මිනිසුනේ නොමිනිසුන් නොවනු මැන | සිළුමිණ

මිනිසුනේ නොමිනිසුන් නොවනු මැන

 

ලකට පෙර ස්වර්ණවාහිනියෙන් විකාශය වූ “මුඩු බිමක අස්වැන්න - ගොළු තාත්තා“ යන ටෙලි නාට්‍ය සම්මානයට පාත්‍ර වූ විශිෂ්ට නිර්මාණයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එකී ටෙලි නාට්‍යයේ ගොළු තාත්තාගේ චරිතයට විශිෂ්ට රංගන දායකත්වයක් සැපයූවේ ප්‍රවීණ රංගන ශිල්පියකු වන මහේන්ද්‍ර පෙරේරා ය. මෙම ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ නොමඳ අවධානය හා ආකර්ෂණය දිනා ගනු ලැබූවද එය බිහිරි පුද්ගලයන්ගේ සතුටට නම් පාත්‍ර වූයේ නැත. ඊට හේතු වූයේ ටෙලි නාට්‍යයේ නාමයට “ගොළු තාත්තා“ වචනය භාවිත කිරීමයි.

 

“අපි ශ්‍රවණාබාධිත සහ කථනාබාධිත පුද්ගලයන් බව ඇත්ත. ඒත් අපේ ආබාධය හුවා දක්වන විදිහට ගොළුවා කියලා අපිව හඳුන්වනවාට අපි කැමති නැහැ. අපේ සංඥා භාෂාව ගොළු භාෂාව කියලා හඳුන්වනවාට අපි කැමති නැහැ. අපිව බිහිරි, ශ්‍රවණාබාධිත කියලා හැඳින්වීම වරදක් නොවෙයි. ආබාධිත වුවත් අපි ආත්ම ගෞරවය රැකගත යුතුයි. අපේ අඩුපාඩුව සමාජයේ විහිළුවකට, අවමානයකට ලක් විය යුතු නැහැ. අනිත් පුද්ගලයන්ට වගේම අපිටත් සමාජයේ අයිතිවාසිකම් තිබෙනවා.“ යනුවෙන් පැවසුවේ ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සභාපති බ්‍රයන් සුසන්ත කොඩිතුවක්කුය.

ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය 1984දී පිහිටුවා ගත් සංවිධානයකි. 1950 දශකයේදි බිහිරි පුද්ගලයන් හමුවීමට යොදාගෙන තිබුණේ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට ය. ඔවුන් සංඥා භාෂාවෙන් සන්නිවේදනයේ යෙදෙන විට එය සමාජයේ බොහෝදෙනකුගේ හාස්‍යයට ලක්විය. බිහිරි පුද්ගලයන් සංවිධානගත වීමේ අවශ්‍යතාව ඇති වෙන්නේ ඉන් අනතුරුවය. 1958දී බිහිරි පුද්ගලයන්ගේ එකමුතුවෙන් සංවිධානයක් පිහිටුවා ගත් නමුදු ලියාපදිංචි නොකිරීමේ ගැටලු වැනි කරුණු හේතුවෙන් එය අඩපණ වී තිබේ. 1984දී ප්‍රතිසංවිධානය වී ලියාපදිංචි කර, ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය ආරම්භ කළේ ඊටපසුවය. මේවන විට මෙහි සාමාජික සාමාජිකාවන්ගේ ගණන 4000කි. 2012 වසරේදී සිදු කළ සංගණනයකට අනුව දීප ව්‍යාප්ත බිහිරි වූ අයගේ සංඛ්‍යාව 3,84,000කි. එම සංගණනය සිදු කර දැන් වසර 10කට ආසන්න වේ. දැන් මෙම සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ ලේකම්, අනිල් ජයවර්ධන සඳහන් කළේය.

බිහිරි කාන්තා සංවිධානය සහ තරුණ බිහිරි සංවිධානය පිහිටුවා තිබෙන්නේ ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය යටතේ ය. ලංකාවේ බිහිරි ප්‍රජාවගේ සමාජ ආර්ථික, අධ්‍යාපන, දේශපාලන හා සංස්කෘතික හැකියාවන් වර්ධනය කර ශුභ සාධනය ඇති කිරීම සහ සමාන අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ කාර්යභාරයයි. එයින් ශ්‍රවණාබාධිත අයගේ ජීවන තත්ත්වය උසස් කිරීම ඔවුන්ගේ ඒකායන අරමුණ වේ.

“ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය මැදිහත් වීමෙන් මධ්‍යම පළාතේ බිහිරි පුද්ගලයන් සඳහා සැහැල්ලු වාහන සඳහා රියැදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරගෙන යනවා. ඉදිරියේදී එම අවස්ථාව අනෙකුත් පළාත්වල වෙසෙන බිහිරි ප්‍රජාවට ද ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංඥා භාෂා පනතට කැබිනට් අනුමැතිය ලබා ගැනීමටත් අපේ සංගමයට හැකි වුණා යැයි ලේකම් අනිල් ජයවර්ධන සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසයේ අවසාන ඉරිදා දිනය ජාත්‍යන්තර බිහිරි දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. නමුත් 2019 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර සංඥා භාෂා දිනය සැමරීමට නිශ්චිත දිනයක් වෙන් කරනු ලැබීය. ඒ සැප්තැම්බර් 23 වැනිදාය. ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය විසින් ජාත්‍යන්තර බිහිරි දිනය, ජාත්‍යන්තර සංඥා භාෂා දිනය යෙදී ඇති සැප්තැම්බර් 23 වැනි දිනයේදීම සමරනු ලබයි. සෑම වරසකදීම කිසියම් තේමාවක් යටතේ පැවැත්වෙන ජාත්‍යන්තර සංඥා භාෂා දිනයේ මෙවර තේමාව වී තිබෙන්නේ “අපි මානව හිමිකම් සඳහා සංඥා කරන්නෙමු“ යන්නයි.

“අපේ ශ්‍රවණාබාධිත අය සන්නිවේදනය සඳහා යොදා ගන්නේ සංඥා භාෂාව. ඒත් අපේ රටේ සාමාන්‍ය ජනතාවට සංඥා භාෂාව තේරෙන්නේ නැහැ. ඒනිසාම අපේ ප්‍රජාව සමාජයේ ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා. අපිට හදිසියේ අසනීපයක් වුනොත් වෛද්‍යවරයකු හමුවෙලා අමාරුව කියලා බෙහෙත් ගන්න විදිහක් නැහැ. පොලිසියකට ගිහින් පැමිණිල්ලක් කරන්න බැහැ. රූපවාහිනි නාළිකා කොපමණ තිබුණත් සංඥා භාෂා යොදාගෙන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ නාළිකා තුනක විතරයි. ඒනිසා බිහිරි ප්‍රජාවට රටේ සිදුවන දේවල් ගැන දැනගන්න වෙන්නේ ඉතා අඩුවෙන්. හදිසියේ breaking news එකක් ගියොත් අපි දන්නේ නැහැ. ඒනිසා බිහිරි ප්‍රජාව සමාජයෙන් හුදකලා වෙලා ඉන්නේ. ඔවුන්ට සමාජය සමඟ සම්බන්ධ වෙන්න අමාරුයි. අපේ බිහිරි අයට විවාහ වෙලා දරුවන් හැදීමේදි එක දරුවකුට සීමා කර ගැනීමට සිදු වී තිබෙනවා.

අපේ ප්‍රජාවට සමාජයේ බොහෝදෙනකු භුක්ති විඳින හිමිකම් අහිමි වී තිබෙනවා.“ යනුවෙන් ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සභාපති බ්‍රයන් සුසන්ත කොඩිතුවක්කු පැවසීය. 

ලංකාවේ ජීවත්වන බිහිරි ප්‍රජාවගෙන් 95%කට අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාව නැති බව ඔහු දන්වා සිටියේ 5%ක් පමණ අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවලින් සිය ඉගෙනුම අවසන් කරන බව ද සඳහන් කරමිනි. මේ අනුව දෘශ්‍යාබාධිත උපාධිධාරින් සිටියත් ශ්‍රවණාබාධිත උපාධිධාරීන් නැත. ඊට හේතු වී තිබෙන්නේ අධ්‍යාපන ක්‍රමවේදයේ පවතින ගැටලුවයි. ශ්‍රවණාබාධිත දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන විශේෂ පාසල් 26ක් දිවයින පුරා පිහිටා තිබේ. සංඥා භාෂාවෙන් ඉගැන්වීම් කරන ගුරුවරුන් මෙන් ම තොල් චලනය බලා කතා කිරීමේ ක්‍රමයට (Lips reading) උගන්වන ගුරුවරු ද මෙම පාසල්වල සේවය කරති. බොහෝ ගුරුවරුන් ඉගැන්වීම් කරනු ලබන්නේ අවිධිමත් සංඥා භාෂාවෙනි. සංඥා භාෂාව හැදෑරූ ගුරුවරුන් අඩුවීම ඊට ප්‍රධානතම හේතුව වී තිබේ.

“ශ්‍රවණාබාධිත සහ කථනාබාධිත දරුවන් ඉස්සෙල්ලාම අසරණ වෙන්නේ පවුල් සංස්ථාව තුළ. මොකද දරුවන් සමාජානුයෝජනය වෙන්නේ තම පවුලෙන්. ඒත් මව්පියන් සංඥා භාෂාව දන්නේ නැහැ. මේ දරුවන්ට ඇහෙන්නේ නැහැ, ඇහෙන්නේ නැති නිසා කතා කරන්න බැහැ. එතකොට දරුවාට ඉතිරි වෙන්නේ දකින දේවල් විතරයි. සමහර දරුවන්ගේ ශ්‍රවණාබාධ කුඩා කාලයේදී හඳුනා ගත්තොත් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ වුණත් දෙමව්පියන් දරුවන්ගේ ශ්‍රවණාබාධය හඳුනාගන්නේ ප්‍රමාද වෙලා. ඒනිසා බිහිරි දරුවාට ඒ අවස්ථාවත් නැති වෙනවා. වර්තමානයේ ආබාධිත දරුවන්ව ප්‍රාදේශී‍ය ලේකම් කාර්යාල මඟින් ලියාපදිංචි කරනවා. ඒත් බොහෝ දෙමව්පියන් එය කරන්නේ නැහැ. මේ දරුවන්ව සඟවනවා. ඒ නිසා මේ දරුවන් වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දේශන, වැඩමුළු ඔවුන්ට මග හැරෙනවා. බිහිරි ළමුන් විශේෂ පාසලක ඉගෙන ගනිද්දී ආශ්‍රය කරන්නේ ඒ වගේම දරුවන්. ඒ නිසා එයාලා වැඩිහිටියන් වී සමාජයට ගියාම සන්නිවේදනයේදී රැවටීම්වලට හසු වෙනවා. ඒකට හේතුව වෙන්නේ ඔවුන්ට සමාජය ගැන නියම අවබෝධයක් නැතිවීම. එයාලාට අත්දැකීම් අඩුයි. ඒ වගේම තමයි මේ අයට කතා කරන්න බැරි නිසා බිහිරි ගැහැනු දරුවන්ව ලිංගික අතවරවලට ඉතා පහසුවෙන් ගොදුරු කර ගන්නවා. රැවටීම සහ ලිංගික අතවර යන කාරණ 2න්ම පීඩාවට පත් වෙන්නේ බිහිරි ගෑනු දරුවන්. ඇති හැකි පවුලක බිහිරි දරුවකුට නම් යම් ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙනවා. ඒ අය විශේෂ පාසල්වලට දරුවන්ව යොමු කරනවා. ඒත් නැති බැරි පවුලක දරුවකුට ඒ දේවල් ලැබෙන්නේ නැහැ. ඒ අය තොල් චලනය බලා කතා කිරීමට හුරු කරනවා. ඒ පවුල්වල අයට බිහිරි දරුවන් වෙනුවෙන් කාලය වැය කරන්න බැහැ. ඔවුන් ජීවත් වෙන්න ලොකු අරගලයක් කරන අය. සමාජයේ ගැටලු එක්ක බිහිරි අය පීඩාවට පත් වෙනවා වගේම ඔවුන්ගේ අයිතිවාසිකම් ගිලිහී යනවා.“ යනුවෙන් පැහැදිලි කළේ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතියේ සමාජ විද්‍යාඥ මල්රාජි වන්නිආරච්චි ය.

බිහිරි සම්මේලනයේ කාර්යය මණ්ඩලය

බිහිරි කාන්තාවන් මානසික පීඩාවන්ට ගොදුරු වීම වැඩි වශයෙන් සිදුවන බව සඳහන් කළ ඈ, එවැනි අයට උපදේශන සේවාවන් අවශ්‍ය වුවත් සංඥා භාෂාව දන්නා උපදේශකවරුන් නොසිටීමෙන් එවැනි කාන්තාවන් තවත් අගතියට පත්වන බව පැවසුවාය. ලිංගික අතවරයකට ගොදුරු වන බිහිරි කාන්තාවකට පොලිසියකට ගොස් ඒ බව පැමිණිලි කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දෙන සමාජ විද්‍යාඥ මල්රාජි වන්නිආරච්චි සංඥා භාෂාව පරිවර්තකයින්ගේ සේවය පුළුල් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නාය.

වර්තමානයේ සංඥා භාෂා පරිවර්තකයන් ලංකාවටම සිටින්නේ 10 දෙනෙකු පමණි. උතුරු නැඟෙනහිර දමිළ පවුල්වල බිහිරි ප්‍රජාවට දමිළ සංඥා භාෂා පරිවර්තකයන් නොමැති වීමෙන් ඔවුන්ගේ ගැටලුව තවතවත් උග්‍ර වේ. එබැවින් සංඥා භාෂාව හැදෑරූ අය වැඩි කිරීම සඳහා යම් ක්‍රියාමාර්ග ගත යුතු බව සමාජ විද්‍යාඥ මල්රාජි වන්නිආරච්චිගේ අදහස විය. සංඥා භාෂාව හදාරන අයට රැකියා වෙළෙඳපොළක් තිබෙන බව පෙන්වා දීම, ඔවුන්ට ආකර්ෂණීය වැටුප් දීම වැනි ක්‍රියාමාර්ග ගැනීම තුළින් ඊට විසඳුම් සොයා ගත හැකි බව ඈ පැහැදිලි කළාය.

“ශ්‍රවණාබාධ සහ කථනාබාධ ඇති අයගේ ප්‍රධාන මාධ්‍ය වෙන්නේ සංඥා භාෂාව. දැනට අපේ දෙපාර්තමේන්තුවේ සංඥා භාෂා පරිවර්තකයන් 6 දෙනෙක් සේවය කරනවා. ඊට අමතරව බාහිරව කටයුතු කරන කීපදෙනෙකුත් ඉන්නවා. අපේ දෙපාර්තමේන්තුවට අයත් 6 දෙනාගෙන් තුන්දෙනෙකුව අපේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලට අනුයුක්ත කරලා තියෙනවා. තුන්දෙනෙක් විතරයි දෙපාර්තමේන්තු කාර්යාලයේ ඉන්නේ. උසාවි කටයුතුවලට පොලිසියේ කටයුතුවලට සහාය වීමට ඒ තුන්දෙනා ප්‍රමාණවත් නැහැ. ඒනිසා අපි සංඥා භාෂා පරිවර්තකයන් 15 දෙනකුව බඳවා ගැනීමට කටයුතු කරගෙන යනවා. ඒ 15 දෙනාව පළාත් මට්ටමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්ත කරන්නයි අපි අදහස් කරගෙන ඉන්නේ. ජාත්‍යන්තර වශයෙන් ගත්තාම සංඥා භාෂා පරිවර්තකයන් භාෂා 300කට වැඩි ප්‍රමාණයකට පුහුණු වී කටයුතු කරනවා. අපේ රටේ බඳවා ගැනීම්වලදීත් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම සංඥා භාෂා පරිවර්තකයන් යොදවා ගැනීමට අපි කටයුතු කරනවා. මීට අමතරව අපේ දෙපාර්තමේන්තුව මොරටුව විශ්වවිද්‍යාලය සමග එකතු වෙලා ශ්‍රවණාබාධිත අය වෙනුවෙන් ඇප් එකක් හඳුන්වා දීමට සූදානම් වී තිබෙනවා. ඒ ඇප් එකෙන් කෙරෙන්නේ සංඥා භාෂාවෙන් කියන දේ සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වීම. එය ශ්‍රවණාබාධිත අය මුහුණදෙන ගැටලු රාශියකට හොඳ විසඳුමක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.“ යනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, චන්දන රණවීරආරච්චි සඳහන් කළේය.

එය බිහිරි ප්‍රජාවට ඉතා සතුටුදායක පුවතක් වනු නොඅනුමානය. එහෙත් වඩා වැදගත් වන්නේ සමාජය මෙම ප්‍රජාව ගැන නිවැරදිව වටහා ගැනීමය. ඔවුන්ට ද සෙසු අයට ඇති අයිතිවාසිකම් උරුම බව තේරුම් ගැනීමය. සමාජය හිතන ආකාරය වෙනස් කිරීම තුළින් බිහිරි ප්‍රජාවට වඩාත් යහපත් හෙට දවසක් උදාවනු ඇත.

Comments