එකම අරුතේ - දෙක ම හරි ‘ල - ළ’ | සිළුමිණ

එකම අරුතේ - දෙක ම හරි ‘ල - ළ’

 

‘ල - ළ’ වෙනස නිසා අරුත වෙනස් වන වදන් බොහෝ ගණනක් පසුගිය කල අපි හරි වහරින් විමසුවමු. තව ද එ බඳු වදන් බොහෝ ගණනක් තිබේ. ඒ සියල්ල විමසා බලන්නට ගිය හොත් සෑහෙන කලක් වැය වනු ඇති. එහෙයින් ඒ විමැසීම මඳක් පසුකොට වෙනත් වදන් ගණයක් අද විමසමු. එනම් එකම අරුතින් ල - ළ දෙක ම යෙදිය හැකි වදන් ගණය යි.

දුල - දුළ යනු මෙසේ එකම අරුතේ යෙදෙන දෙ වදනෙකි. දිලෙන, බැබැළෙන යනු මේ දෙ වදනින් ම ලැබෙන අරුත යි. ල - ළ වෙනසින් මෙහි අරුත වෙනස් නො වේ. සංස්කෘතියෙහි ජ්වාල/ ජ්වාලිත යනු ද පාලියෙහි ජාල/ ජාලිත යනු ද මේ හා අනුරූප මැ යෙදෙන වදන් ය.

මේ වදන්හි ‘ළ’ නිමිත්තක් (‘ළ’ යෙදීමට හේතුවක්) නැත්තේ ය. එ වුව ද සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ දුල මෙන් ම දුළ ද යෙදී ඇති.

කියමින් වෙන වෙන වාසී පෑ බල

ඉඳිමින් දිය තුළ නො පෙනී බෝ කල

පෙනෙමින් තැනැ තැනැ විදුලිය සේ දුල

ගසමින් කෙළැ කෙළැ යෙති දිය කෝකිල

යන තන්හි ගිරා ස‍ඳෙසේ ‘දුල’ යනු එළිසමයෙහි ම යෙදී ඇති සැටි දැකිය හැකි ය. ඒ ගිරා සඳෙසේ දුළ යනු ද මෙසේ යෙදී ඇත්තේ ය.

නිකසළ වැලි තල පිටුවලැ මෙතේ

පිල’ඹළ සිකි තැන් ලෙස වෙන වෙනේ

රොන දොළ බිඟු මුළු රැඳි තැන තැනේ

මෙහි ද එළි සමයෙහි ම ‘දුළ’ යනු පෙනේ.

දුලා දුළ දෙක ම ධාතු (ක්‍රියා මූල) වශයෙන් ද යෙදුණු බව පෙනේ. දුලා (ළා) - දුල (ළ)ති - දිලි (ළි) දිලි (ළි) ආදී වශයෙන් පරස්මෛ පදයෙහි ද ‘දිලේ (ළේ) - දිලෙ(ළෙ)ති - දිලි (ළි) ණි - දිලු (ළු)ණු ආදී වශයෙන් ආත්මනේ පදයෙහි ද වර නැඟේ.

දුල, දුළ සේ ම උදුල, උදුළ යනු ද පුරාතන සාහිත්‍යයේ අවිශේෂයෙන් යෙදී ඇත්තේ ය. ඒ සංස්කෘතයෙහි උජ්වලිත යන්නට අනුරූප වේ.

හිමි වෙතට යන කල

අබරණ සුවඳ මනකල

පට පිළියෙන් උදුල

යන්න සැරැසී ලෙසින් සිරිකල

කාව්‍යශේඛරයෙන් ගත් මේ පද්‍යයෙහි උදුල යනු එළි සමයට ම යෙදී අැති. එහි ම

නුවන් තනු’පුල් ලෙළ

දසනග කිරණ මිණි වැළ

තුනු රන් ලිය උදුළ

මෙ තොප ඇඳි සේ සිතමි සිත තුළ

යන පදයෙහි උදුළ යනු එළිසමයට ම යෙදේ. එක ම පොතේ මෙසේ ඇති හෙයින් මේ දෙ වදන ම අවිශේෂයෙන් යෙදුණු බව නිසැක ය.

දුල - දුළ ධාතුවලින් නිපැදෙන සියලු පදවල ද මෙසේ ල - ළ දෙක ම අවිශේෂයෙන් යෙදේ. දිලි - දිළි, දිලෙන - දිළෙන, දිලෙනු - දිළෙනු ආදී වශයෙනි. දිලි (ළි) ස ධාතුවෙන් නිපැදෙන පදවල ද මෙසේ ම යෙදේ.

දිලිඳු - දිළිඳු යනු ද මෙසේ ල - ළ දෙක ම යෙදෙන වදන් වේ. මේ හා අනුරූප වැ සංස්කෘතයෙහි යෙදෙනුයේ දරිද්‍ර යනු යි,

පාලියෙහි යෙදෙනුයේ දළිද්ද යනු යි. සිංහලයෙහි බොහෝ විට ‘දිළිඳු’ යනු ම යෙදේ. එහෙත් ධර්මප්‍රදීපිකාව වැනි ඉහළ ම බසින් ලියැවුණු පොතෙක පවා දිලිඳු යන (දන්තජ ‘ල’ ඇති) වදන යෙදී ඇත. කුමාරතුංග මුනිදාසගේ ද

“බොහො සේ පොහොත්තු නම් නො දෙත්

ලැබෙනෝතින් දිලිඳුන් ගෙනුයි යමක්

දිලිඳු කම් නුදුරින් එබෙමින් සිටුත්

ආදී වශයෙන් සියලු විට දිලිඳු යනු ම යෙදූ හ. ‘ලෙල - ලෙළ’ යනුත් මෙ සේ ල - ළ දෙකින් ම එක ම අරුත දිය හැකි වදන් යුවළෙකි. මෙහි සැබැවින් ම අරුත් කිහිපයක් වේ. සෙලැවෙන, වෙවුලන, කම්පනය වන බබළන දිලෙන ආදිය එ අතර වේ. සංස්කෘතයෙහි පාලියෙහි ලීලා යනු මේ හා අනුරූප වේ.

‘ලෙල’ යැයි (දන්තජ) ‘ල’ කාරයට යෙදුණු වදන පුරාතන සාහිත්‍යයෙහි බෙහෙවින් යෙදී නැති. එහෙත් සීගිරි ගී අතර එ වදන හමුවෙයි.

“නොගතිමි ම (හ) නෙල අතනි (සි) තව ද (ද) තනෙන

‍ෙබයන්දහි රන්වත්ත ග(නි) ම් මලදම අත ලෙල

මේ ගිය 8 වැනි සියවසේ ලියන ලද්දකැ යි සැලැකේ. 10 වැනි සියවසේ ලියැවුණු සේ සැලැකෙන සියබස් ලකරෙහි ද ‘ලෙල යෙත්’ යන යෙදුම දක්නා ලැබේ.

‘ලෙළ’ යැයි (මූර්ධජ) ‘ළ’ කාරය අන්ත කොට ලියැවෙන වදන කෝට්ටේ අවදියෙහි බෙහෙවින් යෙදුණු බව සන්දේශ කාව්‍ය ආදියෙන් පෙනේ.

සමඟ පබළ කැල රැඳි පෙණ පෙළ ලතළ

තරඟ විසුළ නිල් සිඳු පළ කළ පුවළ

සුළඟට ලෙළ දළු මල් තුරු වැළ වතළ

බලග උදුළ පෙර මඟැ වන ගළ නැබළ

යන ගිරා සඳෙස් පැදියෙහි ‘ලෙළ’ යනු තෙවන පාදයේ එළිසමයෙහි ම යෙදී ඇත.

කසුන් දහන් හූ මුතු හර එකාවැළ

අඟු පලඳන පලඹත රන් වළලු ලෙළ

යැයි සිරි රහල් හිමියෝ ද කාව්‍යශේඛරයෙහි ‘ලෙළ’ යනු එළිසමයට ගනිති.

 

Comments