ටෝකියෝවේ දී රටේ කොඩිය එසැ වූ පුංචි නුවරඑළියේ කොඩිතුවක්කු | සිළුමිණ

ටෝකියෝවේ දී රටේ කොඩිය එසැ වූ පුංචි නුවරඑළියේ කොඩිතුවක්කු

 

දෙනියාය සුන්දර ය. සිසිල්ය. මීදුම ගලා හැලෙන,පිණි මල් තුරු පත් මත රටා අඳින සොඳුරු චමත්කාර ජනක පරිසර පද්ධතියක උරුමකරුවෙකි. එය එක්තරා ආකාරයකට නුවරඑළිය වැනි දේශගුණික කලාපයකි. එවැනි පෙදෙසකින් සීතල ටෝකියෝවේ ග්‍රීෂ්ම උණුසුම දිය කර හැරි ශ්‍රී ලාංකිකයෙකි ඔහු පැරාලිම්පික් උලෙළේ හෙල්ල විසිකර ලෝකඩ පදක්කම් දිනූ ඔහු සමිත දුලාන් කොඩිතුවක්කු ය. මේ ඔහු ගැන'ක්‍රීඩා' තබන සටහනකි.

2020 ටෝකියෝ ගිම්හාන පැරාලිම්පික් උලළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ සමිත දුලාන් එහි F44 කාණ්ඩයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ ය.

යුද හමුදා පොලිස් සේවා බලකායෙන් පැරාලිම්පික් උලෙළක් නියෝජනය කල පළමුවැන්නා ලෙස සැලකෙන්නේ ද සමිත ය. වළලුකර අක්‍රීය තත්ත්වයේ සිටින සමිත තවමත් 31 වැනි වියේ පසුවෙයි.

'දන්න කියන කාලේ ඉඳල ම සමිතගේ ලොකු ම අපේක්ෂාව වී තිබුණේ දක්ෂ මලල ක්‍රීඩකයෙක් ලෙස ඉදිරියට එන්නට ය. පාසල් කාලයේත් ඉන් පසුවත් ඒ වෙනුවෙන් ම වෙහෙසුණු සමිතට ලැබුණ මේ අවස්ථාව ඔහුට මහා මෙරක් වන්නට ඇත. පැරාලිම්පික් උලෙළේ දී යම් වෙනසක් කරන්න පුංචි ම පුංචි බලාපොරොත්තුවක් සමිත තුළ නොතිබුණේ යැයි කිසිවකුටත් පැවසිය නොහැක්කේ එහෙයිනි.

සමිත යනු දෙනියාය ගම්පියස කරගත්තෙකි. හෝඩියේ පංතියේ සිට උසස් පෙළ දක්වා ම දෙනියාය ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූවේ ය. සෑම කොළුගැටයෙකුට මෙන්ම සමිතත් පාසල් යන මුල් කාලේ දන්න කියන හැම මලල ක්‍රීඩාවක ම නිරත වුණේ ය. ඒ මහා ලොකු ඉලක්ක තබා නොගෙන වුවද, එනිවාසාන්තර ක්‍රීඩා පැවැත්වෙන කාලවල ඔහු වැඩි කාලයක් සිටියේ පිට්ටනියේ ය. ඒත් ටිකෙන් ටික කර දඬු උස් මහත්ව , වයසින් වැඩෙද්දී මේ පුරුද්ද අඩු වෙන්නට විණි.

ඒ අනුවේ සෙසු ක්‍රීඩා මගහැර හෙල්ලය සමඟ එල්ලය ගන්නට ඔහු විශේෂණය වන්නේ ය. එහෙත් එවැන්නකට ප්‍රමාණවත් පහසුකම් පාසලේ තිබුණේ නැත. වෙනකක් තබා නිසි පුහුණුකරුවකුද නොවී ය.

කෙටිම පැහැදිලි කිරීම නම්, සමිතට තිබූ උණට. ශාරීරික අභ්‍යාස ගුරුවරු තමන් දන්න විදිහට බෙහෙත් හේත් නැත්නම් හෙල්ල විසි කරන්න කියා දුන් හ. කොට්ඨාශ, කලාප, දිස්ත්‍රික්, පළාත් තරගවල පළමු තුන් දෙනා අතරට ආ සමිත සුවිසල් ජයග්‍රහණ නොලැබුණ ද සමස්ත ලංකා තරගවලට පවා එක්වී තිබේ.

සමිතගේ පියා වසන්ත, මේ වන විට විශ්‍රාමික සුවයෙන් පසුවෙන යුද හමුදා නිලධාරියෙකි. මව ශාන්ති, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන අතර දෙමාපියන් රැකියාවල නියුතු වීම හේතුවෙන් සමිතට පාසල් කාලයෙන් පසුවත් නිදහසේ අඩුවක් නොවී ය.

ඔහු කුඩාකලම ක්‍රීඩාවට ඇබ්බැහි වන්නට මෙම පවුල් පරිසරය හේතු වූයේ යැයි පැවසිය හැකිය. ඒ අනුව පාසල් කාලයෙන් පසු සමිත හෙල්ල විසි කිරීමේ පුහුණුවීම්වලට ගියේ ය. මේ කාලයේ ඔහුගේ පුහුණුවීම් සිදුකෙරුණේ ජගත් සහ මංචනායක ගුරුවරු දෙදෙනා යටතේ ය. ඒ සඳහා නිවසෙන් ලැබුණේ ද තල්ලුවකි.

සමිත 2009 වසරේ දී යුද හමුදා පොලිස් සේවා බලකායට එක්වීම සඳහා ගිරිතලේ යුද හමුදා පුහුණු පාසලේ පුහුණුව ලැබී ය. එහිදී විධිමත්ව හෙල්ල විසි කිරීමේ ඉසව්ව ඉගෙන ගැනීමට ඉඩකඩ විවර වූයේ ය. එහෙයින් ඔහු 2016 වසරේ දී යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ නව වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගත්තේ ය.

එහෙත් එය සිහිනයක් වූයේ පුහුණුවීම් අවසන් ව නේවාසිකාගාරය වෙත යමින් සිටියෙදී, සිදුවූ රිය අනතුරක් හේතුවෙනි. එමගින් පාදයේ වළලුකර ආබාධයකට ගොදුරු වූ සමිත අවුරුදු දෙකක පමණ කාලයක් යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබුවේ ය.

ඉන් අනතුරුව පැරා ක්‍රීඩාව සඳහා එක්වන්නට ඔහුට මඟ විවර විණි.

ඔහුගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත ය. පුහුණුව අරඹා මාස කිහිපයකින් ම නැවත තරග බිමට පිවිසීමට සමිතට හැකිවිණි.

ඒ 2018 යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී ය. එකී තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වෙන සමිත ඉන් රන් පදක්කම දිනා ගන්න අතර, ඊට පසුව එම වසරේ ම පැවති ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ සිය ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ය.

මේ සියළු දක්ෂතා සමඟ සමිත එකී වසරේ ම සිය පළමු විදෙස් තරගාවලිය ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබී ය. එහි දී සිව්වැනියා වශයෙන් තම ඉසව්ව අවසන් කළ ඔහු 2019 වසරේ ඩුබායි හි පැවති ලෝක ශූරතාව නියෝජනය කරමින් එහි ද සිව්වැනියා බවට පත්වුණේ ය.

එම ලෝක ශූරතා තරගාවලියෙන් අනතුරුව පැරාලිම්පික් සුදුසුකම් ලබා ගන්නා සමිත දුලාන් කොඩිතුවක්කු ‘එෆ් 44’ කාණ්ඩයේ (දණහිසට පහළින් එක් පාදයක් අහිමි හෝ ඊට සමාන ආබාධිත) හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය.

මෙහිදී සමිත මීටර් 65.61 ක් විසිකරමින් සිය පෞද්ගලික ඉහළ ම දස්කම් වාර්තා කිරීම කැපී පෙනුණි. මීට පෙර ඔහුගේ ඉහළම දස්කම් ලෙස 2018 ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී පැවැති ආසියානු පැරා ක්‍රීඩා උලළේ දී වාර්තා කළ මීටර් 58.38 විණි.

 

 

Comments