ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඝාතනය කර සැප්තැම්බර් 26 දාට වසර 62යි | සිළුමිණ

ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ඝාතනය කර සැප්තැම්බර් 26 දාට වසර 62යි

 

දිනය වසර 1959 සැප්තැම්බර් 25 වැනිදාය. එවකට ලංකාදීප සහ ටයිම්ස් පුවත්පත් පල කල ටයිම්ස් ඔෆ් සිලෝන් (Times of Ceylon) සමාගම පිහිටා තිබුනේ තට්ටු හතකින් යුත් කොළඹ කොටුවේ පැරණි ටයිම්ස් ගොඩනැගිල්ලේය. එදිනද සුපුරුදු ලෙස ලංකාදීප පුවත් පතේ සේවයට වාර්තාකළ රත්නපාල විතාන දෙවෙනි තට්ටුවේ පිහිටි කර්තෘ මණ්ඩල කාර්යාලයට යාම සඳහා විදුලි සෝපානයට ඇතුළු වන විටම කර්තෘ මණ්ඩලයේ දෙදෙනෙක් ඔහුගේ ඇඟේ හැපීගෙන එළියට දිවුහ.

ඉන් එක අයෙක් 1970 දශකයේ මා ලේක් හවුසියේ සේවය කළ අවධියේ දිනමිණ කර්තෘ පදවිය දැරූ පෙරමුණේ තිලකය. (ඔහු කලක් ලංකාදීප ප්‍රධාන කර්තෘ පදවියද හෙබවීය)

මේ කියන සිදුවීම වන වකවානුවේ ලංකාදීප කර්තෘ පදවිය දැරූවේ ලංකා පුවත්පත් ඉතිහාසයේ විශිෂට චරිතයක් වූ ඩී. බී ධනපාල මහතාය (මියගිය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ඩී.බී. නිහාල්සිංහ ගේ පියා).

පෙරමුණේ තිලක ඒ දිනවල ලංකාදීප ප්‍රවෘත්ති කර්තෘ විය.

කාර්යාලයට ගිය රත්නපාලට දැනගන්නට ලැබුණේ රොස්මිඩ් පෙදෙසේ අගමැති මන්දිරයේ වෙඩි තැබීමක් සිදුවී ඇති බවය. මේ ආරංචියෙන් ඇතිවූ කුතුහලය එදින කර්තෘ මණ්ඩලයේ සෑම දෙනාගේම මුහුණුවල දක්නට ලැබිණ

හැම දුරකථනයක්ම වරින් වර හඬ දුන් අතර ඉන් ඇසුවේ එකම ප්‍රශ්න වැලකි. එනම් "වෙඩි තැබීම ඇත්තක්ද? කාටද වෙඩි වැදුණේ? කවුද වෙඩි තිබ්බේ? කාටද වෙඩි වැදුණේ?" යනාදියයි. මේ කිසිවකට ඒ මොහොතේ කිසිවෙකුට උත්තර තිබුණේ නැත.

එවේලේම රොස්මිඩ් පෙදෙසට ගිය වාර්තාකරුවන්ගෙන් පසුව දැනගන්නට ලැබුණේ අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට වෙඩි වැදී රෝහල් ගත කළ බවයි. ඉන්පසු නැවත මතුවූ ප්‍රශ්න වුයේ වෙඩි තිබ්බද? වෙඩි වැදුනද? ඇයි වෙඩි තිබ්බේ? කවුද වෙඩි තිබ්බේ?" යනාදියයි.

මෙවැනි ප්‍රශ්න දුරකථනයෙන් යළි යළිත් විමසු දහස් ගණන් පාඨකයන්ට ලැබුණේ එකම පිළිතුරකි: "කරුණාකර හෙට උදේ පත්තරේ බලන්න"

වැඩි වෙලාවක් යන්නට පළමු කාර්යාලයට පැමිණි ධනපාල මහතා නොයෙකුත් අයට දුරකථනයෙන් කතා කරමින් කරුණු එකතු කළේය.

අගමැතිවරයාට ලොකු සැත්කමක් කරන්නට සූදානම් වන බවත් ඒ සඳහා ලේ දන් දෙන්නට දහස් ගණන් ජනයා හඬමින් කොළඹ ජාතික රෝහලට (එවකට මහ රෝහල) වෙත එන බව දැනගන්නට ලැබිණ.

මේ අතර කර්තෘ මණ්ඩලයට පැමිණි ලංකාදීප වාර්තාකරුවෙක් අගමැති බණ්ඩාරනායක මහතාට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ තල්දූවේ සෝමාරාම පොලිස් වෙඩි වැදී ගිලන් මැස්සක වැතිරී සිටින සේයාරුවක් ඇතුළු තවත් අදාළ පින්තුර රැසක් සහිත සේයාපට රෝලක් ධනපාල මහතාට දුන්නේය. ධනපාල මහතා ඉතා උද්දාමයට පත්කළ එම පින්තුරය එදින සවස නිකුත් කළ ලංකාදීප විශේෂ මුද්‍රණයේ මුල් පිටේ පලවිය. එම වසරේ (1959) හොඳම ඡායාරූපය බවට පත්වුයේ එම සේයාරුවයි.

එය කාර්යාලයට ගෙනැවිත් සකස් කළ මොහොතේම රත්නපාල ඇමතු ධනපාල මහතා බොරැල්ලේ ඔබේසේකරපුර පිහිටි බූස්සේ අමරසිරි හිමියන්ගේ ආරාමයට (අමර විහාරය) ගොස් තල්දූවේ සෝමාරාම නමින් භික්ෂුවක් එහි නේවාසිකව සිටියේදැයි විමසා බලා ඒ සියලු තොරතුරු අමරසිරි හිමියන්ට ආ කාරණය නොදන්වා සොයාගෙන එන ලෙසට දැන්වීය. එසේ දැනගෙන එන ගමන් මහ රෝහලට ගොස් අගමැතිවරයාගේ සැත්කම පිළිබඳ තොරතුරු හැකිනම් විමසා බලා විස්තරයක් ලියන ලෙසටද නියම කළේය.

අමර විහාර බිමේ ලොව බෞද්ධ රටවල විවිධ සම්ප්‍රදායයන්ට අනුව තැනු බුදු පිළිම ප්‍රදර්ශනය වන නව මාදිලියක චෛත්‍යයක් ඉදිකිරීමට මේ අවධියේ බූස්සේ අමරසිරි හිමියන් සැලැස්මක් ඉදිරිපත් කර තිබුණි. කලකට පෙර ලංකාදීප කාර්යාලයට පැමිණි ඒ හිමියෝ ඒ සඳහා ප්‍රචාරයක් ලබාගැනීමට විශේෂ ලිපියක් ඉරිදා ලංකාදීප පුවත්පතේ පළකර දෙන ලෙස ධනපාල මහතාගෙන් ඉල්ලා සිටියහ. ඒ ලිපිය ලිවීම පැවරී තිබුණේ රත්නපාලටය. එහෙත් වෙනත් කටයුතු නිසා ඒ කරුණ අතපසු වෙමිනි තිබුණි. එය ලිවීමේ මුවාවෙන් සෝමාරාම හිමියන් ගැන දැනගැනීමට හොඳම අවස්ථාව මෙය විය.

ඒ කාලයේ ප්‍රධාන පුවත්පත් කිහිපයකට අමතරව පුවත් විකාශනය කිරීමට තිබුණේ එකම ගුවන්විදුලි සේවයකි. ඒ රජයේ ලංකා ගුවන් විදුලි සේවයයි. රූපවාහිනී සේවා නොතිබූ අතර ස්ථිර දුරකථන (landline) සම්බන්ධතාද වැඩි දෙනෙකුට නොතිබුණි. ජංගම දුරකථන සේවා සහ අන්තර් ජාල සම්බන්ධතා ලොව කිසිම රටක නොවීය. එබැවින් අගමැතිවරයාට වෙඩි තැබීමේ සිද්ධිය ගැන යන්තමින් ලැබුණු ආරංචිය විනා ඊට වැඩි යමක් ඒ මොහොතේ දැනගැනීමට අමරසිරි හිමියන්ට හැකියාවක් නොවීය.

රත්නපාල ආරාමයට යද්දී ඒ හිමියෝ මඳක් සැතපී සිටියහ. ලංකාදීප පුවත්පතින් වාර්තාකරුවෙකු ඇවිත් වග අසූ වහාම නිදි ගැට හැර දමා සිවුර සකස් කොට හැඳ පැලඳගෙන සාලයට පැමිණි ඒ හිමියන්ට වැඳ නමස්කාර කළ රත්නපාල ඉදිකිරීමට යෝජිත චෛත්‍යය ගැන පළමුව කතාවට බැස්සේය. ඒ පිළිබඳ තරමක විස්තරයක් කළ අමරසිරි හිමියෝ චිත්‍ර ශිල්පියෙකු විසින් අඳින ලද චෛත්‍ය සැලැස්මද රත්නපාල ගේ අත තැබීය.

තමා වෙන ගමනක් යන ගමන් පන්සලට ගොඩවැදුණු බව පැවසු ඔහු චෛත්‍ය සැලැස්ම දෙස බලාසිටියදී, "අපේ අගමැතිතුමාට වෙඩි තියල තියනවා නේද මහත්තයා... රාජ අපරාධයක් නේ... අගමැතිතුමාට අමාරුද?" අමරසිරි හිමියෝ හදිසියේම ඇසූහ.

"අද උදේ වෙඩි වැදිලා මම මෙහෙ එද්දී ඉස්පිරිතාලෙට ගේනවා මිසක් වැඩි විස්තර දන්නෙ නැහැ" යි රත්නපාල පිළිතුරු දුන්නේය.

යෝජිත චෛත්‍ය ගැන හොඳ ලිපියක් ලියා දෙන්නැයි රත්නපාලගෙන් අමරසිරි හිමියන් ඉල්ලා සිටින අතරේ වාර්තාකරු තමන් එහි පැමිණි සැබෑ කරුණ සැහැල්ලුවෙන් ඉස්මතු කළේය.

"තල්දූවේ සෝමාරාම හාමුදුරුවෝ නැවතිලා ඉන්නේ මේ ආරාමේ නේද?" ඔහු ඇසු විට අමරසිරි හිමියෝ කිසි අමුත්තක් නොපෙන්වා, "කලෙක ඉඳලා සෝමාරාම හාමුදුරුවන්ගේ පදිංචිය ආන් අර කාමරයේ " යයි පරණ සිවුරු කිහිපයක් එහෙන් මෙහෙන් එල්ල තිබූ ලෑලි ගසා වෙන්කළ කාමරයක් පෙන්වූහ.

එවකට සෝමාරාම හිමියෝ බොරැල්ල ආයුර්වේද විදුහලේ අක්ෂි වෛද්‍යවරයෙකි. " මහත්තයට ඕන උදව්වක් සෝමාරාම හාමුදුරුවන්ට කියල බුද්ධරක්ඛිත හාමුදුරුවන් ගෙන් අරගෙන දෙන්න ඇහැකි." (බුද්ධරක්ඛිත ඒ වකවානුවේ කැලණි රජමහා විහාරයේ විහාරධිපති හිමිය)

සෝමාරාම හමුරුවන් ලවා ඇස් වෙදකම ගැන ලංකාදීප පුවත්පතේ වෙද පිටුවට ලිපියක් ලබා ගැනීමේ අදහසක් ඉදිරිපත් කිරීමේ ව්‍යාජයෙන් රත්නපාල ක්‍රමයෙන් තම ඉලක්කයට ළං වන්නට විය.

දිගටම කතාකළ අමරසිරි හිමියෝ: "මේ අද උදෙන්ම වෙනදාට කලින් සෝමාරාම පිටත් වෙලා ගියා. රෑ වෙනකොට තමා ආරාමෙට එන්නේ. මොහොතක් නිකම් ඉන්නේ නැහැ. මේ දවස්වල දිගටම බුද්ධරක්ඛිත හාමුදුරුවෝ මේ ආරාමෙට ඇවිත් කළුවරේම දවස් ගණන් පැය ගණන් සාකච්ඡා කළා. මොන මොනවා හරි රටේ වැඩ කටයුතු ගැන තමා."

අහිංසක අමරසිරි හිමියෝ ගත වූ අවධියේ දැක පුරුදු සිද්ධීන් රත්නපාල සමඟ විස්තර කළේ සෝමාරාම සහ පාලක පක්ෂයේ බලවතුන් සමඟ පැවති සම්බන්ධකම් මතක් කරදීමටය. මේ කතාබහ සිදුවන අවස්ථාවේ බණ්ඩාරනායක මහතාගේ ජීවිතය බේරා ගැනීමට එදා මෙරට සිටි එම්. වී. පී පීරිස්, පී. ආර්. ඇන්තනිස් ඇතුළු දක්ෂ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් මහ රෝහලේ සැත්කම් කාමරයක ලොකු සටනක යෙදී සිටියහ.

අමරසිරි හිමියන්ගෙන් ලැබුණු තේ කෝප්පය උගුරට දෙකට ගිල දැමු රතනපාල විවේක ඇති වේලාවක යෝජිත චෛත්‍යය පිළිබඳ විස්තරය ලියන්නට නැවත එන බව පවසා ආරාමයෙන් මිදුලට බැස්සේය. අමරසිරි හිමියෝද රත්නපාල සමඟ ආරාමයේ ගේට්ටුව දක්වාම පැමිණියහ. ගේට්ටුව ඔබ්බෙහි වුයේ ඔබේසේකරපුරය හරහා බොරැල්ලේ ආයුර්වේද හන්දිය ළඟට වැටී තිබුණ පටු මඟය. අමරසිරි හිමියන්ට ඇති තතු වසන් කර රතනපාල උන්වහන්සේගෙන් තොරතුරු සාර්ථකව ලබාගත් නමුත් ඒ ගැන ඔහු තුළ ඇති වුයේ පසුතැවිල්ලකි. මහත් දෙගිඩියාවෙන් ගේට්ටුවට අත තබාගෙන කල්පනා කළ ඔහු අන්තිමේදී සිය හෘද සාක්‍ෂියට පැරදුණේය. වියපත් හිමියන් දෙසට නැමුණු ඔහු උන්වහන්සේගේ දෙපා වැඳ මෙසේ පැවසීය.

“හාමුදුරුවනේ කලබල වෙන්න එපා. ඔය කියපු තල්දූවේ සෝමාරාම හාමුදුරුවෝ තමා අද උදේ බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තියල පොලිසියට අහුවෙලා ඉන්නේ!"

රත්නපාලගේ වචන පේළිය අවසන් වන්නටත් පෙර මහත් කම්පාවට පත් අමරසිරි හිමියෝ "මගේ බුදු අම්මේ, මෙහෙම අපරාධයක් සිද්ධ වුණේ අහවල් කරුමයකටද" දැයි දෑතින් පපුවට ගසා ගනිමින් දෙනෙත් උඩුකුරු කර අහසට දෝත පා විලාප නගන්නට වුහ.

බෞද්ධ සංඝයා වහන්සේ නමක් මෙපරිද්දෙන් වැලපෙන අන්දම රත්නපාල දුටු පළමු අවස්ථාව එය විය.

දුරකථනයක් ඇති ස්ථානයකට ගිය රත්නපාල ධනපාල මහතාට කතාකර සියලු තොරතුරු පවසා මහා රෝහල වෙත යද්දී දහස් ගණන් ජනයා අගමැතිවරයාට ලේ දන් දීම සඳහා පැමිණ සිටියහ.

ඒ අතර රත්නපාල රෝහල් ශල්‍යාගාරයේ සේවය කළ ඔහුගේ මිතුරෙක් සොයා ගෙන ගියේය. එවෙලේ ඔහු ආහාර ගනිමින් සිටියේය.

"අගමැතිතුමාට ලොකු සැත්කමක් කළා. දැනුයි ඉවරවෙලා වාටුවට ඇතුල් කළේ" යයි කෑම අමතක කළ ඔහු කතාවට වැටුණේය.

"තත්ත්වය කොහොමද" යි රත්නපාල මිතුරාගෙන් ඇසු විට ඔහු කීවේ, "හොඳට කතා කළා. හෙදියන් දිව දික්කර පෙන්වන්න කීවාම හොඳට දිව දික්කර පෙන්නා 'ආසියාවේ රිදී සීනුව කියන්නේ මට නේද' අහල ඇඳ වටේ හිටපු හෙදියන්ට විහිළුවකුත් කළා" යන්නයි.

කෑම පිඟාන පසෙකට කළ මිතුරා දෙදෙනාටම තේ ගෙනෙන ලෙස කැන්ටිමේ සේවකයාට නියම කර සැත්කමේ විස්තර කියද්දී රතනපාල එය ඉක්මනින් ලියාගත්තේය.

රිවෝල්වර් උණ්ඩ තුනක් උදරය සහ ඉල ඇට කීපයක් කඩාගෙන ගොස් තිබු අයුරු එක්ස්රේ කොපියෙහි කැඩපතක් සේ අගේට පෙනෙන්නට තිබු බව මිතුරා පැවසීය.

එය ඇසුණු වහාම රත්නපාල ඇසුවේ, "මොන විදිහකට හරි ඒ එක්ස්රේ කොපියක් මට දෙන්න බැරිද - පත්තරේට බ්ලොක් කපාගෙන සුනංගු නැතුව මෙතනටම ගෙනත් දෙන්නම්" යනුවෙනි.

ඊට එකඟ වූ මිතුරා "හැබැයි ගිය පයින් ආපහු ගෙනත් දෙන්න - නැත්නම් මගේ බෙල්ල ගහල යයි" පැවසීය.

තෙතමාත්තු වෙන්නට සැත්කම් කාමරයේ රහස් තැනක ආරක්ෂා කර තිබු එක්ස්රේ කොපිය ඔහු නොපෙනෙන්නට ඔතාගෙන රත්නපාල අත තැබුවේ වටපිට බලමින්ය.

එකෙණෙහිම කුරුල්ලා මිටෙන් ඇරියා සේ රත්නපාල ලංකාදීප කාර්යාලයට දිව ගියේය. ධනපාල මහතාගේ කාමරයට ඇතුළු වූ ඔහු එක්ස්රේ කොපිය කර්තෘගේ මේසය මත දිග හැරීය. එය අතට ගෙන විදුලි එළියට පා දිග හැර බැලු කතුවරයා තෘප්තිමත් බැල්මක් රත්නපාල වෙත හෙලා නිල් පැන්සලයෙන් සටහනක් දමා සේයා තහඩු හදන ශිල්පියා වෙත යැවීය. (අද මෙන් පරිගණක වලට සම්බන්ධ නවීන මුද්‍රණ ක්‍රම නොතිබූ ඒ කාලයේ යොදා ගැනුණේ ඊයම් අකුරු සහ තහඩු යොදා කළ මුද්‍රණ ක්‍රමයයි).

"මහා ශල්‍ය කර්මයක් - ඇසින් දුටු වූවකු විසිනි" යන මැයෙන් මේ පුවත ලංකාදීපයේ පළවුයේ බණ්ඩාරනායක මහතාගේ වෙඩි වැදුණු උදරයේ ඇතුළත දැක්වෙන එක්ස්රේ පින්තුරය සහ රත්නපාල ලියු විශේෂ ලිපියක් සමඟිනි. එක්ස්රේ සේයාරුව අඟල් නවයක් උස විය. එහෙත් වෛද්‍යවරුන්ගේ සියලු උත්සාහයන් නිශ්ඵල කරමින් බණ්ඩාරනායක මහතා සැප්තැම්බර් මස 26 වැනිදා අවසන් හුස්ම හෙළීය.

මෙහිදී දෛවයේ සරදමක් වුයේ ඒ මහතාගේ අභාවය ගැන ගුවන් විදුලියෙන් මුල්ම ශෝක ප්‍රකාශය කළ මාපිටිගම බුද්ධරක්ඛිත ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරු ලෙස ඊට ටික දිනකට පසු අත්අඩංගුවට ගනු ලැබීමයි. වැරදි කරුවන් ලෙස ඔප්පු වූ ඔවුන් දෙදෙනාගෙන් සෝමාරාම 1962 දී එල්ලුම් ගස් ගිය අතර බුද්ධරක්ඛිත මුලින් එල්ලුම් ගසට නියම වුවද පසුව බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමකට යටත්ව 1967 දී සිරගෙදර දීම හෘදයාබාධයකින් මිය ගියේය.

බණ්ඩාරනායක ඝාතනයෙන් දින කිහිපයකට පසු එතෙක් ආධුනික මට්ටමේ පුවත් වාර්තාකරුවෙකු වූ රත්නපාල වහාම ක්‍රියාත්මක වන පරිදි කර්තෘ මණ්ඩලීය ප්‍රවෘත්ති ලේඛකයෙකු ලෙස උසස් කරනු ලැබීය.

 

Comments