මහ උළු ගෙදර; මහ රෑ ජර­මරේ | සිළුමිණ

මහ උළු ගෙදර; මහ රෑ ජර­මරේ

 

පසුගිය 16 වැනිදා බ්‍රහස්පතින්දා බොහෝ පුවත්පත්වල මුල් පිටුවේ පළ වූ ප්‍රවෘත්තියකි. වැලිකඩ බන්ධනාගාරයේ හා අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවූ සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් තමන්

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

වගකීම් බාර ගනිමින් මැණික් හා ස්වර්ණාභාරණ ආශ්‍රිත කර්මාන්ත, බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා තමන් විසින් දැරූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් එසේ ඉවත් විය.

සාමාන්‍යයෙන් අපේ රටේ මැති ඇමැතිවරයකුගේ ඉල්ලා අස්වීමක් සිදුවන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. මෑත ඉතිහාසයේ එසේ ඉල්ලා අසු වූ අයකු වන්නේ එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රබලයකු වූ ගාමණී ජයසූරියයි. ජේ.ආර්, රජීව් ඉන්දු ලංකා ගිවිසුමට විරෝධය පළ කරමින් ජේ.ආර්. ජයවර්ධන රජයට විරෝධය පා ගාමණී ජයසූරිය එසේ ඉල්ලා අස්විය. ඉන් පසු 2010 වසරේ අගෝස්තු මාසයේ විනය ප්‍රශ්නයක් මත ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා තනතුරෙන් ඉවත් කර විනය පරීක්ෂණයක් තබන ලදී.

එයින් පසු විනය ගැටලුවක් මත තමන් විසින් වගකීමක් බාර ගනිමින් ඇමැතිවරයෙක් ඉල්ලා අවස්ථාවක් ලෙස ලොහාන්ගේ මේ ඉල්ලා අස්වීම පෙන්වා දිය හැකිය. ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින්ද පිළිගෙන තිබුණි.

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා හා බන්ධනාගාර හුටපටය සම්බන්ධ මේ කතා මාලාවේ සිදුවීම දිග හැරෙන්නේ පසුගිය 6 වැනිදා සිටය. එදින රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයට බීමත්ව පිරිසක් සමඟ ගොස් එහි කලබැගෑනියක් ඇති කළ බවට ඇමැතිවරයාට විරුද්ධව චෝදනා නැඟුණි. ඒ ඇමැතිවරයා සමඟ රූ රැජිනක්ද එහි ගිය බවට චෝදනා එල්ල කරමිනි. ඇමැතිවරයා සහ සහභාගි වූ පිරිස මත්පැන් පානය කර තිබූ බවත් ඔවුන් ආයුධ සහිතව බන්ධනාගාරයට ඇතුළු වූ බවත් එය නීති විරෝධී ක්‍රියාවක් බවත් සමාජ මාධ්‍ය ඉස්මතු කර තිබුණේ ඊට අදාළ නීති රීති අණපනත් පෙන්වා දෙමිනි. විශේෂයෙන්ම බන්ධනාගාරයට අනවසරයෙන් ගිනි අවි සහිතව ඇතුළු වූ පිරිස එහි එල්ලුම් ගස බැලීමට උත්සාහ ගත් බවක් එහිදී හෙළිදරව් වී තිබුණි.

ඇමැතිවරයා සමඟ වැලිකඩ බන්ධනාගාරයට ගියේ පසුගියදා විවාහක රූ රැජිණ ලෙස කිරුළ පැලඳි පුෂ්පිකාද සිල්වා බවද එමඟින් ව්‍යංගයෙන් පෙන්වා දී තිබුණි. ඇයගේ නම සඳහන් නොකළද ඇය බව ඒත්තු ගැන්විය හැකි හැම කරුණක්ම මේ පුවත්වල අඩංගු විය.

සිද්ධිය එතැනින් තරමක් නිහැඬියාවට පත්වුණද පසුගිය 13 වැනිදා රාත්‍රියේ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රැඳවියන් 6 දෙනකු දණ ගස්වා රැඳවියන් දෙදෙනකුගේ හිසට පිස්තෝලයක් තබා ‘ඔවුන් වැරැදිකරුවන් බවට පිළිගන්නා‘ ලෙස මරණ තර්ජන කරන ලද බව පැවසේ. එසේ තර්ජනය කරන ලද්දේ එල්ටීටීඊ සැකකරුවන්ට බවද වාර්තා වේ. එම සැකකරුවන් රඳවා තිබී ඇත්තේද විශේෂ කුටියකය.

මේ සිදුවීම නිසා වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ, යටයමින් තිබූ සිද්ධියද යළි කරළියට ආවේය. මාධ්‍ය ඔස්සේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ රාජ්‍ය ඇමැතිවරයාට දැඩි විවේචන එල්ල විය.

කෙසේ වුවත් මේ කතාවේ සුලමුල මැනවින් සොයා බැලිය යුතුය. ඒ විපක්ෂයේ කෑ මොර දීම් නිසා නොව මේ සිදුවීම මේ වනවිටත් අන්තර්ජාතිකව ජිනීවා දක්වා ගොස් ඇති නිසාය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානී හැනා සිංගර් හැම්ඩි විසින් අනුරාධපුරයේ සිදුවීම වාර්තා වූ විගසම සිය ට්විටර් ගිණුමේ දක්වා තිබුණේ එවැන්නක් කිසිසේත්ම සිදු නොවිය යුතු බව හා සිරකරුවන්ගේ ආරක්ෂාව සැලසීම රජයේ වගකීම බවයි.

එමෙන්ම ඇය මේ සම්බන්ධව දිගින් දිගටම අදහස් දක්වමින් පවසා තිබුණේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම රජයක වගකීමක් වන බවයි. එය නෙල්සන් මැන්ඩෙලා නීතිරීති වලට අනුගතව එය සිදු විය යුතු බවද ඇය පෙන්වා දී තිබුණාය.

එමෙන්ම ඇය වැඩිදුරටත් පවසා තිබුණේ අනුරාධපුර බන්ධනාගාරයට ගිනි අවියක් අතැතිව ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයෙක් ගිනි අවිය පෙන්වමින් සිරකරුවන් හිංසාවට පත් කිරීම කිසිසේත් නොකළ යුතු බවයි. එමෙන්ම සිරගතව සිටින සියලු දෙනාගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය විශේෂ අවධානය යොමු කළ යුතු බවද ඇය පෙන්වා දී තිබුණාය. එමෙන්ම සිරකරුවන්ට අයුතු ලෙස කටයුතු කිරීම හෙළා දකින බවත් ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් නම් කරන ලද නියෝජිතයා වශයෙන්, එක්සත් ජාතීන්ගේ මෙරට කණ්ඩායමට නායකත්වය ලබා දෙමින්, ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරමින් අදාළ අවශ්‍යතා සහ නියෝගයන් වෙනුවෙන් පෙනී සිටින බවද ඇය පෙන්වා දී තිබුණාය.

මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විවාහක රෑ රැජින ලෙස කිරුළ පැලඳි පුෂ්පිකා ද සිල්වා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ තමන් විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමෙන් පසුව දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටින බවයි.මේ සිදුවීම් මාලාව අස්සේ පසුගිය 15 වැනිදා ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා තමන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයන්ගෙන් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. එහෙත් ඔහු දැරූ මැණික් හා ස්වර්ණාභාරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේ වෙනසක් නොවීය

ලොහාන් රත්වත්තේ පවසා තිබුණේ තමාට ‘ගිනිගත්‘ බන්ධනාගාරයක් ලැබුණු බවත් තමන් එහි ගිනි නිවා දැමූ බවයි. කෙසේ වුවත් මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් රජය අපහසුතාවට පත් නොකර තමා ඇමැතිවරයාට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් වන බව ඔහු විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසා තිබුණි. ජනාධිපතිවරයා අදාළ ඉල්ලා අස්වීම පිළිගැනීමෙන් පසු ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා තමන් විසින් භාවිත කළ, බන්ධනාගාර අමාත්‍යාංශයට අයත් මෝටර් රථයද ආපසු බාර දෙන ලදී.

ජනාධිපතිවරයාට යැවූ ලිපියේ ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයා දක්වා ඇත්තේ තමන් ඉතාමත් සාර්ථකව අමාත්‍යාංශයේ කටයුතු කළ බවත් මේ දිනවල මාධ්‍ය මඟින් ඉස්මතු කර ඇති ගැටලුව නිසා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ඒ සඳහා නිර්දේශය අපේක්ෂා කරන බවයි. ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමැතිවරයාට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය හිමිවන්නේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමින් පසුවය. එතෙක් එම රාජ්‍ය අමාත්‍ය ධුරය දරන ලද්දේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේය.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායකගෙන් සිළුමිණ කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ වන විට අදාළ ඇමැතිවරයා ඉල්ලා අස්වී ඇති නිසා ඒ සම්බන්ධව ප්‍රකාශයක් කිරීම සුදුසු නොවන බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් විමසූ විට අදහස් දක්වමින් ලොහාන් රත්වත්තේ ඇමැතිවරයා පැවසුවේ තමන් අදාළ සියලු තොරතුරු ජනාධිපතිවරයාට යැවූ ලිපියේ දක්වා ඇති බවත් තමා පෞද්ගලිකව මේ ඉල්ලා අස්වීම සිදු කළ බවත් එයින් ඔබ්බට අදහස් දැක්වීමට අදහස් නොකරන බවත්ය.

කෙසේ හෝ මේ සම්බන්ධව විමර්ශනය කිරීමට බන්ධනාගාර කොමසාරිස් සුනිල් කොඩිතුවක්කුගෙන් යුත් කමිටුවක්ද පත් කර තිබේ. එමෙන්ම මේ වන විට අනුරාධපුර බන්ධනාගාරයේ සීසීටීවී කැමරා දර්ශන ආරක්ෂා කිරීමට කටයුතු යොදා ඇති බවත් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම දර්ශන යොදා ගැනීමට නියමිත බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරයන්ගෙන් පසුගිය බදාදා මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පැවසුවේ පැමිණිල්ලක් ලැබෙන්නේ නම් රාජ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව පොලිසිය මඟින් කළ යුතු නීතිමය කටයුතු සිදු කිරීමට හා අවශ්‍යතාවයක් වුවහොත් අත්අඩංගුවට ගැනීමක් පවා සිදු කළ හැකි බවයි.

කෙසේ වෙතත් පසුගිය බ්‍රහස්පතින්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නිලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. එසේම සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කර ගැනීම උදෙසා පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් කිහිප දෙනෙක් විසින් ද එම කොමිසමට ගොස් එදිනම පැමිණිල්ලක් සිදු කර ඇත.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ එසේම පැමිණිලි කර ඇත්තේ ඇමැතිවරයා පමණක් නොව සාවද්‍ය ප්‍රකාශ ලබා දෙමින් අපරාධයක් වසන් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට හා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාද අත්අඩංගුවට ගත යුතු බවයි.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් පොලිස්පතිට දන්වා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ පැමිණිල්ල සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙසයි. එමෙන්ම මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් ද සති අන්තයේ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සුදර්ශන්, හා වේලන් නැමැති සිද්ධියට ඍජුවම ගොදුරු වූවේ යැයි කියන රැඳවියන්ගේ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

අදාළ රැඳවියන් දෙදෙනා ඇතුළු එල්ටීටීඊ සැකකරුවන්ගේ තතු දැන ගැනීම පිණිස බ්‍රහස්පතින්දාම දෙමළ ජාතික ජාතික පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා සෙල්වරාජා ගජේන්ද්‍රන් අනුරාධපුර බන්ධනාගාරයට ගියහ. එමෙන්ම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂයන්ද මේ පිළිබඳව සොයා බැලීම පිණිස ගියේය.

 

Comments