ක්‍රීඩකත්වයෙන් ඉපැයූ පුරුෂත්වය ප්‍රචණ්ඩත්වයක් බවට පෙරැළූ ජෙරම් බෝටෙන්ග් | සිළුමිණ

ක්‍රීඩකත්වයෙන් ඉපැයූ පුරුෂත්වය ප්‍රචණ්ඩත්වයක් බවට පෙරැළූ ජෙරම් බෝටෙන්ග්

 

‘ගැහැණිය සුකුමලය. නිරන්තරයෙන් ගෞරවයට, ආදරයට සුදුසු ය. එය පාපන්දුවක්, ලෙදර් පන්දුවක් නැතහොත් වොලිබෝලයක් නොකළ යුතුම ය. ඇතැම්විට ඒ සුකුමාල බව කඨෝරත්වයක් බවට පෙරැළෙන මොහොතක් වුව උදාවන්නට පිළිවණ. එහෙත්, ඔබ තුළ ක්‍රීඩකත්වය, පුරුෂත්වය ඇත්තේ නම් ඔබ කළ යුත්තේ කටුක බව මඟහැර සංවාදයෙන් ගැටලු නිරාකරණය කරගැනීම ය. එසේ නොමැති නම් සාකච්ඡා කර වෙන්ව යාම ය. ජනප්‍රිය ක්‍රීඩකයකු වූ පමණින් එයෙන් මිදෙන්නට බැරි ය. එසේ නොවී තම බිරිය පාපන්දුවක් කරගන්නට ද නොහැකි ය. එවිට සිදුවන්නේ දඩ කන්නට පමණක් නොව මානසිකව වෙඩි කන්නට ය.’

පාපන්දු ක්‍රීඩාවේ දී ජර්මනියට ලෝකය තුළ හිමිව ඇත්තේ ඉහළම ස්ථානයකි. ඔවුන් 1954, 1974, 1990 හා 2014 යන වර්ෂයන්හි ලෝක ශූරතාව දිනා ගනිමින් ඒ බව සහතික කර ඇත.

ජර්මනි යේ පාපන්දු ක්‍රීඩාව ගැන කතාකරන විට එරට ප්‍රබලම ක්‍රීඩා සමාජයක් වන බේරන් මියුනිච් පිල කෙසේවත් අමතක කිරීමට අපහසු ය.

බෙර්නර් මිනියුච් ක්‍රීඩා සමාජයට සුවහසක් ක්‍රීඩකයන් අතරින් ජෙරම් බෝටෙන්ග් නම් ක්‍රීඩකයා ද ඒ අතර සුවිශේෂී ය.

ඒ එසේ වන්නේ කරුණු කීපයක් නිසා ය. මන්ද ඔහු පෙර පෙළ ක්‍රීඩකයකු හෝ දැල් රකින්නකු නොවී ජනප්‍රසාදය හිමිකරගෙන සිටින හෙයිනි. අප දන්නා පාපන්දු ක්‍රීඩාවේ සාමාන්‍යයෙන් වැඩි වශයෙන් ප්‍රේක්ෂක ආකර්ශනය හිමි වන්නේ පෙර පෙළ ක්‍රීඩකයින්ට හා දැල් රකින්නන්ට ය. එහෙත් ජෙරම් ක්‍රීඩා කරන්නේ පසුපෙළ ආරක්ෂක ක්‍රීඩකයෙකු ලෙස ය. නමුත් එසේ කියා ඔහුගේ ජනප්‍රියත්වය අඩුවක් නැත. එය කෙතරම් ප්‍රබලද යත් අදටද ඔහු ජර්මනිය තුළ අතිශය ජනප්‍රිය ක්‍රීඩකයෙකි.

විශිෂ්ට පාපන්දු ක්‍රිඩකයෙකු ලෙස ඔහු ලෝකයට විවර වන්නේ 2011 වසරේ දී බේරම් මියුනිච් ක්‍රීඩා සමාජයට එක් වීමත් සමග ය. ජෙරම් දක්ෂතාව අතින් කෙතරම් ඉහළ තලයක සිටියේ ද යන්නට සැපයෙන හොඳම සාක්ෂිය ලෙස එම වසරේම ඔහු ජාතික කණ්ඩායමටද තේරා ගැනීම දැක්වීමට පිළිවණ.

වසර 10 ක් පුරා බේරන් මියුනිච් පිලට ක්‍රීඩා කළ ඔහු ඊට පෙර වසරක කාලයක් එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි පිලද නියෝජනය කර තිබේ. රට වෙනුවෙන් තරග 70 ක ට ද සහභාගී වී ඇති ඔහු දැන් ක්‍රීඩා කරන්නේ ජර්මනියේ ලියොන් ක්‍රීඩා සමාජයට ය.

ජෙරම් 2014 වසරේ පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ශූරතාව දිනූ ජර්මන් පිලේ සාමාජිකයෙකි. ඒ හැරුණු විට බන්ඩෙස්ලිහා ශූරතා 9 ක ට හා චැම්පියන්ස් ලීක් ශූරතා 2 ක දී ද ඔහු දායකත්වය ලබා දී ඇත.

ඒ ජෙරම් බෝටෙන්ගේ දක්ෂතාවන් ය. එහෙත් ඔහුගේ මෙම දිදුලන පාපන්දු චාරිකාවට කළු පැල්ලමක් මුසු කරන්නට ඉඩ ලැබී ඇත්තේ ඔහු තුළ සහජයෙන්ම පිහිටා ඇති ක්ෂණික කෝපය ය.

මේ පිළිබඳ කතාව ගොඩනැගෙන්නේ ඔහු පෙම්වතකු වශයෙන් ලද අත්දැකීමක් සමඟිනි. ජෙරම් පෙම්වතෙකු බවට පත් වන්නේ 2007 වසරේ දී ය එවකට 19 වැනි වියේ පසු වූ ඔහුගේ ඒ හිස් තැන පුරවනු ලැබුවේ ෂෙරීන් සෙන්ලර් නමැති සුරූපිනිය විසිනි.

ජර්මන් සංස්කෘතියට අනුව විවාහයකට සැලකිල්ලක් නොදැක්වෙන බැවින් අඬදබර මැද වුවත් දෙදෙනා අතර සබඳකතාව නොනැසී පැවතුණි. ඔවුන්ගේ කැදැල්ලට සෝලේ හා ලැමියා යන නිවුන් දියණියන් ද එක් වූ හ. එහෙත් එහෙත් එම වසරේම දෙදෙනා වෙන් වූ අතර 2013 වසරේ ඔවුන් නැවත එක් වූ හ. ඒ දෙදෙනාටම දෙදෙනාගෙන් වෙන්ව සිටීමට අපහසු නිසා විය යුතු ය. 2014 වසරේ ඔවුන් දෙදෙනා විවාහ ගිවිස ගත්තද කිසිදිනක විවාහය ලියාපදිංචි කිරීමට පියවර ගෙන නොතිබුණි.

ඔවුන්ගේ කතාවේ තීරණාත්මක දවස උදාවූයේ 2018 වසරේ කැරිබියන් දූපතේ නිවාඩුවක් ගත කිරීමට ගොස් සිටියදී ය. ඊට පාදක වී තිබුණේ දෙදෙනා අතර ඇති වූ වාග් සංග්‍රාමයකි.

එහිදී අධික කෝපයට පත්වූ ජෙරම් අතට අසු වූ දෙයින් ෂෙරීන්ට දමා ගසන්නට විය. ඔහු අසල වූ ලාම්පුවකින් දමා ගැසුවද ඒ පහරින් ගැලවෙන්නට ෂෙරීන් සමත් වූවා ය. අනතුරු ඔහු කුඩා පෙට්ටියකින් දමා ගැසී ය. ඊට ෂෙරීන් ගොදුරු වූවා ය. ඉන් ඇගේ දකුණු අත තුවාල වී තිබිණි. ඉන් නොනැවතුණු ජෙරම් ඇය වෙත කඩා පැන්නේ ය. එක් අතකින් ඇගේ කෙස් කලඹින් අල්ලා ගත් ඔහු අති අමානුෂික ආකාරයෙන් අතින් පයින් ඇයට පහර පිට පහර එල්ල කළේ ය. ඔහුගේ ප්‍රහාරය දරා ගත නොහැකි වූ ෂෙරීන් සිහි නොමැතිව බිම ඇද වැටුනා ය. සටන අවසන් වූයේ ය. ඔවුන්ගේ විනෝද චාරිකාව ද අවසන් විය.

ජර්මනියට පැමිණි විගසින්ම ෂෙරීන් කළේ ජෙරම්ට එරෙහිව අධිකරණයේ පිහිට පැතීම ය. ඒ 2018 වසරේ දී ය. දීර්ඝ නඩු විභාගයකින් පසු එරට අධිකරණය ජෙරම් වැරදිකරු කොට යුරෝ මිලියන 1.8 ක දඩයක් පසුගිය සතියේ නියම කරනු ලැබීණි.

එරට නීතිය අනුව ගෘහස්ථ කාන්තා හිංසනය යන චෝදනාවට වැරදිකරු වන අයකුට බරපතළ වැඩ සහිතව අවුරුදු 5 ක උපරිම සිරදඬුවමක් නියම කළ හැකි ය. එහෙත් ඒ වෙනුවට අදාළ දඩ මුදල නියම කර ඇත්තේ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස ඔහු සතු ජාතික වැදගත්කම අධිකරණය ඉදිරියේ සැලකිල්ලට ගත් නිසා ය.

ක්‍රීඩකයෙකු ලෙස ඔහු පැමිණි ගමන් මඟ සුන්දර නමුත් ඔහුගේ ප්‍රේම ලෝකය තුළ නම් ඒ සුන්දරත්වය දකින්නට නැත. 2018 වසරේ සිට ෂෙරීන්ගෙන් වෙන්ව ජීවත් වූ ජෙරම් ඊළඟ සබඳතාව ගොඩ නගා ගත්තේ කසියා ලෙන්හාට් නම් වූ සුරූපී නිරූපිකාව සමඟය.

එහෙත් ඒ සබඳතාවයට අවුරුද්දක තරම්වත් ආයුෂ නොතිබිණි. කාසියා හා ජෙරම් අතර සබඳතාව තුළ ෂෙරීන් හා ජෙරම් අතර තිබූ තරමේ වත් ගැලපීමක් තිබුණේ නැත. දෙදෙනා අතර හැල හැප්පීම් වැඩි විය. අවසානයේ ජෙරම් ඇගෙන් ද වෙන් වී තිබුණේ ය. එසේ වෙන් වී සතියකින් පසු කටාර් හි මේ වසරේ පැවති අන්තර් ක්‍රීඩා සමාජ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වීමට ජෙරම් කටාර් ගොස් තිබුණි. ජීවිතය ගැන කලකිරී සිටි කාසියා ඔහුගේ නික්මයාමෙන් අනතුරුව කිසිවකු නොඑළඹිය යුතු තීරණයකට එළඹියා ය. ඒ තමන් විසින්ම තමන්ගේ ජීවිතය නැති කරගැනීම ය. ජෙරම් නමැති පාපන්දු ක්‍රීඩකයාගේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ තරම ක්‍රීඩකත්වය යටපත් කරන ආකාරය ලෝකයට කියූවේ එලෙසින් යැයි කිවහැකි ය. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිටුදැකිය යුතුයැයි අප පුන පුනා පවසන්නේ එහෙයිනි.

 

Comments