ආදරණීය හෝරාවක් | සිළුමිණ

ආදරණීය හෝරාවක්

 

“මේ කරදර තවත් ඕනේ නෑ... නෑ දෙයියනේ ඕනෑ...ම නෑ!” යැයි තදින් කෑ ගැසූ ඇය එකතු කර ගත් ඇඳුම් කිහිපයක් ට්‍රැවලින් බෑගයකට පුරවා ගත්තාය. ඒවා අතර සේදූ සහ නොසේදූ ඇඳුම්ද විය. නමුත් ඒ ගැන නොසිතූ ඇය හැකි පමණ බෑගයට ඇඳුම් පුරවා සිප් එක ‘බරාස්’ හඩින් ඇද දැමුවේ : “අපේ කසාදේ ඉවරයි!” යැයි පවසමිනි.

ඇවසි අඩුම කුඩුම සියල්ල හැකි ඉක්මනින් එකතු කර ගත් ඇය කාමරයෙන් එළියට යන්නට සූදානම් වූවාය.

පෙර දින ගලවා ඉදිරි දොර අසල දමා තිබූ පාවහන් යුගල අතට ගත් ඇය හිටගෙනම එය කකුලේ පලඳවා ගත්තාය. බෑගය කරේ දමා ගනිමින් එක් අතකින් පාවහන් යුගලේ ගාංචු මග දිගට පියවමින් අනික් අතින් ජංගම දුරකථනය සමඟ ඔට්ටු වෙමින් ඇය ගේට්ටුව වෙත කාන්දමක් මෙන් ඇදී ගියාය. ඉක්බිති ඈතින් පැමිණි ත්‍රී රෝද රියකට අත දමා හනිකට එහි ගොඩ වූවාය.

“මේ එනවා අනේ ට්‍රයිෂෝ එකක නැගලා...” ඇය අතරමඟදී දුරකථනයෙන් කාට හෝ කීවාය. අඩ හෝරාවකට පමණ පසු ඇය ගමන් ගත් ත්‍රීරෝද රිය ජනාකීර්ණ හංදියක් අසල නතර වුණි. කලබලේට රියදුරාට මුදල් ගෙවූ ඇය ඉතිරි මුදල ගැනද නොතකා තාර පාර පැන අනික් පසට ආවාය.

ඒ වහාම ඈතින් යතුරුපැදියක් මතු වුණි. මුහුණ නොදිස් වන්නට හෙල්මටයකින් සැරසුන කාලවර්ණ පිරිමියෙක් එහි කර මත නැග සිටි අතර ඔහු හෙමින් ඇවිත් ඇය අසලින් නතර කළේය. ඔහු හෙල්මටය හිසෙන් ඉවත් කළේය. සිහින් දිගටි ඇගේ දෙනුවන් ප්‍රභාමත්ව දිලිසුණි.

කලබලකාරී නගරයේ පට පට හඩින් යතුරු පැදිය ක්‍රියාත්මක විය. ඔහු ප්‍රධාන පාරෙන් ඉදිරියටම විද්දේය. මඳ උණු තාර මතින් යතුරු පැදියේ රෝද කැරකවෙන්නට විය. ඇය ඔහුගේ බඳ වටා දෑත දමා ගත්තාය.

‘නව ජීවිතයක්...’ ඇය මිමිනුවාය. ඒ සමඟම ඇගේ පපුව ආදරයෙන් පිරෙන්නට පටන් ගත්තේය. සෙනෙහෙන් පිරෙන පපුව දහදියෙන් තෙමුණු ඔහුගේ පිට මැදට සුමට ලෙස තෙරපුවාය.

ළා හිරු සිය රැස් වැදලි සැරෙන් පතිත කරන්නට පටන් ගත්තෙ හරියටම ඒ මොහොතේදීය. ටිකකින් ඇගේ උරිස් තල තදින් දැවෙන්නට වූ බැවින් ඉහලාකාසයට නෙත් දිව ගියේ ඉබේටමය. එහෙත් හිරු පරයා අහසේ නිලක් පැතිරේ... ඒ නිල අන් කවදාවත් නැති තරම් පුළුල්ය. එ’නිල මතින් පුළුන් සුදැති වලා කැටිති ඇයව පසු කරමින් පසුපසට ඇදේ.

නගර පසුකර පැමිණි ගමන් මඟේ, මඟ දිගට මහන්සියක් ඇයට දැනුණේ නැත. පැය කිහිපයක ගමනකින් පසු මඳ විරාමයක් ගන්නට ඔවුහූ තාවකාලික නවාතැන්පළකට ඒ වන විට ගොඩ වී සිටියහ.

“කවියක් කියන්න....” ඇය කීවේ තොල් ආලේපන දෙතොල් අතරින් පරිස්සමට, ඔව් ඉතා පරිස්සමට දිවා ආහාරය ගනිමිනි.

“කවි ලියන්න මිසක් කවි කියන්න මට පුරුද්දක් නෑ.” ඔහු කලබලයෙන් බත් පිඩවල් අනමින් ගිජු ලෙස ඒවා බුදිමින්ම කීවේය.

“එහෙනම් මටම කියලා කවියක් ලියලා ඕනි.” ඇය ඔහුගේ නෙත් දෙස බලා අහිංසකව කීවේ මුහුණට වැටුණ හිතුවක්කාරී කෙස් රොදක් සීරුමාරුවට වමතේ වෙදැඟිල්ලෙන් පස්සට කරමිනි. නූතන රූපලාවණ්‍යාගාරයකින් මැදපු කෙස් ගසක් වෙදැඟිල්ල මඟුල් මුදුවේ පැටලී ‍ගියේ ඒ මොහොතේදීය. ඇය උරහිස් අකුලා පරිස්සමට එය ඉවත් කළාය.

“දැන් ඔය මුද්ද ගලවන්න කාලේ හරි...” ඒ දර්ශනය දුටු ඔහු කීවේ කුකුල් අණ්ඩක ඇට මිදුලු සද්ද දෙමින් සූප්පු කරමිනි.

“හ්ම්... ඒකත් හරි!” යැයි කී ඇය වමත ඔහු වෙත දිගු කළාය. ආහාර බුදිමින් සිටි දකුණු අතින්ම මඟුල් මුද්ද ගැලවූ ඔහු එහි බර වමතෙන් බලා ඉක්බිති ඩෙනිම් කලිසමේ ඉහළ කෙටි පොකට්ටුවේ දමා ගත්තේය.

“ඔයාගේ කවි හරිම ලස්සනයි අනේ... පුදුම තරම් ලස්සනයි. කෙල්ලො කීදෙනෙක් නම් ඔයා ගැන බලාපොරොත්තු තියා ගන්න ඇතිද නේද? ඒත් ඔයාව අන්තිමේදී ලැබුණේ මට. මම ලකී, ගොඩාක් ලකී... බැඳපු ගෑනියෙක් වෙලත් ඔයා මටනේ කැමති වුණේ...” ඇය කවියාගේ කවිනෙත් වෙත කිඳා බැස කීවාය.

ඔහු නිකට අතගාමින් සිවිලිමේ කැරකෙන විදුලි පංකාව දෙස බැලුවේය. එය නොනැවතී කැරකෙන්නේය. එය කැරකෙන වේගයට පෙති දෙකක් ඇති වග පවා නොපෙනේ. තනිකරම සුදුපාට රවුමක් සේ දිස් වන්නේය. පෙති දෙකක් වෘත්තයක් සේ පෙනෙන අපූරුව, ඔහු කල්පනා කළේය.

“කවි ලියන්න කියන්න නෙමෙයි ඔන්න, අද අපිට ගොඩාක් ‍වැඩ තියෙන දවසක්.” සිවිලින් පංකාවෙන් දෑස් ඉවතට ගෙන ඔහු කීවේ කාමුක බැල්මක් හෙළමිනි.

ඔවුහූ එකිනෙකා දෑත් පටලවා අවන්හලෙන් නික්මී නැවතත් යතුරු පැදියට ගොඩ වූහ. ඔවුනට පිටුපසින් හිරු ගින්දර විසි කරමින් බැස යමින් සිටියේය.

කළුවර වැටෙත්ම බටහිර අහසේ පැහැය වෙනස් විය. එතෙක් නිලට තිබුණු අහස රතු විය. ඒ ජ්වලිත රතටත් ඇය ප්‍රිය කළාය. “අර බලන්න, අහස රතු වෙලා...” එසේ කියමින් ඇය යතුරුපැදියෙන් බිමට බැස්සාය. නමුත් අහසේ රතට දෑස් නොයැවූ ඔහු සෙනෙහසින් පීදෙන ඈ ළැමදේ කෙටි නිමේෂයකට ඉසුඹු සෙව්වේය.

“මෙහේ ගොඩාක් දුරයි... අපිට නිදහසේ සතියක් දෙකක් ඉන්න හොඳම තැන.” බැස යන හිරුගේ රක්ත වර්ණයෙන් ආලේපිත වූ ගගන තලයෙන් දෑස් ඉවතට ගෙන ඇය කීවාය.

නගරයෙන් බොහෝ දුර ඈත, නොදන්නා නිවහනක අකුණු පහරක් මෙන් පැළී ගිය සිමෙන්ති පිළක් මත ඇගේ පාවහන් හඩ කළේය. “මම මේ ගෙදර යාළුවෙකුට කියලා අමාරුවෙන් සති දෙකකට ඉල්ල ගත්තෙ. මිනිහා නිකංම දෙන්න කැමති වුණා. ඌ මගේ කවි රසිකයෙක්...” ඔහු දොරට යතුර දමා පරිස්සමට කරකවන අතරේ කීවේය.

“අහන්නකෝ.. මම ඔයාට වශී වුණේ හ්ම්ම්... අර... අර, ආදරය සියුමැලි වෙන තරමට - රාගය සුමටයි !!! කියලා ලියපු කෙටි කවියෙන්. ඒ කවිය මම ගොඩාක් සැරයක් වින්දා...” උදෑසන ගාංචු දැමූ පාවහන් හෙමින් ගලවමින් ඇය කීවාය.

“මගේ මහත්තයාගේ ආදරය සියුමැලි නෑ අනේ.... ඉතින් එයාගේ වැඩ හරිම ගොරහැඩියි. හිතේ ආදරයක් නැතිව ඇතිවන රාගය අමිහිරියි... ආදරය කියන්නෙ මොකක්ද කියලා පිරිමින්ට තේරුම් යන්නෙ හරි අඩුවෙන්... ” ඇය කීවේ කන පිටු පසින් ඇඟිලි දමා කෙස් වැටිය මනාව අවුස්සමිනි. “එදා මුළු රෑම මම ඔයාගේ ඒ කවිය ගැන කල්පනා කළා... අන්තිමේදී මම නිදා ගන්න ඔන්න මෙන්න තියෙද්දී දැක්කා ඔයා ඔන්ලයින් කියලා... ඉතින් මම හායි! කියලා ඔයාට මැසේජ් එකක් එව්වා.” ඇය කට කොනකින් කීවාය.

“ඒ හායි එක තුන් මාසයක් තුළ ආපු දුර නේද?” යැයි කියමින් ඔහු තුවායක් ඉන දවටා : “නාගෙන එන්නම් ඔයා ඇඳුම් මාරු කරන්න.” යැයි කියමින් එක්වරම නාන කාමරයට වැදුනේය.

ඇය කණ්ණාඩියෙන් මුහුණ බැලුවාය. තමාට ආදරය කරන මිනිසෙකු සමඟ ප්‍රීතිමත් දිවියක් ගෙවන්නට ඇය තීරණය කර ඉවරය. ඔහු කවියෙකු බැවින් ඒ දිවිය ප්‍රනීත වෙනු ඇත. ඔහු කවි ලියන හැටි පසෙකට වී තමාට බලා සිටින්නට හැකි වෙනු ඇත. සමහර විට පිටුපසින් සිට ඔහුගේ ගෙල බදාගෙන උරහිස් උඩින් ඒ කවි අන් හැමෝටම පෙර තමන්ට කියවිය හැකි වෙනු ඇත.

නාන කාමරය දෙසින් ඔහු කාරා කෙළ ගසන හඬක් ටිකකින් ඇසුණි. ඒ අතර බාල කැසට් ගීයක් උස් ස්වරයෙන් උරුහම්බාන හඬද ඊට එකතු වුණි.

ඇයට හිනා පහළ විය. ‘තාම පොඩි එකා නෙහ්.. හදලා නෙමෙයි, මේ පිස්සාව මකලා ගන්න වෙයි...’ තමන්ට වඩා වසර ගණනාවකින් බාල මේ කවියාට තමා මෙතරම් ආදරය කරන්නෙ ඇයිදැයි ඇයට පවා සිතා ගන්නට නොහැකි විය.

“යන්න ගිහින් වොෂ් දා ගන්න..” ඔහු එසේ කියමින්ම නාන කාමරයෙන් ආවේ තුවායක් ඉන වටා ගැට ගසමිනි. ඒත් ඇයට කෙතරම් දහදිය වුවත් දිය නා ගන්නට සිතක් නැත. ඇයට වුවමනා ඔහුගේ කවියේ නිරන්තරයෙන් ලියවෙන ගැහැනුන්ගේ දාඩිය සුවඳ ප්‍රායෝගිකවම ඔහුගේ හිතට කවන්නටය. දහදිය පිටින් ඔහුගේ පපුවේ වෙළෙන්නටය. සුවඳ විලවුන් කැවූ තම දහදිය සමඟ කවිකාර ඔහුගේ දහදිය එකට මුසු කරන්නටය. ඔහුගේ පිරිමි සුවඳ සමඟ ආදරයෙන් එතෙන්නටය.

මේ සියල්ල අවසානයේ, වයින් වාෂ්ප පරදන තම රාග සුවඳින් ඔහුගේ මන, මත් කරවන්නටය. ඒත් ඒ බලාපොරොත්තුවෙන් අඩක් ඔහු විසින් හිතුවක්කාරී ලෙස වනසා ඇත. දහදියෙන් උපන් ඔහුගේ පිරිමි සුවඳ මේ දුෂ්කර පළාතේ පාළු නිවසක නාන කාමරයෙන් එළියට කිවුල් දිය සමඟ මුසුව ගොස් ඇත. නාන කාමරයට යන්න අදිමදි කරමින් ඇය ඔහු සමීපයේ දැවටුණාය.

“ඔය ගෙල මත්තෙන් උනන

දා බිදු සේරම වියළන්නෙ

මගේ පෙම් හුස්මෙන්“

කලකට ඉහත ඔහු ලියූ, අදටත් කටපාඩම්, පුන පුනා රස විඳි කවියක් ඇය සිතින් මිමිණුවාය. ඒ රස කවිය සිහිවෙන වාරයක් පාසා ඇගේ සිත ගතට වද කළේය. ඔහුගේ පෙම් හුස්මෙන්, දැන් ගලන ගැහැනු දා බිදු වියළා ගන්නට ඇයට රිසිය, ඇවසිය, මනාපය.

එකී දා බිඳු වියළා ගත යුත්තෙ නාන කාමරයකින් ගලන කෙහෙල්මල් කිවුල් දිය මලකින් නොවේ... නැත, එය වියළා ගත යුත්තෙ ඔහුගේ පෙම් හුස්මෙන්ය. ඒ ආශ්වාසයෙන්මය. ඒ උණුසුම් ප්‍රාශ්වාසයෙන්මය. “ඔයාගේ අර කවියට ‍මම ගොඩාක් කැමති...” ඉවසා බැරිම තැන ඇය කීවාය.

“කෝකටද?” ඔහු පනාවෙන් හිස පීරමින් ඇය දෙස නොබලාම බාල රැප් ගීතයක් මුමුණමින් නොසැලකිලිමත් ලෙස ඇසුවේය.

“හ්ම්ම්ම, අහන්නකෝ.... යැයි කී ඇය උගුර හෙමින් පාදා මුදු ස්වරයෙන්. “ඔය දා බිඳු වියළන්නෙ මගේ පෙම් හුස්මෙන් !!! යැයි තාලයට කීවාය. “ඒ කවිය කියවලා මම හරියට කල්පනා කළා. ආදරයයි රාගයයි වෙනස් අනේ... ගැහැනු අපිට සෙක්ස් ඕනි නෑ. පිරිමි උරහිසක හිස තියාගෙන ජීවන ගමනේ විඩාව නිමා ගන්න තියෙනවා නම් ඒකමයි සතුට. මම ඔයා එක්ක මෙහෙම ආවෙත් ඒ සතුට වෙනුවෙන්... සෙක්ස් කියන්නෙ ඔයා මට පුදන ආදරයට මම පෙරළා ඔයාට දෙන තෑග්ගක් විතරයි...එහෙම නැතිව රාගය මට අවශ්‍යම දෙයක් නෙමේ. මාව ආදරයෙන් බලා ගන්නවා නේද කවි මහත්තයො? ” ඇය හැඟීම් බරව කීවාය. ඔහුට හිනා යන්නට ආවේය.

“මේ පිස්සු නැතිව ගිහින් වොෂ් දාගෙන එනවා...” ඔහු එය කීවේ නාන කාමරයට යන පාර අතින් පෙන්වා නොරිස්සුම් ලීලාවෙන් අණක් පරිද්දෙනි. ඇය අකමැත්තෙන් ඇදෙන් නැගිට්ටාය. නැත, ඉබේ නැගිට්ටුනාය. මොහොතකින් නාන කාමරයේ දොර වැසී ගියේය. දිය මලකින් විසිරී වෑස්සෙන ස්ස්... දිය හඬක් අතරින් ඇගේ සිහින් ඉහි - ඉහි බිඳුමක් ඇසිණි.

රාත්‍රී හතේ කණිසම නාද වෙද්දී ඔහු ඇයව තුන්වරක් දූෂණය කළේය. අහස පවා ගුගුරන්නට පටන් ගත්තේ වැහි නැති හෙණ උතුරු මැද පළාතේ පුරාණ දාගැබ් අසලට පතිත කරමිනි.

හිටිහැටියේම වැව් බැම්මක් පුපුරා ගියේ දිය ඉරක් කාන්දු කරමිනි. තව සතියක් දෙකක් ගෙවෙන විට බැම්ම පූර්ණ වශයෙන්ම බිඳී යන්නට ඒ දිය ඉර ප්‍රමාණවත්ය. කර්කෂ පොළොවේ වියළී ගිය කොළ රොඩු හදිසියේ ගිනි ගත්තෙ කෙසේ දැයි කාටවත් කිය නොහැකි විය. සුළං අතට ගින්න හෙමින් පැතිරී ගියේය.

සොබාදහමේ මේ සියලු දේවල් වන අතරේ බොරලු පොළොවේ ගැස්සී ගැස්සී තුන්සක් රියක් මතු වුණේය. එහි පසුපස ආසනයේ බඩ මහත වී මුදලාලියෙකු දපා තියා සිටී. ඔහුගේ බරට තුන්සක් රියේ රෝද යට වැලි කැට කුඩුව ගියේය.

ඔහු ගල් අරක්කු බාගේ බෝතලයක් සෝඩා නොමුසුව පානය කළේ බෝතල් කට බොල්ලෑ දත් පිරි කටට කිට්ටු කර ගුඩු ගුඩුස් යනුවෙනි. ඒ අතර විටින් විට කඩල අහුරක් කටේ දමා ගත්තේය. ත්‍රීවීලරය ඈත පාළු නිවසක් දෙසට ඇදුනේය. ටිකකින් එහි මිදුලේ නතර විය. සරමක් ඇදගත් බඩ මහත මුදලාලි වැනි වැනී ත්‍රී රෝද රියෙන් බිමට බැස්සේය.

“මල්ලි! කියපු බඩු කෑල්ලම නේද?” පිළේ ඉදගෙන ජංගම දුරකථනය සාක්කුවෙන් එළියට ගනිමින් සිටින තරුණයා දෙස බලමින් මුදලාලි සිගරට්ටුවක්ද පත්තු කරගෙන පැළී ගිය පිළට ගොඩ විය. “මෙන්න කියපු ගාන තියෙනවා... දහයක් නේ?” යැයි කියමින් ඔහු පන්දාහේ කොළ දෙකක් කවියාගේ සාක්කුවට දැම්මේය. ඔහුගෙන් සිගරට්ටුව ඉල්ලා ගත් කවියා තමන්ගේ සිගරට්ටුව ඉන් දල්වාගෙන ජංගම දුරකථනය ගෙන මුහුණු පොතට එබුණේය.

‘අලුත් කවියක් දාන්න කාලේ හරි...’ ඔහු එසේ සිතමින් ගමන් මල්ලෙ සගවාගෙන උන් පරණ කවි අත්පිටපතක් ගෙන එහි හතලිස් තුන්වෙනි කවිය සුදුසු යැයි සිතමින් එය තම මුහුණු පොතේ අකුරු කරන්නට පටන් ගත්තේය.

ආදරය කියන්නේම භාවනාවක්

ඒ භාවනාවට සම වැදෙන්න !!!

රාගය කියන්නේම ගින්දරක්

ඒ ගින්දරෙන් ඈත් වෙන්න !!!

“පලයන් තිරිසනා.... මාව මරාගෙන කාපන්. මගේ මිනිය උඩින් තමා උඹට මේක කරන්න වෙන්නෙ...” අවට පරිසරයේ එතෙක් පැවති ගොළු නිසැලියාව මොහොතකට බිඳිනි. ඉක්බිති උගුර ඉරී යන තරම් තදින් කෑ ගසන ගැහැනියකගේ දුක්ඛදායක හඩක් ඒ පාලූ නිවස අභ්‍යන්තරයෙන් විලාපයක් සේ හඩ තලාගෙන අවට පරිසරයට පැතිරී ගියේය.

“වහපිය බැල්ලි කට! මල්ලි... මේ ගෑනිගේ කට වැඩියි හොඳේ.” නිවස අභ්‍යන්තරයේ සිට මිදුලට ඇසෙන තරම් හඬකින් වී මුදලාලි කීවේය.

නලවැල් වියරු වැටී කඳු ගැට උඩින් ඇදී ආවේය. හිරු මුහුදේ ගිලී බොහෝ වේලාවක් ගත වී ඇත. නැඟෙනහිර අහසේ ඝනාන්ධකාරය තුළින් අව අටවක යාංතමට දිස් වූවත් ඒ වහාම නොපෙනී ගියේ හිතුවක්කාර සුළඟට කීකරු වලා රොදකට නතු වීම නිසාය.

ඔහු තෙවෙනි පද පේළිය අකුරු කරන්නට පටන් ගත්තේය.

ආදරය නොමුසු රාගය කියන්නේම මරණයක් නෑ ඒක අපායක්.....

ඔහු මඳක් කල්පනා කළේය. බාහිර සද්ද ගැන තැකීමක් ඔහුට නැත. ඔහු සිගරට්ටුවෙන් උගුරු කිහිපයක් ඇද අළු දල්ල කඩා අවසාන පද පේළිය ටයිප් කරන්නට පටන් ගත්තේය.

ආල වඩන රාගය කියන්නේම සැපතක්

නෑ ඒක දෙව් විමනක්.......

ඔහුව කවිය ලියා අවසන් කළේය. මෙහොතකින් එය මුහුණු පොතේ දිග හැරුණි. සිංහල අවුරුදු නැකතට රතිඤ්ඤා පත්තු වෙනවා සේ රතු හදවත් වෑස්සෙන්නට විය. කවියට ප්‍රතිචාර නොනැවතී වැටුණේය. ඒ ප්‍රතිචාර අතරේ පවුල් ගැටුම් ඇති ගැහැනු ඉවෙන් සොයන්නට ඔහුගේ නෙත හෙමින් වෙහෙසවන්නට විය. රුවැති මැදිවියේ ගැහැනියකගේ ආදරණීය සටහනකට ‘ස්තූතියි අක්කෙ...’ යැයි කියමින් මුහුණු පොතේ ඇති ඇගේ විස්තර මහත් වුවමනාවෙන් බැලුවේය.

ඔව්, ඔහු අලුත් දඩයමකට සූදානමිනි !!!

ඒ අතර ඔහුගේ දුරකථනයද නාද විය. ‘ඇපොයිමන්ට් එක දහයට.’ ඔහු කීවේය. ඉක්බිති මඳ වේලාවක් සිට හදිසියේ යමක් මතක් කර : “හැබැයි ණයට නම් බෑ මුදලාලි. ගියපාරත් හිඟ පන්දාහක් තියෙනවා, ඒ පහට අමතරව තව දහයක් අරගෙන එන්න. විශ්වාස කවුරු හරි ඉන්නවා නම් එක්කන් එන්න. පොඩි ඩිස්කවුන්ට් පාරක් දෙන්නම්.”

මේ අතර නැති වූ කවි අත්පිටපතක් ගැන සොවින් තැවෙන ගම්බද අහිංසක කවියෙකු තැබෑරුමකට වැදී මධුවිත පානයේ යෙදෙමින් සිටී.

වසරකට පමණ පෙර කවි අත්පිටපතක් රැගෙන කොළඹට පැමිණ පොත් ප්‍රකාශකයන් සොයා තැනින් තැන ගිය කාලය ඔහුට සිහි විය.

ඒ කාලය සිහි කරමින් ඔහු දුකෙන් වෙරි වුණේය. එහි වූ රස පද සිහිකරමින් හිතෙන් වැළපුණේය.

දෑසින් කවි කඳුළු කඩා සැලුවේය. කවි පොතක් යැයි කී සැණින් පොත් ප්‍රකාශකයන්ගෙන් ප්‍රතික්ෂේප වන අයුරු අසෝක වීදුරුවේ තුෂාර බින්දු අතරින් ඔහුට මැවී පෙනුණේය.

ඒ තුසර බිඳු හැම එකකින්ම ඔහු දුටුවේ පොත් ප්‍රකාශකයන්ගෙ ව්‍යාපාරික මුහුණත් තහඩුයි. බස් රථවල සහ දුම්රියේ තැනින් තැනට යද්දී එක් අවාසනාවන්ත දිනක ‍අත්පිටපත නැති විය. එය යළි ලැබුණේ නැත. කිසිදා ලැබෙන්නේද නැත.

 

 

Comments