෙන් පළා එන ක්‍රීඩකයන් ඇෆ්ගන් - පාකිස්තාන දේශ සීමාව තරණය කරමින් පාකිස්තානයට පැමිණීමට අවසර දෙන්නට පාකිස්තාන රජය ක්‍රියාකිරීම දැක්විය හැකි ය. එවැනි සිදුවීම් තලිබාන් හිතවාදී සන්නද්ධ ත්‍රස්තවාදීන් වඩා උරණ කරවීමක් වන්නට ද පිළිවණ. එවිට එය යළි පාකිස්තානය තුළ බෝම්බ පිපිරවීම්, වෙඩි තැබීම් මෙන්ම ක්‍රීඩාව හා ක්‍රීඩකයන් ඉලක්ක කරගනිමින් සිදුකරන ත්‍රස්ත ක්‍රියාවන් බවට පත්න්නට ඇති ඉඩකඩ ඉහළ ය. නවසීලන්තය හදිසියේ සිය ක්‍රිකට් සංචාරය අත්හිටුවන්නේ එවැනි පසුබිමක පිහිටා ය.

කනගාටුව වන්නේ ඇෆ්ගනිස්ථානයේ පාලන බල හුවමාරුවට කලාපීය සෙසු රටවලට බලපාමින් ඇති ආකාරය ය. ඒ අනුව ඊට එම රටවලට බොහෝ වන්දි ගෙවන්නට සිදුවෙමින් තිබේ. පාකිස්තාන ක්‍රීඩා පිටි ආසන්නයේ, ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩයන් ඉලක්ක කරගනිමින් යළි බෝම්බ පිපිරවීම ඇරඹුණහොත් සිදුවන්නේ එරට ක්‍රීඩාව යළි මරණීය ප්‍රහාරයකට ලක්විම ය. එයින් සිදුවිය හැකි විශාලම අවැඩ ලෙස අප දකින්නේ අනාගතයේ ලොව බාරගැනීමට සිටින තරුණ ප්‍රජාව ක්‍රීඩකත්වය වෙනුවට ත්‍රස්තවාදයත්, පිත්ත හා පන්දුව වෙනුවට තුවක්කුව හා බෝම්බය අතට ගැනීමටත් හුරුවීමේ අවදානම ය. එය තේරුම් ගනිමින් කලාපයක් වශයෙන් කටයුතු කිරීමට සිදුවෙමින් පවතින බව විශේෂයෙන් සිහිකැඳවා ගත යුතුව ඇත.

Comments