කාන්තා ඔබ පරෙස්සම් විය යුතු ගර්භාෂ ගෙඩි | සිළුමිණ

කාන්තා ඔබ පරෙස්සම් විය යුතු ගර්භාෂ ගෙඩි

 

කාන්තාවන් තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව වඩා අවධානයෙන් සිටීම වැදගත්. කාන්තාවන් පහකින් එක් අයකු බොහෝ විට ගොදුරු වෙන රෝගයක් ගැන ඔබ දැනුම්වත් කරන්න සිළුමිණ රසඳුන අපි හිතුවෙ ඒකයි. මොනවද මේ ගර්භාෂයේ ගෙඩි කියන්නෙ. ගර්භාෂය කියන්නෙ දරු පිළිසිඳ ගැනීම හා ප්‍රසූතිය දක්වා වැඩෙන අවයවයක්. ගර්භාෂයහි සෑදී ඇති මෙම මාංශපේෂී බිත්ති මයෝමිට්‍රේම් ලෙස හැඳින්වෙනවා. එහි පිටත බිත්තියෙ ඇති වන ගෙඩි තමයි ගර්භාෂ ගෙඩි කියන්නේ. එය ෆයිබ්‍රොයිඩ් කියලයි හඳුන්වන්නේ. සාමාන්‍ය කාන්තාවන් පස්දෙනෙකුගෙන් එක් අයකුට මෙම ගෙඩි හට ගැනීම සාමාන්‍යයි. බොහෝ කාන්තාවන්ට මෙම ගෙඩි ඇතත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ.

ප්‍රධාන ආවේණික රෝගී ලක්ෂණ නොමැති වුවද බඩේ කැක්කුම, ඔසප් වීමේදී වේදනා හා රුධිර වහනය වැඩි වී ඔසප් චක්‍රය වෙනස් වීම ආදි ලක්ෂණ දැකගත හැකියි. ඒ වගේම උදරය විශාල වීම, ඒ ආශ්‍රිතව වේදනා දැනීම ආදී රෝග ලක්ෂණත් ඇති වෙනවා.

ඒ වගේම ආහාර මාර්ගය,මුත්‍රාශය අවට පද්ධතිවල රෝගී තත්ත්වත් මතු වීම දක්නට ලැබෙනවා. ඇතැම් විට නිතර නිතර මුත්‍රා යාම වැන්න දැකගත හැකියි. එනම් මෙම රෝග ලක්ෂණ වෙනත් රෝගයකට ප්‍රතිකාර කිරීමේදී වුවද අහඹු ලෙස හඳුනා ගන්න පුළුවන්. වෙනත් ස්කෑන් ආදිය මඟින් බහුතරයක් තමන්ට මෙවැනි රෝගී තත්ත්වයක් ඇති බවට හඳුනාගනු ලබන්නෙ. ඒ වගේම ගර්භණී අවදියෙදී සිදු කරනු ලබන ස්කෑන් පරීක්ෂණවලින්ද මෙම රෝගය ඇති බවට සොයා ගැනීමට පුළුවන්.

එම අවස්ථාවෙදී තව දුරටත් ස්කෑන් කරමින් ශරීරයේ කුමන අවයවයෙහිද කොපමණ ගෙඩි ඇතිද යන්න පිළිබඳ ව මෙන්ම එම ගෙඩිය මඟින් එම කාන්තාවට හානියක් වනවාද යන්න ස්කෑන් මඟින් පර්යේෂණය කිරීමට හැකියාව පවතිනවා.

ෆයිබ්‍රොයිඩ් ගෙඩි මතුවීම ආශ්‍රිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ඉතාමත් අඩුයි. එහිදී මෙහි බලපෑම හා සංකූලතා පිළිබඳව පරික්ෂා කිරීමේදී ප්‍රධානම කරුණක් ලෙස දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම, මඳසරු බව මෙම ගර්භාෂයේ ගෙඩි හේතුවෙන් සිදුවන අහිතකර බලපෑම් ප්‍රධාන වේ.

ඒ වගේම දරු පිළිසිඳ ගැනීමෙන් පසු ගබ්සාවක් වීමට ඇති අවධානම තරමක් දුරට වැඩිවේ.ඇතැම් කාන්තාවන් බියවන තවත් කරුණක් මෙම ගර්භාෂයේ ගෙඩි නැතිනම් ෆයිබ්‍රොයිඩ් පිළිකා සාධකයක් වග. එහි විද්‍යාත්මක තහවුරු කිරීම් වලින් හෙළිවෙලා තියෙනවා එය එසේම නොවන බව. ගර්භණී සමයෙදී වුව ගර්භාෂය සමඟ ගෙඩිය විශාල වී වේදනා ගෙනදීම් ආදී බලපෑම් මෙම රෝගය හේතුවෙන් ගෙන දිය හැකිය.

කිසිදු රෝග ලක්ෂණයක් නැතිනම් ෆයිබ්‍රොයිඩ් ගෙඩි පිළිබඳව අනිසි බියක් ඇතිකර ගතයුතු නැහැ. දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීම්, ගර්භාෂය ආශ්‍රිත වේදනා වැනි කාන්තාවට බාධාවක් ඇති තත්ත්ව නොමැති නම් එය ඉවත් කිරීමට හෝ ප්‍රතිකාර සැත්කම් කිරීම අවශ්‍ය නැත. එසේ හැරුණු විට මෙම රෝගය ආශ්‍රිත ඇතිවන සංකූලතා වන වේදනාවන්, රුධිර වහනය වැනි අතුරු රෝගවලට ඖෂධ ප්‍රතිකාර ක්‍රමවේදය වෛද්‍යවරයකුට සම්බන්ධ කර ලබා ගැනීමටද හැකි බව වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දේ. ඇතැම් අවස්ථාවල කලාතුරකින් මෙම ගෙඩි හැකිලීමේ වෛද්‍ය ප්‍රතිකාර සිදු කිරිමද මඳ වශයෙන් දක්නට ලැබේ. බොහෝදුරට මෙම ප්‍රතිකාර ක්‍රමය වෛද්‍යවරුන් අනුගමනය කරන්නෙ කලාතුරකින්. ඒ මෙම ක්‍රමය ඔස්සේ ඇතිවන සංකූලතා හේතුවෙනි.

ෆයිබ්‍රොයිඩ් තත්ත්වය දරුණුම අවස්ථාවලදී ශෛල්‍යකර්මයක් සිදු කර ගෙඩිය ඉවත් කරනු ලබයි. එහිදී වඩාත් අවධානයෙන් එය සිදුකළ යුතුය. ගර්භාෂයේ සිදු කරන ඕනෑම සැත්කමක් ඉතා සියුම්ව සිදුකිරීමට වගබලා ගත යුතුය. දරු පිළිසිඳ ගැනීමට, දරු ගැබ වර්ධනයට බාධාවක් ඇති නොවන ලෙස ඉතා සූක්ෂම සැත්කම් සිදුකළ යුතුය. එහිදී ගැබ් ගැනීමට සිටිනා තරුණ වියෙහි කාන්තාවක නම් උදරය විවෘත නොකර සිදු කරන නවීන සැත්කමකට භාජනය කරති. එමඟින් සැත්කමින් පසු ඇතිවන වේදනා අවම වීමත් ගර්භාෂය ඇතුළතට සිදුවන හානිය අවම වීමත් අපේක්ෂා කරති.

වයසින් වැඩි කාන්තාවක නම් අවුරුදු 45ට වැඩි නැවත දරු පිළිසිඳ ගැනීම් බලාපොරොත්තු නොවන කාන්තාවකට මේ ගෙඩිය නිසා රෝග ලක්ෂණ ගැටලු වේදනා හටගනී නම් ගර්භාෂයත් සමඟම ෆයිබ්‍රොයිඩ් ගෙඩිය ඉවත් කරනු ලබයි. එකවරම එය ඉවත් කළ විට නැවත නැවත එම සැත්කම් ගෙඩි ඉවත් කිරීමට සිදු නොවේ. නැවත ඇති වීමේ අවධානමත් එමඟින් නැතිවී යයි.

මෙම සැත්කම් සඳහාද නවීන තාක්ෂණික සැත්කම් සිදු කිරීම වඩා සුවදායී වේ.

Comments