අත්දැකීම්වලින් වියුක්ත ව නිර්මාණකරණයේ යෙදෙන්න බෑ | සිළුමිණ

අත්දැකීම්වලින් වියුක්ත ව නිර්මාණකරණයේ යෙදෙන්න බෑ

 

කොතරම් කතා කළත් අත්දැකීම් කෙදිනකවත් ඉවර නොවේ. ජීවත් වීම ම අත්දැකීමකි. කාලය හා අවකාශය විසින් ඊට වෙනස් අර්ථකතන දෙනු ලැබේ. ඉපදුණු දිනයේ පටන් මැරෙන මොහොත දක්වාම විවිධ අත්දැකීම් අප වින්දනයට, විඳවීමට ලක්කරනු ලබයි.

 

අත්දැකීම කුමක් හෝ ඉඟි කරයි ද; සංඥා කරයි ද; ආවරණ, අනාවරණ කරයි ද යන්න ගැන කලින් කිව නොහැකිය. අත්දැකීම් තීව්‍ර හෝ මොට කරන්නේත්, නොතකා හරින්නේත් නිර්මාණකරුවා විසිනි. කලාව වනාහි හුදෙක් ප්‍රතිමා, පින්තූර, නවකතා, කෙටිකතා හෝ කවි පමණක්ම නොවේ. මේ සියල්ල තේරුම් ගැනීමේ බුද්ධිමය චමත්කාරය කලාව ය. කලාව යනු සමස්ත දැකීම යැයි අප කියන්නේ ඒ නිසා ය. කලාකරුවාගේ ප්‍රධාන අරමුණ විය යුත්තේ කුමක්දැයි සදාකල්හිම ප්‍රශ්නයක් ලෙස අප මනසෙහි ගොඩ නැඟෙන්නේ ය. අපට සිතෙන්නේ කලාකරුවාගේ ප්‍රධාන අරමුණ වන්නේ අත්දැකීමට සජීවි බවක් ලබා දීම කියා ය. අප සැමට ඇති අත්දැකීම කලාකරුවා විසින් සජීවීව අනෙකාගේ අත්දැකීමක් බවට ද පත් කරයි. නැත්නම් එය චිත්තාකර්ෂණීය දෙයක් බවට පත් කරයි. කවියා, නවකතාකරුවා, චිත්‍ර ශිල්පියා, මූර්ති ශිල්පියා ඈ මේ ඕනෑම කලාකරුවකු වස්තු බීජවලට; වස්තුවට යමක් කරයි.

පාඨක හෝ රසික මනසෙහි සදාකාලිකව රැඳී සිටින චරිත නිර්මාණය කරන කෙටිකතාකරුවෝ හා නවකතාකරුවෝ එකී චරිතවල අත්දැකීම පොදු පාඨක අත්දැකීමට සමාන කරති.

මහින්ද රත්නායක නිර්මාණකරුවා ද ස්වකීය අත්දැකීම් පාඨක ඥානණය පිණිස නිර්මාණය කරන්නෙකි. සීරුමාරුවෙන් ඇරඹෙන ඔහුගේ නවකතා කලාව අක්මුල් විහිදා අතුපතර විහිදමින් වැඩෙන්නේ ජීවිත පරිඥානය මුසු වූ ප්‍රතිභාවකිනි. විවිධ සම්මාන උලෙළවල බෙහෙවින් කතාබහට ලක්වෙන ඔහුගේ නිර්මාණ පිළිබඳ කතා කිරීමේදී ඔහු අවධාරණයට ලක්කරන කරුණක් වෙන්නේ අත්දැකීම්වලින් වියුක්ත ව කිසිවිටෙකත් නිර්මාණකරණයේ යෙදිය නොහැකි බව ය. අප සෑම සියලුදෙනාම දකින විඳින දෑ නිර්මාණකරුවා අත මටසිලිටු වන්නේ පරිකල්පනීය සුන්දරත්වය ඊට ආදේශ වෙමිනි.

‘මගෙ පළවෙනි නවකතාව තමා ‘සීරුමාරුව’ අදටත් මට ඒක කියවද්දි දැනෙනවා සමහරක් තැන් තියනවා මාවත් පුදුම කරවන. නිර්මාණකරුවෙක්ට අත්දැකීම් ලැබෙන ක්‍රම කිහිපයක් තියනවා. තමන්ම මුහුණ දුන්න හා දෙන අත්දැකීම්, අනෙකකු මුහුණ දුන්න හෝ දෙන අත්දැකීම්, ලේඛකයා දැක්ක, දුටුව, ඇසුව, කියෙව්ව අත්දැකීම්. සීිරුමාරුවට විතරක් නෙමෙයි කොයි නිර්මාණයට වුණත් ඒ කියන විදියේ සියලු ම අත්දැකීම් හේතු වුණා කියන එකයි මගෙ අදහස. මොකද ගොඩක් අත්දැකීම් අපට අවිඥානිකවයි ඒ නිර්මාණයට එකතු වෙන්නෙ. විශේෂයෙන් කියනවා නම් සීරුමාරුව කතාවේ එන ගොඩාක් සිද්ධි, කතා මම කනින් අහපුවා. ඒ කතාව අපේ අම්මලාගෙ ඉතිහාසෙ කතාවක් කියලා මතුපිටින් නම් කරන්න පුළුවන්. හැබැයි ඒ පවුලෙ සම්පූර්ණ ඉතිහාස කතාව නෙමෙයි. ඒකෙ එන කතාව ‘සාම්ප්‍රදායික ගමක මිනිස් සමූහයකගේ සාමූහික ඒකමතියෙන් බිහි වෙන නායකයෙක් සහ නූතන යටත්විජිත දේශපාලනික තත්ත්වය විසින් ගමට ඇරලවන ඒ දේශපාලනයේ නියෝජනයක් කියන චරිත දෙකක් ආශ්‍රයෙන් ගමේ සිද්ධ වන වෙනස සහ සදාචාරාත්මක පරිහානිය සනාථ කරන්නක්. ඒ සඳහා වුවමනා කරන චරිත දෙකක් මූලික කරගෙන, මගෙ අරමුණ කරා ළඟා වීම සඳහා සකසා ගත්ත කතාවක්. මගෙ අම්මගෙ බාල සහෝදරියක් ඉන්නවා කතන්දර කියන්න හරිම දක්ෂයි. මම විශ්වවිද්‍යාලෙ පළමු හා දෙවන වසරවල ඉගෙන ගන්න කාලෙ සති අග ගෙදර ගිහින් ඒ පුංචිඅම්මලාගෙ දුප්පත් පැල් කොටේ තමා රෑ ගත කරන්නෙ. එයාගෙ බාල දුව රට කජු බදිනවා. දොඩම් බීම හදනවා. ඉතින් ඒවා කකා දොඩම් බිබී පුංචි අම්මා කියන කතන්දර අහනවා. ආන්න ඒ කතාවලින් තමා සීරුමාරුවේ චරිත මගේ ලෝකයට එන්නෙ. ඒ නවකතාවෙ ඉන්න ප්‍රධාන චරිතය මුදියන්සේ ගත්තාම මට කියන්න පුළුවන් ඒ අපේ කිරිඅත්තා; ඒ කියන්නෙ අම්මගෙ තාත්තා කියලා. හැබැයි මම එයා කවමදාකවත් දැකල නෑ එයා නැති වෙනකොට මට මාස තුනයිලු. ඉතින් ඒ නවකතාවෙ මමත් එක චරිතයක්. ඒ මුදියන්සේ මැරෙන මොහොතේ එයාගෙ ලෙඩ ඇඳ ළඟට මාස තුනක පොඩි එකෙක් ගේනව. ඒ තමා මම. ඒක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. හැබැයි මම මුලින් කීවා වාගෙ මේ නවකතාවෙ එන හැම සිද්ධියම හැමදේම ඇත්තටම සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. ඔය මම දන්න කියන කාලෙ ජීවත්ව නොසිටි කිරිඅත්තාගේ චරිතය මම නිර්මාණය කරන්නෙ මගේ තාත්තා ඉදිරියේ තියාන. මොකද මට මතක මම දන්න චරිතය තමා තාත්තා. මෙතනදි දෙයක් කියන්න ඕනෑ හොඳ නිර්මාණයක් බිහි වෙන්න නම් ලේඛකයා ඉදිරියේ එකම හෝ ජීවමාන චරිතයක් පෙනී හිටින්න ඕනෑ. නැත්නම් පාඨකයා ඉදිරියේ මවන්නෙ සහ පාඨකයා තමන් ඉදිරියේ මවා ගන්නෙ අංග විකල රූපයක්; අංගජාත එකකට එකක් ගැළපීමක් නැති රූපයක්‘

සීරුමාරුව මහින්ද රත්නායක ලියූ නවකතා අතරින් පාඨක විචාරක උභය පාර්ශ්වයේ ම බොහෝ කතාබහට ලක් වූ නවකතාවකි. ඉන් අනතුරුව ද මහින්ද බොහෝ නිර්මාණ කරන්නේ ය. ඔහු ලියූ කෙටිකතා අතරින් වීර්සාරා කෙටිකතා සංග්‍රහයේ එන ගොදුර කෙටිකතාව තමන්ට බොහෝ සමීප අත්දැකීමක් සම්පාදනය කළ බැව් මහින්ද නිර්මාණකරුවා පවසයි.

‘මම කතා කරන්න කැමතියි වීර් සාරා කෙටිකතා සංග්‍රහයේ එන ගොදුර කියන කෙටිකතාව ගැන. මොකද ඒ කෙටිකතාව මගෙ කෙටිකතා අතරේ මම බොහොම ආදරය කරන කතාවක් හින්දා. ඒකෙ එක්තරා මන්ද බුද්ධික දැරියක් උසස් පෙළ හදාරන, තමන්ට විශේෂයෙන් ඇහුම්කන් දෙන යෞවනයකු කෙරේ ආකර්ෂණය වීමක් තමා තියෙන්නේ. ඒක සැබෑ අත්දැකීමක්. මම උසස් පෙළට උඩරට නර්තනය හදාරපු කෙනෙක්. ඉතින් අපිට නැටුම් පුහුණුවීම් කෙරුණෙ පාසලේ ප්‍රධාන රැස්වීම් ශාලාවෙ. ඒ ශාලාවෙ එක කෙළවරක ඒ කියන්නෙ වේදිකාව තියන කෙළවරේ කාමර දෙකක් තියනවා. ඒ උත්සව අවස්ථාවල වේදිකාවට ගොඩවෙන නළු නිළියන්ට සූදානම් වෙන්න, තමන්ගේ කොටස එන තෙක් බලා ඉන්න තියන කාමර. ඒවායෙන් එකක් ගුරුවරුන්ගේ විවේක කාමරය වුණා. අනෙකේ තිබුණේ ආබාධිත ළමුන්ගේ පන්තිය. ඉතින් ඒ පන්තියේ ඉගෙන ගත්ත ආබාධිත දැරියක් නිතර පන්ති මගෑරගෙන දුවගෙන එනව මාව බලන්න. අපේ පන්තියේ ළමයි මට විහිළු කරනවා ‘ආං ඇවිත්!’ කියල. ඒ ළමයා මට සමීප වෙන්නෙ අනිත් අය ඒ ළමයට හිනා වෙද්දි මම ඇයට ආදරෙන් කරුණාවෙන් කතා කරන හින්දා; සුව දුක් අහන හින්දා; කන්න බොන්න දෙන හින්දා; එයාගෙ අග මුල ගැළපීමක් නැති කතාවට මම ඇහුම්කන් දෙන හින්දා. ඉතින් මම ඒ මූලික අත්දැකීම තමා කෙටිකතාවට ගන්නෙ. ආකෘතිය නිර්මාණය කරන්නෙ මම නටන්න ආසා වන්නමක් වෙන උකුසා වන්නමත් එක්ක. කෙටිකතාවට ගොදුර කියන නම වැටෙන්නෙත් ඒ වන්නමේ උකුස්සා නිසා. කොහොම වුණත් මම පාසල් යන කාලයේ මුහුණ දුන්න ඔය අත්දැකීම නිර්මාණයක් විදියට 2015 ලියවෙන්නේ මම ගමට ගිය වෙලාවක පාසලේ හිටපු විදුහල්පතිතුමා එච්. එම්. එම්. බණ්ඩාර බලන්න ගිහින් එතනදි කියවෙච්ච කතාවක් එක්ක. ඒ තමා අර අසරණ දැරිය ඒ ගමේම මදාවි කොල්ලෙක් අතින් අපහරණයට ලක් වෙලා ඇය ගැබිනියක් වුණාලු කියන ආරංචිය. ඉතින් ඔය විදියට මට පැහැදිලිව කියන්න පුළුවන් ඒ කතාවට යොදා ගත්ත උකුසා වන්නම පවා මගෙ අත්දැකීම් කියලා.

මහින්ද රත්නායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකි. හේ නිරන්තර පර්යේෂණ කරමින්, නිර්මාණකරණයේ සජීවීව නිරත වූවෙකි. අගනුවර ආශ්‍රිත බොහෝ සාහිත්යික ක්‍රියාකාරකම්වලට හේ ආගන්තුකයෙක් වුව ද නිර්මාණ ලෝකයේ සුවිසෙස් නමක් තැබූවෙකි. නවකතාව, කෙටිකතාව එකී නිර්මාණ ලෝකය ඔහුට පුළුල් ව විඳින්නට අවකාශ සැලැස්වූ නිර්මාණාද්වය ය. පාඨක ලොව කැලඹූ මාරක රිය අනතුරකට මුහුණ දුන් මහින්ද ඉන් ගොඩ ආයේ ස්වකීය සිතේ පැවැති අප්‍රතිහත ධෛර්යය හා කැපවීම නිසා ය. නිර්මාණකරුවකු තමා මුහුණ දෙන අත්දැකීම් තවත් කෙනෙකුගේ ඥානණය වෙනුවෙන් සටහන් කිරීම වගකීමක් සේ දරන්නෙකි. මහින්ද ද එවැන්නෙකි. ඔහු එකී කටුක අත්දැකීමේදී ලද දෑ පවා පාඨක අප වෙනුවෙන් ලියා තබන්නේ ය.

‘තවත් අම්බලමක් කෙටිකතා සංග්‍රහයේ ඒ නමින් එන කෙටිකතාවට හේතු වෙන්නෙ ඉතා සුළු වචන කිහිපයක්. මම ඔයාල කවුරුත් දන්න මාරාන්තික රිය අනතුරට පස්සෙ ප්‍රතිකාර කරන්න ගමේ ගෙදර ඉන්න වෙලාවෙ පිරිත් කියන්න එන මාමා කෙනෙක් කියන කතාවක්. ඒ තමා ‘අම්මා කෙනෙක්ගෙ කුසක් කියන්නෙ අම්බලමක් වාගෙ තැනක්’ කියලා. ඉතින් මං ඒ අම්බලමෙ නවාතැන් ගන්න අව්වට වැස්සට ගොඩ වෙන පිරිසක් ඒ ගම ආශ්‍රයෙන්ම නිර්මාණය කරනවා. ඒ අය තමා කතාව ගෙනියන්නේ. ඒ පොතේම තියන ‘කිරිඅම්මාවරු දනට වඩිනවා’ නිර්මාණය වෙන්නේ මං වෙනුවෙන් සංවිධානය කරපු කිරිඅම්මා දානෙකට ආව සහ ඒ සිද්ධි ආශ්‍රිත කිරිඅම්මලා දැකීමෙන්‘

මගේ ‘වානරායණය’ නවකතාව අමුතුම අත්දැකීමක් කීව හැකියි. ඇත්තටම ඒක පර්යේෂණයක් කිවුවොත් හරි. මම සාමාන්‍යයෙන් මාස දෙක තුනකට සැරයක් විශ්වවිද්‍යාලෙ ළමයි එකතු කරගෙන කොහේ හරි ගමනක් යනවා. එයාලගෙ ගෙවල්වලට ගම්වලට, තව තව එක එක පැතිවලට, එයාලගෙ සීයලගෙ, ආච්චිලාගෙ, අම්මලා, තාත්තලාගෙ මළ ගෙවල්, දානෙ ගෙවල්, තව සහෝදර සහෝදරියන්ගෙ මඟුල් ගෙවල්වලට එහෙම. ඒරාවුර්, මීමුරේ, යාපනේ, දඹානෙ වාගෙ ගමන් ඒ අතරෙ තියෙනවා. තව දෙපාර්තමේන්තුවේ වසර තුනේම ළමයි එක්ක වාර්ෂික අධ්‍යාපන චාරිකා යනවා. මම තමා ඒ දවස්වල ඒවයෙ මූලිකත්වය ගන්නෙ. තන්තිරිමලේ, රූමස්සල, බත්තලංගුණ්ඩුව වගේ ගමන් එහෙම ගියපුවා. ඉතින් එහෙම ගියපු ගමනක් තමා හසලක උඩගල්දෙබොක්ක කියන ප්‍රදේශය.

අපි යන්නෙ හසලකට. ඒ ආශ්‍රිතව ජීවත් වෙන ළමයෙක් ඒ ගමේ ඉස්කෝලෙත් එක්ක කතා කරල ඒ ඉස්කෝලෙ පුස්තකාලෙට පොත් ටිකක් එහෙම දීල ඒ අය සමඟ දවස් දෙකක් ගත කරල සංස්කෘතික සැඳෑවක් එහෙම පවත්වලා එන්න යන ගමනක් මේක. ඉතින් ඒ ගියාම දැක්කා ඒ ප්‍රදේශයේ ඉන්නෙ අපි නියෝජනය කරන ප්‍රධාන සංස්කෘතියට වෙනස් අමුතුම පිරිසක් කියලා. එයාලා දැක්කාම හිතෙනව නිකං අපි ඉතිහාසෙ පහු කරගෙන ආපු අවස්ථාවක තමා තාම ඒ අය ඉන්නෙ කියලා. අපිට පොඩි කාලෙ ඉඳන් උගන්නලා හුරු කරල තියන දෘෂ්ටිවාද හින්දා ඒ හැඟීම ඇති වෙන එක වළක්වන්න බෑ. ඒ වචන පාවිච්චි කරන්න අකමැති වුණත් පාඨකයාට තේරුම් ගන්න ඒ වචනම යොදනවා නං තාමත් යම් කිසි ගෝත්‍රික ලක්ෂණ දරන පිරිසක් කියල කිව හැකියි.

සරලවම කීවොත් ඒ අය ලංකාවෙ ජනාධිපති කවුද කියල ඇහුවට දන්නෙ නෑ. ඉස්කෝලයක් තිබුණට ඒකෙ ළමයි නෑ. ඔහෙ සතියකට එක දවසක් වගේ තමා එයාල ඉස්කෝලෙ යන්නෙ.

ඉස්කෝලෙ හිටිය විදුහල්පතියි එක ඉස්කෝලෙ මහත්තයයි. ඒ දෙන්නත් සතියකට දවසයි ඉස්කෝලෙ ඉන්නෙ. මේ ගම තියෙන්නෙ හසලක ඉඳලා හැතැක්ම 6ක් උඩ කන්දෙ. අර පාසලේ ගුරුවරු දෙන්නා නගරෙ ඉඳන් එක දවසක් ගිහින් එන්නෙ. ගම්මු කලාතුරකින් අවස්ථාවක නගරෙට යනවා ලුණු ටිකයි කරවල කෑල්ලකුයි හොයා ගන්න. එච්චරයි. අනිත් හැමදේම ගමෙන් කැලෙන් හොයා ගන්නෙ. ඉස්කෝලෙ යන ගෑනු ළමයි ඉන්නවා; අවුරුදු දොළහෙ දහතුනේ අය; ළමයි හම්බ වෙච්ච. ඒ ගම ඇතුළෙම තමයි විවාහ සිද්ධ වෙන්නෙ. විවාහය කියන්නෙ එකට ජීවත් වෙනවා. මේ ලේ ඥාතිත්ව විවාහ නිසාම බිහි වෙන ළමයි ආබාධිතයි. ඒ අතරෙ පිරිමි ළමයි ඉන්නවා කන්දෙන් බැහැලා ඇවිත් හසලක පන්සලේ මහණ වෙලා ඉගෙනගෙන රස්සා කරන. ඒ අය නැවත කන්ද නැගල ගමට යන්නෙ නෑ; නගරෙම පදිංචි වෙනවා.

ඉතින් ඒ පිරිස ගැන කරපු අධ්‍යයනය විසින් තමා වානරායණය ලියවන්නේ. ඇත්තටම ඒකෙ ඉන්න කිසිම චරිතයක් මම දැක්ක දුටුව චරිත නෙමෙයි. ඒ චරිත ඒ සමාජයෙන්ම උත්පාදනය කර ගත්ත චරිත. මේ කෘතිය විචාරක අවධානයට ලක් නොවුණු තරම්‘

මහින්ද රත්නායක නිරන්තරයෙන් උත්සාහ කරන්නේ තමා දකින අවට සමාජයේ පවතින දෑ මඟින් ස්වකීය නිර්මාණකරණය ගොඩ නඟන්නට ය. ඔහු ඊට අවශ්‍ය කරන පරිකල්පන ලෝකය ගොඩ නඟන්නේ කතාවට අවැසි පරිදි ය. ඔහුගේ නිර්මාණ ඇතුළත සිටින කිසිම චරිතයක් වැරදියි කියා නම් කළ හැක්කක් නැත. මේ ලෝකයේ කිසිදු කෙනෙක් වැරදියි කියා තවත් අයකුට ඇඟිල්ල දිගු කළ නොහැකි බව පාඨක ඔබ දනී.

පොදු මිනිස්කමේ දුර්වලතා මිස වෙන අන් යමක් මිනිසුන් නොකරයි. ඒවා පෞද්ගලික ගැටලු සේ දකිමින් නිග්‍රහ කිරීම හෝ විවේචනය කිරීම නොරිසි වෙන්නේ ඒ නිසා ය.

මහින්ද රත්නායක නිර්මාණකරුවා මේ කරමින් සිටින්නේ මිනිස් සිත කියැවීමෙහි ය. නිර්මාණකරුවකුගේ ආධ්‍යාශය විය යුත්තේත් අනේකවිධ මිනිස් චර්යා අතරින් වඩාත් හෘදය සංවේදී දෑ තෝරා ගැනීම ය. මහින්ද පොදු සමාජයේ බොහෝ කලකෝලාහල විවේචන පිළිබඳ නොතකා සිටිමින් මේ කරන්නේ එකී වගකීම ය. අනුන් කියවන සමාජයක් වෙනුවට තමා තමන් කියවන සමාජයක අවශ්‍යතාව පිළිබඳ මෙකී සවිඥානික වීම නිර්මාණකරණයේ දී අත්‍යවශ්‍ය සාධකයකි.

Comments