ඇමෙ­රි­කානු තානා­පති ධුර­යට ජාත්‍ය­න්ත­රයේ ශ්‍රී ලාංකික ලකු­ණක් | සිළුමිණ

ඇමෙ­රි­කානු තානා­පති ධුර­යට ජාත්‍ය­න්ත­රයේ ශ්‍රී ලාංකික ලකු­ණක්

 

සර ගණනාවක් තිස්සේ මෙරට ආණ්ඩු කීපයක ප්‍රධාන ඇමති තනතුරු දැරූ මහින්ද සමරසිංහට මෙවර පාර්ලිමේන්තුවේ කිසිම ඇමති තනතුරක් හිමිව නොතිබුණි. ඔහු පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටියේ නිකන්ම මන්ත්‍රීවරයෙකු වශයෙනි.

තමාට රට වෙනුවෙන් තම හැකියාවන් පෙන්විය හැකි අවස්ථාවක් ඔහුට උදා වූයේ එවන් පසුබිමක් තුළය. ඒ ඇමෙරිකාවේ සහ මෙක්සිකෝවේ තානාපති පදවිය බාර ගැනීම සඳහා ඔහු ලද ආරාධනාවය. ඒ සඳහා මෙවර කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනාගෙන් අටවැනියා වූ මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වීමට නියමිතය. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු වරම් ලැබීමට නියමිතව සිටිනුයේ කළුතර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ නව වන ස්ථානය හිමි කරගෙන සිටින මදුරාවල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු මෙන්ම බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකුද වූ ලලිත් වර්ණකුමාරය.

එසේ නම් ඇමෙරිකාවේ හා මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම ලබන මේ මහින්ද සමරසිංහ නම්වූ දේශපාලඥයා හා රාජ්‍ය තාන්ත්‍රිකයා කවුද?

මහින්ද සමරසිංහගේ මාධ්‍ය ලේකම්වරයකුව සිටි ව.අ. සරත් ලාල් කුමාර විසින් සංස්කරණය කරන ලදුව 2015 වසරේදි රුසියාව ප්‍රකාශකයෝ මඟින් ප්‍රකාශනයට පත් කළ ‘ජාත්‍යන්තරයේ ශ්‍රී ලාංකේය ලකුණ‘ නම්වූ කෘතිය එළිදැක්වෙන විටත් මහින්ද සමරසිංහ එවකට තිබූ රජයේ මුදල් අමාත්‍යවරයායි.

එම කෘතියට අනුව මහින්ද සමරසිංහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ලා ට්‍රොබි විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා මෙල්බෝර්න්හි සීමාසහිත ඩී.ආර්.ඒ. සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු අංශයේ ආර්ථික විද්‍යාඥයකු වශයෙන් සේවය කර ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ සේවයට අනුයුක්තව සිටි ඔහු ඕස්ට්‍රේලියාවේ කැන්බෙරාහි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් තනතුර ද, ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩල කාර්යාලයේ කවුන්සල් තනතුර ද හොබවා තිබේ. ඔහු නිත්‍ය දූත මණ්ඩල කාර්යාලයේ සේවයේ යෙදී සිටියදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේදී ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේදී ද, ජාත්‍යන්තර විදුලි සංදේශ සේවා සංගමයේදී ද, ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

ජිනීවාහී ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ සේවයේ නියුතුව සිටියදී ඔහු 1986 හා 1987 වර්ෂවල පවත්වනු ලැබූ ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ රැස්වීම් සියල්ලේම පාහේ ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළේය. 1987 දී ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ඔහු ඉදිරිපත් කළ කම්කරුවන්ගේ නිවාස පිළිබඳ යෝජනා කෙටුම්පත සම්මේලනය විසින් අනුමත කරනු ලැබීය. ඔහු 1985 සිට 1987 දක්වා ලොව විවිධ රටවල පවත්වනු ලැබූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය් කලාපීය සම්මන්ත්‍රණ රැස්වීම් ගණනාවකට සහභාගී වූයේය.

සමරසිංහ ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූයේ 1987 අග භාගයේ වැවිලි ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වශයෙන් 1988 දී පළාත් සභා දේශාපාලනය තුළිනි.

1988 වර්ෂයේ පැවැති පළාත් සභා මැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු වැන්නා ලෙස ජයග්‍රහණය කළ ඔහු හට බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය හා ආර්ථික යටිතල පහසුකම් අමාත්‍ය ධූරය පිරිනැමීය. එම ධුර කාලය ඇතුළත පළාත් සභා ඉතිහාසයේ පළමු වරට ප්‍රඥප්තීන් කිහිපයක් ඉදිරිපත් කරමින් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය හා පළාත්බද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පිහිටුවීමට ක්‍රියා කළේය. මීට අමතරව පළාත් සභාවකින් නිකුත් කරන ලද පළමු ගැසට් නිවේදනය මඟින් ආදායම් ලබා ගැනී‍මේ අයිතිය ද තහවුරු කළ අතර එම ආදර්ශය පසුකාලීනව වෙනත් පළාත් සභා ද අනුගමනය කළේය.

1994 දී ජාතික දේශපාලනයට අවතීර්ණ වූ ඔහු එවකට ආණ්ඩු පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධීකරණ ලේකම්වරයා වූයේය. එම වර්ෂයේ දී ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරාපත් කෙරුණු ඔහු ඊට පසුව 2000 සහ 2001 පවත්වන ලද මහ මැතිවරණවලදී යළිත් තේරාපත් කරනු ලැබීය. 1994 සිට 2001 දක්වා කාලය තුළ විරුද්ධ පක්ෂයේ සිටියදී ඔහු විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායකයා වූයේය. එමෙන්ම වෙළෙඳ සහ වාණිජ මුදල් විදේශ කටයුතු සහ කර්මාන්ත යන අමාත්‍යාංශවල පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවල ද ඔහු සේවය කළේය.

අන්තර් පාර්ලිමේන්තු සංගමයට තෝරා පත් කරනු ලැබීමෙන් සරමසිංහට ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව වැඩි කිරීමට අවස්ථාවක් පෑදී තිබේ. ඔහු අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන විධායක කාරක සභිකයෙකි. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ දී ඔහු පළමුවෙන්ම සේවය කළේ 1996 සිට 1999 දක්වා මානව හිමිකම් පිළිබඳ කොමිෂන් සභාවේ තෝරාපත් කරනු ආදේශක සාමාජිකයකු වශයෙනි. ඉන්පසුව 1999 සිට 2004 දක්වා කාලය සඳහා එම කොමිෂන් සභාවේ ම ධුරන්ධර සාමාජිකයකු වශයෙන් පත් කෙරුණු ඔහු එහි උප සභාපතිධුරය ද දරා තිබේ.

ප්‍රධාන පෙළේ මානව හිමිකම්වේදියකු වන සමරසිංහ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්ය බළකායේ උපදේශක කාරක සභාවේ සාමාජිකයෙක් ද වූයේය. මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ පාර්ලිමේන්තු කණ්ඩායමේ විධායක සාමාජික සහ භාණ්ඩාගාර තනතුරු ද ඔහු දරා තිබේ.

ඔහු 2003 ජනවාරි මාසයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාවේ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති ධුරය සඳහා ඒකච්ඡන්දයෙන් තෝරාපත් කරනු ලැබීය.

මේ කාලය තුළ දී ජිනීවා අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මානව හිමිකම් කමිටුවේ සභාපති ධූරයට විවිධ රටවල පාර්ලිමේන්තු 164ක නියෝජිතයන්ගේ ඡන්දයෙන් තේරී පත් වූ ඔහු ජාතික හා ජාත්‍යන්තර මානව හිමිකම් ක්ෂේත්‍රය තුළ විශාල සේවාවක් කිරීමේ අවස්ථාව උදා කර ගත්තේය. මානව හිමිකම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් සිටිය දී මියන්මාර්හි අවුන්සාන් සුකී හා මැලේසියාවේ අනවර් ඉබ්‍රාහිම් වැනි ජාත්‍යන්තර දේශපාලන, නායකයන්ගේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පෙනී සිටීමට ක්‍රියා කළේය.

2004 වසරේ අප්‍රේල් පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී හතරවන වරටත් පාර්ලිමේන්තුවට තේරීපත් වන ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත් විය.

උතුරේ මානුෂික මෙහෙයුමේ ජයග්‍රහණය මොහොතකට හෝ පමා නොකරන්නට ජාත්‍යන්තරයේ දී ලබා දිය යුතු සහාය නොපිරිහෙළා ලබාදීමට අමාත්‍ය මහින්ද සමරසිංහගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායම ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයේ දී හා වෙනත් ජාත්‍යන්තර සංවිධානවලදී මෙන් ම බලවත් රටවල රාජ්‍ය නායකයන් හමුවේ ප්‍රබල පරිශ්‍රමයක් දැරුවේය.

නැඟෙනහිර අවතැන් වූ ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබා නොදෙන බවට එල්.ටී.ටී.ඊ. ය හා ඔවුන්ට හිතවාදී කොටස් ජාත්‍යන්තරයේ මතයක් ඇති කරන්නට උත්සාහගත් අවස්ථාවේදී, එහි සත්‍යතාවයක් නැතැයි පෙන්වා දීම සඳහා තානාපතිවරුන් පස්දෙනකු (ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය හා ජපානය) හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් සමඟ මඩකලපුවේ කළ සංචාරයේදී එල්.ටී.ටී.ඊ. යෙන් එල්ල වූ මෝටාර් ප්‍රහාරයේදී අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිසේ ජීවිත බේරුණේ අනූ නවයෙනි.

ඒ 2007 පෙරබවාරි 27 වැනිදායි. හෙලිකොප්ටර් යානය ගුවන් ගතවීමට මොහොතක් තිබියදී යම් අසනීප තත්ත්වයක් නිසා යැයි කියමින් කැනඩාවේ මහ කොමසාරිස් ඇන්ජලා බොග්ඩාන් හෙලිකොප්ටර් යානයෙන් බැස ගොස් තිබුණි. හෙලිකොප්ටර් යානය මඩකලපුව වෙබර් ක්‍රීඩා පිටියට පහත් කළ අවස්ථාවේ කොටින්ගේ එම මෝටාර් ප්‍රහාරය එල්ල විය.

“එය ඉතා බිහිසුණු අවස්ථාවක්. මෙම ප්‍රහාරයෙන් ඇමති මහින්ද සමරසිංහත්, ඉතාලි තානාපති ජියෝ මරියානි, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෆෙඩ්රික් ලියොන් යන මහත්වරුන් ද, ජර්මන් හා ඇමෙරිකානු තානාපතිවරුන් ද සමඟ මා ඇතුළු කීප දෙනෙකු ද තුවාල ලැබුවා“ යැයි එම අවස්ථාවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ වීඩියෝ ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරමින් සිටි එරංග ගුණවර්ධන සිළුමිණට කීය.

තවත් දින කීපයකින් ඇමෙරිකාවේ හා මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්ව යන මෙරට කෘතහස්ත දේශපාලඥයකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ මහින්ද සමරසිංහ සිවු දරු පියෙකි.

 

මහින්ද වෙනුවට පාර්ලිමේන්තු යන ලලිත් වර්ණකුමාර

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් සමුගත් මහින්ද සමරසිංහ වෙනුවට ඊළඟට පාර්ලිමේන්තු වරම් ලැබීමට නියමිතව ඇත්තේ කළුතර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ නව වන ස්ථානයට මනාප ඡන්ද 46,542ක් ලබා ගත් වාද්දුවගේ ලලිත් වර්ණකුමාර නොහොත් කවුරුත් අමතන ‘දයාබර මංජු‘ යි.

හොරණ රෙමුණ ප්‍රදේශයේ පදිංචි වාද්දුවගේ ජිනදාස සහ ලොකුපතිරගේ දමයන්ති සේපාලිකා යුවළගේ පිරිමි දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලේ ලලිත් වර්ණකුමාර දෙවැනියාය. ඔහුගේ වැඩිමහල් සහෝදරයාව දෙමාපියන් සසුනට පූජා කර තිබියදී භීෂණ සමයේ එම හිමි නම අතුරුදහන්ව තිබුණි. පවුලේ තුන්වන සහෝදරයා යුද හමුදා කොමාන්ඩෝ සෙබළකු වූ අතර ඔහු යුද සමයේ රට දැය වෙනුවෙන් ජීවිත පූජා කර තිබුණි.

බොහෝ සමාජ සේවා කටයුතුවල නිරතව සිටි ලලිත් වර්ණකුමාර , නිර්මල කොතලාවල බුලත්සිංහල ශ්‍රීලනිප සංවිධායකවරයාව සිටියදී 2006 වසරේ මදුරාවල ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වී ජයගෙන එහි උප සභාපති තනතුර හෙබවීය. ඉන්පසු 2009 සහ 2014 වසරවලදී පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණවලදී ජය ගෙන දෙවරක්ම පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.

2020 මහ මැතිවරණය සඳහා ඔහු කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මුල්වරට තරග කළේය. කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන දහයෙන් අටක්ම මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමි කර ගත් අතර ලලිත් වර්ණකුමාරට හිමි වූයේ නව වන ස්ථානයයි. අට වන ස්ථානය හිමි කරගෙන පාර්ලිමේන්තුවට ගිය මහින්ද සමරසිංහ ගෙන් හිස්වන මන්ත්‍රී අසුන ලලිත්ට හිමි වන්නේ ඒ අයුරිනි. ගයනි සබීතා සමඟ විවාහවී සිටින ලලිත් වර්ණකුමාර තිදරු පියෙකි.

 

 

Comments