කැප්ටන් කැනඩා නොහොත් අස්ස ආදරවන්තයකු වූ ජම්පිං මිලර් | සිළුමිණ

කැප්ටන් කැනඩා නොහොත් අස්ස ආදරවන්තයකු වූ ජම්පිං මිලර්

 

ෂෝ ජම්පිං දැන් ලංකාවට හුරුපුරුදු ය. ඒ පසුගිය ඔලිම්පික් උළෙලේ දී එම ක්‍රීඩා ඉසව්ව වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක තරග වැදුණු හෙයිනි. මේ ජනප්‍රිය ෂෝ ජම්පිං ක්‍රීඩකයකු ගැන ය.

ඔහු නමින් ඉයන් මිලර් ය. කැනේඩියානු තුරග තරග කණ්ඩායමේ “ෂෝ ජම්පිං” ක්‍රීඩකයෙකි. ෂෝ ජම්පිං ලෝක කුසලානයේ දෙවරක් ජයග්‍රහණය කළ ක්‍රීඩකයකු වන ඔහු ඔලිම්පික් රිදී පදක්කම් ලාභියෙකි.

ඔහුගේ දීර්ඝායුෂ සහ ලබා ඇති ජයග්‍රහණ හේතුවෙන් හැඳින්වෙන්නේ "කැප්ටන් කැනඩා" ලෙස ය. ඉයන් යනු ඕනෑම ක්‍රීඩාවක් නියෝජනය කරමින් ඔලිම්පික් තරග සඳහා වැඩිම වාර ගණනක් සහභාගී වූ ක්‍රීඩකයා ලෙස සැලකෙයි. කැනඩාවේ 2012 ඔලිම්පික් ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු ලන්ඩන් හි පැවති ඔලිම්පික් උළෙලට එක් වූයේ සිය දසවන ක්‍රීඩා උළෙල ලෙස ය.

මිලර් 1947 ජනවාරි 06 වන දින නෝවා ස්කොටියා හි හැලිෆැක්ස් හි දී උපත ලබා තිබේ. ඔහු කැනේඩියානු ෂෝ ජම්පිං ශූරතාව 12 වතාවක් ජයගෙන ඇත. දසක ගණනාවක් තිස්සේ කැල්ගරි හි ස්පෘස් තණබිම් භූමියේ දී දිනා ඇති ත්‍යාග මුදල ඩොලර් මිලියන 3.5 ක ට අධික ය.

1987 අගෝස්තු මාසයේ දී පෑන් අමෙරිකානු ක්‍රීඩා උළෙලේ දී ඉයන් මිලර් තනි පුද්ගල රන් පදක්කමක් දිනා ගත් දෙවන කැනේඩියානු ජාතිකයා බවට පත්විය.

1972 වසරේ සිට 2014 වසර දක්වා සෑම ෂෝ ජම්පින් ලෝක ශූරතාවයකම කැනේඩියානු අශ්වාරෝහක කණ්ඩායමේ සාමාජිකයෙකු විණි. 2012 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී මිලර් සිය දසවන තරගයට සහභාගී වෙමින් හියුබර්ට් රවුඩාෂ්ල් විසින් පිහිටුවන ලද වාර්තාව බිඳ දැමී ය.

ඔහු පළමු වරට ඔලිම්පික් තරගාවලියකට සහභාගී වූයේ 1972 වසරේ දී ය. කෙසේ නනමුත් එක්සත් ජනපදය-සෝවියට් සංගමයට එරෙහි වර්ජනය හේතුවෙන් 1980 ක්‍රීඩා තරගය පමණක් ඔහුට අහිමි විණි.

2008 අගෝස්තු 18 වෙනිදා, බීජිංහි පැවති ගිම්හාන ඔලිම්පික් උළෙලේදී, වයස අවුරුදු 61 දී, මිලර් තම කණ්ඩායමට (ජිල් හෙන්සල්වුඩ්, එරික් ලැමාස් සහ මැක් කෝන් ද ඇතුළත්ව) නායකත්වය දෙමින් රිදී පදක්කමක් දිනා ගත්තේ ය. එය ඔහුගේ පළමු ඔලිම්පික් පදක්කම මෙන්ම ඔලිම්පික් උළෙලක පළමු පදක්කම දිනා ගත් වයස්ගතම ෂෝ ජම්පින් ක්‍රීඩකයා වන්නේ ද ඔහු ය.

ලෝක ශූරතා හයක දී ඔහු කැනඩාව සඳහා රතු කබාය පැළඳ සිටියේ ය. ඉයන් ගේ ජීවිතයේ තවත් ආඩම්බර අවස්ථාවක් 2016 අගෝස්තු මාසයේදී උදා විය. එය සිය දියණිය ඇමී, රියෝහි දී පළමු වරට ඔලිම්පික් උළෙලක් සඳහා තරඟ කිරීමයි.

තරුණ අශ්වයින් පුහුණු කිරීම සහ සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ඔහු ගේ ප්‍රතිමාවක් උපහාර වශයෙන් ඔහුගේ උපන් ගම වන ඔන්ටාරියෝ හි පර්ත් හි බිග් බෙන් උද්‍යානයේ මායිමේ ස්ථාපිත කර තිබේ.

 

 

Comments