ආනයන සීමාවේ ඇත්ත කතාව | Page 2 | සිළුමිණ

ආනයන සීමාවේ ඇත්ත කතාව

 

ලොවම වෙළාගත් කොවිඩ් වසංගතය මේ වන විටත් අවසානයක් දක්නට නැත. ලංකාව දැන් පසුවන්නේ කොවිඩ් සිවුවැනි රැල්ලේය. ඒ හමුවේ ලංකාව මුහුණ දී ඇති දැඩි විදේශ මූල්‍ය හිඟය හේතුකොට විශාල කැපකිරීම් කරන්නට ජනතාවට සිදුවන බව පසුගියදා බලධාරීහු නිවේදනය කළේ ඉදිරිය ගැන යම් ඉඟියක් මතු කරමිනි. එය සනාථ කරමින් පසුගියදා අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීමට පසුගියදා මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කළේය. මේ වන විටත් දිවයින පුරා විවිධ අය මේ සම්බන්ධව විවිධාකාර චෝදනා මතුකරන්නේ ඊට දැඩි විවේචනද එල්ල කරමිණි.

ජංගම දුරකතන, ගෘහ උපකරණ, රෙදිපිළි, ගෘහ භාණ්ඩ, රබර් ටයර්, වායු සමීකරණ, පලතුරු, සුවඳ විලවුන්, වේශ නිරූපණ උපාංග, බියර්, වයින්, බෝතල් කළ ජලය, චොකලට්, මෝල්ට්, කටු ගැලවූ මාළු, චීස්, බටර් වැනි ආහාර මෙන්ම සංගීත භාණ්ඩ, දුම්කොළ නිෂ්පාදන, සෙල්ලම් බඩු, ලිපි ද්‍රව්‍ය ඇතුළු 623 ක අත්‍යාවශ්‍ය හා හදිසි අවශ්‍යතා නොවන ගණයෙහිලා සැලකෙන භාණ්ඩ මෙසේ ආනයන සීමා පැනවීම් සිදුවූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසිනි.

මේ අනුව බලපත්‍රලාභී වාණිජ බැංකු මෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ණයවර ලිපි (එල්.සී.) සහ ප්‍රතිග්‍රහණය මත ලියවිලි (ඩී.ඒ) ලබාදීමේ කොන්දේසි යටතේ මෙම අත්‍යවශ්‍ය හා හදිසි නොවන භාණ්ඩ ආනයනයේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු කිරීම අවශ්‍ය වේ. නමුත් ඊට පෙර ආනයනකරුවන් සිය භාණ්ඩ ගෙන්වීමෙදී ණයවර ලිපි නිකුත් කිරීමට තැන්පතු කරන්නට සිදුවූයේ අදාළ වටිනාකමින් හතරෙන් එකක් පමණි. නමුත් වර්තමානයේ යමකුට මේ භාණ්ඩ ආනයනය කිරීමට නම් ඒවායේ සම්පූර්ණ වටිනාකම ඇමරිකන් ඩොලර්වලින් බැංකුවේ තැන්පත් කළ යුතු වේ. මෙමඟින් කොතෙක් දුරට අපේක්ෂිත විදේශ විනිමයක් ඉතුරු කර ගත හැකිවේද? ආනයනකරුවන් මින් කොතෙක් අධෙර්යයට පත්වේවිද? යන්න විමසා බැලිය යුතුය.

මහ බැංකු හිටපු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ­්මන් සිය ධූරයෙන් ඉවත් වීමට ප්‍රථම මේ ගැන සඳහන් කර තිබුණේ වෙළෙඳ හිඟයේ පරතරය අඩු කර ගැනීමේ අරමුණින් මාස තුනකට ආසන්න කාලයක් ප්‍රවේසමෙන් අධ්‍යයනය කිරීමෙන් පසු මෙම පාලනය පැන වූ බවය. එසේම මෙය මහ බැංකුව අතීතයේදී ආනයන පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ගයක්ද බවය.

කොවිඩ් නිසා ලංකාවට විදෙස් ආදායම් ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ග සියල්ල බිඳ වැටුණි. මෙහිදි ඇතිවන තත්ත්වයන් පාලනයට රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගත යුතු වෙයි.

“ලංකාවෙන් විදේශයන්ට යන වියදම හා අපේ රටට ලැබෙන ආදායම අතර වෙනස වසර 20 ක සිට පුළුල් වුණා. විදේශ විනිමය ණයට ගෙන මේ වෙනස අපි පිය වූවා. ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ක්‍රම කිහිපයක් අතර මුල් තැන හිමි වන්නේ විදේශවල අපේ අය රැකියා කිරීමෙන් ලැබෙන ආදායමයි. පසුගිය වසර 20 තුළ මේ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 3-7 දක්වා වැඩිවුණා. පසුගිය වසර කිහිපය තුළ මාසයකට තරුණයන් 15,000 ක් පමණ රැකියා සඳහා විදෙස් ගත වුණත් කොවිඩ් නිසා පසුගිය වසර එකහමාර තුළ මේ සංඛ්‍යාව බින්දුවට වැටුණා. දෙවැනියට ඇගැලුම් ක්ෂේත්‍රය. මේ සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 5.5 ක් ලැබෙනවා. කොවිඩ් හේතුවෙන් රට ලොක්ඩවුන් කිරිම, ගුවන් තොටුපළ, වරාය වැසීම නිසා මේ ආදායම අහිමි වී ගියා. තුන්වැනි ආදායම සංචාර ව්‍යාපාරය. මේ සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 4-5 ත් අතර ලැබෙනවා. එයත් අඩුවුණා. මේ සියල්ල මෙසේ වෙද්දි අපි ඩොලර් බිලියන 17-18 ක් ආනයනය සඳහා වැය කළා. මේ හරහා ප්‍රධාන ආදායම් බිඳ වැටෙද්දී ඩොලර් හිඟය ඇති වුණා. තවත් පැත්තකින් කොවිඩ් වසංගත සමයේදි ජන ජීවිතයේ හැසිරීම් සිදුවුණේ වෙනස්ම ආකාරයකට. නිවෙස්වල වගේම කඩ සාප්පු වලත් භාණ්ඩ එක්රැස් කිරිමට ජනතාව පෙලඹුණා. සමහරු වැඩි මිලකට විකුණා ගන්නට එක්රැස් කළා. වියදම් කරන ඩොලර් ප්‍රමාණය දෙගුණ තෙගුණ වෙද්දි ලැබෙන ඩොලර් ප්‍රමානය අඩු වුණා. මෙවැනි අවස්ථාවකදි රජයක් විසින් මැදිහත් වී ඉල්ලුම සැපයුම පාලනය කිරීමට කෙටි කාලින විවිධ පියවර ගත යුතු වෙනවා. නමුත් මේවා දීර්ඝ කාලීන පියවර නෙමෙයි. මේ නිසා රජය බඩු ගෙන්වීමට ආනයන සීමා පැනවීමක් කළා. ණයවර ලිපි නිකුත් කිරිමේ ගැටලු මතු වුණා. අත්‍යාවශ්‍ය දේ විවිධ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. නමුත් රජයක් විසින් මේ අවස්ථාවේ කළ යුතු එක් තාවකාලික පියවරක් වශයෙනුයි මේ අත්‍යාවශ්‍ය නොවන දේ තහනම් කිරීමක් සිදු කළේ....“ ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී කරුණාරත්නය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී කරුණාරත්න පවසන පරිදි මෙහි අප අවධානය යොමු නොකරන පැත්තක් ඇත. මේ වන විට ස්ථිර ආදායම් කරන්නන් බොහෝමයක් සිටින්නේ නිවෙස්වලය. ඒ නිවසේ සිට රාජකාරි කරමිනි. මේ නිසා ඔවුන්ගේ දෛනික වියදම් වූ ප්‍රවාහන වියදම්, දරුවන්ගේ පාසල් වියදම්, පාසල් වෑන් ගාස්තු වැනි අතිරේක මුදල් ඉතිරිය. අවසානයේ ඔවුන් ඉතිරිකරගත් මුදල් වෙනත් අතිරේක දෑට යොමු කරති. උදාහරණයක් වශයෙන් වර්තමානයේ ලංකාවේ මිලියන 22 ක් ජංගම දුරකතන භාවිතා කරති. නමුත් අතේ මුදලක් ඉතිරි වුවහොත් සමහරු මාස කිහිපයකින් අලුත් ජංගම දුරකතනයක් ගැනීමට පෙලඹුණ ද එය අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයක් නොවෙයි. මෙසේ ඉතුරු කර ගත් මුදල් වෙනත් දෙයකට යොමු කිරීම තුළින් ආර්ථිකයේ ගනුදෙනු වෙනස් පැතිවලට හැරෙන බවය. එමනිසා ආනයනික භාණ්ඩ සඳහා විශාල තෙරපුමක් ඇති කරන යුගයක රටේ ආර්ථිකය කඩා නොවැටෙන සේ රැක ගැනීමට විදේශයින්ගෙන් ගෙනෙන ද්‍රව්‍ය සඳහා තාවකාලික සීමා පැනවීම සිදු කළ යුතු බවයි.

“රටේ පවත්නා විදේශ විනිමය සීමිත නිසා එය සුරක්ෂිත කර ගැනීමට රජය විවිධ සීමා පැනෙව්වා. එහි ආරම්භක පියවරක් තමයි , මෝටර් රථ ගෙන්වීම සීමා කිරීම. මෙයින් 4% ක විදේශ විනිමයක් නවතා ගැනීමට හැකිවුණා. නමුත් පසුගියදා අත්‍යාවශ්‍ය භාණ්ඩ 623 ක ආනයන සීමා පැනවීමක් සිදුකළා. නමුත් මෙහි ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩවලින් නතර කළ හැක්කේ 1%ක් පමණයි. අප භාවිතා කරන බොහෝමයක් භාණ්ඩ නවතාගත හැකි භාණ්ඩ නෙමෙයි. නමුත් ඩොලර් ලබා ගැනීමේ අපහසුතාව, ණයවර ලිපි නිකුත් කිරීමේ අපහසුතාව නිසා මේවා ඉබේම නැවතී යනවා. ඒ වගේම අත්‍යාවශ්‍ය හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වශයෙන් සීමාවක් යොදා වෙන් කළ නොහැකියි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නක්. මේ වෙලාවේ ඔවුන් අත්‍යාවශ්‍ය යැයි කියන්නේ ඖෂධ හා ආහාර ද්‍රව්‍ය පමණයි. මෙවැනි සීමා පනවා විදේශ විනිමය ප්‍රශ්නයට විසදුම් සෙවීමට උත්සහ කළද එය කොතෙක් සාර්ථක විසඳුමක් වේද යන්න ප්‍රශ්නයක්. එසේම මේ හරහා බොහෝ දෙනෙකුගේ ව්‍යාපාර නැවතීම සිදුවුණා...... “ ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්නය.

අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැසීමෙන් පළක් නොවන බව සමහර ආර්ථික විශේෂඥයන්ගේ අදහස වී ඇත්තේය. මේ හරහා ආනයනකරුවන් බොහෝ දෙනෙකු පාඩුව විඳ ගනිමින් ආනයනයෙන් ඈත් වීමටද උත්සාහ ගන්නා බව සමහරක් චෝදනා කරති. එදා හතරෙන් එකක් පමණක් ගෙවා ණයවර ලිපි ලබා ගෙන තම භාණ්ඩ ගෙන්වා ගත් ආනයනකරුවෝ අද මහත් අසරණව සිටිති. විශාල පරිමාණයෙන් ආනයන ව්‍යාපරයේ නියැළි අයට මෙයින් බලපෑමක් ඇති නොවන බවද තවත් අයගේ අදහසයි.

“ වසර කිහිපයක් පුරාවට පවතින මේ කොවිඩ් අර්බුදය හේතුවෙන් ලංකාව අද උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. විදෙස් ණය ගෙන්විමට භාණ්ඩ මෙරටට ගෙන්විමට අප සතුව විදෙස් මුදල් නැහැ. ආනයන කරුවන් විදෙස් භාණ්ඩ ගෙන්වා ගැනීමට පොරොත්තු ලේඛනවල සිටිය යුතුයි. අපට විදේශ විනිමය ලැබෙන ප්‍රමාණය අනුවයි, බැංකුවලින් මුදල් ලබා ගත හැකි වන්නේ. මේ වන විට ලංකාවට භාණ්ඩ 623 ක් ගෙන්වීමේ අපනයන සිමා පනවා තියෙනවා. ඒ පිරිවැය වැඩිවීම නිසා. නමුත් තහනමකට ලක්කර නැහැ. යම් ආනයනකරුවකු විදේශයකින් භාණ්ඩ මෙරටට ගෙන්වීමේදි බැංකුවකින් ණයවර ලිපි ලබා ගැනීමේදී ඒ වටිනාකමින් හතරෙන් එකක් ආදාළ බැංකුවේ තැන්පත් කළ යුතුයි. නමුත් අලුත් තත්ත්වය අනුව ණයවර ලිපි නිකුත් කිරීමට හතරෙන් එකක් නොවන මුදලින් 100% ක්ම අදාළ බැංකුවේ තැන්පත් කළ යුතු වෙනවා. මෙය තාවකාලිකද නැද්ද කියා තවමත් ප්‍රකාශයක් කර නැහැ. නමුත් මෙවැනි සීමා තිබීමෙන් විශාල ප්‍රශ්න ගණනාවක් මතු වෙනවා. ප්‍රායෝගික නැහැ....“ ඒ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේරත්නය.

රජය මේ වන විටත් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්නේය. එය දරා ගැනීමට අපහසු තරම්ය. තවත් පැත්තකින් රාජ්‍ය ආදායම බිඳ වැටී ඇත්තේය. බොහෝමයක් රැකියා මෙන්ම සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයම බිඳ වැටි ඇත්තේය. මේ වන විට කොවිඩ් නිසාවෙන් ජනතාවද බොහෝ කැප කිරිම් කරන්නේය; කර ඇත්තේය. මෙයත් තවත් එක් කැප කිරීමකි.

Comments