අබ්බාස් ගුලාම් කෝටි­පති ව්‍යාපා­රි­ක­යාගේ වැළ­ලෙ­න්නට ගිය ඝාතනයේ සුල­මුල | Page 2 | සිළුමිණ

අබ්බාස් ගුලාම් කෝටි­පති ව්‍යාපා­රි­ක­යාගේ වැළ­ලෙ­න්නට ගිය ඝාතනයේ සුල­මුල

 

පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරින්ගේ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් වැළලී යාමට ඉඩ තිබූ මිනිස් ඝාතනයක සුලමුල අනාවරණය කරගැනීමට සමත් වූයේ පොලිස් නිලධාරින්ගේ සේවයේ මහිමය කියාපාමිනි.

 

2017 ජුනි 09 වැනිදා ස්වාභාවික මරණයක් ලෙස හුවා දක්වමින් මියගොස් සිටියේ 68 හැවිරිදි ශබීර් අබ්බාස් ගුලාම් හුසේන් නමැති කෝටිපති ව්‍යාපාරිකයායි. මෙරට ප්‍රධාන පෙළේ තේ, පොල්, කුළුබඩු වර්ග ඇතුළු බොහෝ දෑ අපනයනය කරන පැරැණි සමාගමක් වන ඇඩම් එක්ස්පෝ සමාගම් ජාලයේ හිමිකරුවා වූයේ ගුලාම් හුසේන්ය. ඊට අමතරව ඇඩම් එක්ස්පෝ සමාගමට මෙරට සහ විදේශයන්හිද මහත් දේපළක් සතු වේ.

බෝරා ජාතික අබ්බාස් ගුලාම්ට දරුවන් සිවුදෙනෙකි. වැඩිමලා පුතෙකි. ‍ඊළඟට දියණියන් දෙදෙනා සහ බාලයා පුතෙකි. දියණියන් දෙදෙනා විදේශයන්හි විසූ අතර පුතුන් දෙදෙනා පියාගේ ව්‍යාපාර ජාලයට සම්බන්ධව සිටියේය. ග්‍රෑන්ඩ්පාස්හි පිහිටි ඇඩම් එක්ස්පෝ ප්‍රධාන කාර්යාලයේදී 2017 ජුනි 09 දින හිටිහැටියේම අසනීප වුවා යැයි සඳහන් කරමින් අබ්බාස් ගුලාම් ඔහුගේ බාල පුත් අලි ගුලාම් හුසේන් විසින් වැඩිමහල් සහෝදරයා සමඟ එක්ව එසැණින් පියා රැගෙන ගොස් තිබුණේ නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලකටයි.

එම රෝහලේ වෛද්‍යවරු පරීක්ෂාකොට බලා කියා තිබුණේ අබ්බාස් ගුලාම් මියගොස් ඇති බවයි. බෝරා ජාතිකයන්ගේ දේහ පැය 24ක් තුළ භුමිදාන කළ යුතු හෙයින් හදිසි මරණ පරීක්ෂණයක්ද නොකෙරිණි. බෝරා ජාතික අධිකරණ වෛද්‍යවරියක්ද පැමිණ දේහය පරීක්ෂාකර බලා තීන්දුව දී තිබුණේ ස්වභාවික මරණයක් ලෙසටයි. ඒ අනුව දේහය පැය 24කට මත්තෙන් භූමිදානය කෙරුණේ කුප්පියාවත්ත මුස්ලිම් සුසාන භූමිය තුළදියි.

අබ්බාස් ගුලාම්ගේ හදිසි වියෝවත් සමඟ විදේශයන්හි සිටි ඔහුගේ දියණියන් දෙදෙනාද මෙරටට පැමිණියේය. මාස කිහිපයක් ගත විණි. අබ්බාස් ගුලාම් සතුව මහත් දේපළ කන්දරාවක් විය. දියණියන් දෙදෙනා, වැඩිමහල් පුත්‍රයා සහ ගුලාම්ගේ බිරිය ඇතුළු කණ්ඩායම ඒ වන විට තම පියා දේපළ කිසිවකුට හෝ ලියා නොතිබූ හෙයින් අන්තිම කැමැති පත්‍රයක් හෝ ලියා නොතිබූ නිසා දේපළ කා හට පවරා තිබේද යන්න සෝදිසිකර බැලුවේය.

ඒ අනුව මරණයෙන් දින කීපයකට පසු දියණියන් දෙදෙනා සහ වැඩිමහල් පුතු ඇතුළු පිරිස අබ්බාස් ගුලාම්ගේ ග්‍රෑන්ඩ්පාස්හි කාර්යාල කාමරයට පැමිණ සියල්ල පිරික්සා කර බැලුවේය. එහෙත් ඊට බාල පුත්‍රයා එක් නොවීය. පරීක්ෂාකර බැලූ කාමරයේ කිසිවක් නොවීය. පියා භාවිතයට ගැනුණු සේප්පුවක්ද විය. එය විවර කර බැලීමට එහි යතුර සොයා ගැනීමට එදින පිරිසට නොහැකි වූයේය.

නැවතත් දින කිහිපයකට පසු පිරිස පියාගේ කාර්යාල කාමරයට පැමිණියේය. එදින අස්ථානගතව තිබූ සේප්පුවේ යතුර පියාගේ කාර්යාල මේසය මත විය. හාස්කමකින් මෙන් හමුවූ එම යතුරෙන් සේප්පුව හැර බැලුවත් එහි කිසිවක් නොවූවත් කුඩා ෆයිල් කවරයක බහා ලිපිලේඛන කිහිපයක් විය.

පිරිස එය පරීක්ෂා කර බැලුවේය. එසැණින් එකිනෙකා මුවට මුව බලාගත්තෙ තුෂ්ණිම්භුත වෙමිනි. ඒ පියා විසින් සියලු දේපළ බාල පුතු අලි ගුලාම් හුසේන් නමට ලියා ඇති බව දුටු හෙයිනි. ඒ සමඟ පිරිස අතර කතාබහක් වූයේ,

සැකකරු අධිකරණයට රැගෙන ආ මොහොත

“මේකනම් වෙන්න බැරි වැඩක්... තාත්තා කවදාවත් මේ වගේ වැඩක් කරන්නෙ නෑ... මේ ගැන හොයලා බලන්න ඕනෙ...“

වැඩිදුර සොයා බැලීමේදී හෙළි වූයේ එලෙස අලි ගුලාම් නමට දේපළ ලිවීමට සාක්ෂි ලෙස අස්සන් කර ඇත්තේ එවකට එම කාර්යාලයේ සිටි කාර්යාල කාර්ය සහායක සහ එහි පවිත්‍රතා අංශ සේවිකාවක යන දෙදෙනා බවයි. ඉන් පිරිසගේ සැකය තවත් තීව්‍ර විය. ඒ සමඟම අබ්බාස් ගුලාම්ගේ පවුලේ උදවියට ඔහුගේ මරණය පිළිබඳ දැඩි සේ සැක සංකා පහළ වීමට පටන් ගැනිණි. වැඩිමහල් පුතු සහ දියණියන් දෙදෙනා සිය බාල සහෝදරයා සමඟද ආරවුල් ඇතිකරගත්තෙ, “උඹ බොරු කියන්නෙ... තාත්තා මැරුව නේදැ“යි ප්‍රශ්න කරමිනි. ඒ සමඟම ඇතිවූ සැකය මත 2018 අගෝස්තු 16 දින අබ්බාස් ගුලාම්ගේ පවුලේ උදවිය කොළඹ කොටුවේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඩී) ඒ පිළිබඳව පැමිණිලි කළේය. එවකට සීඅයිඩීහි අධ්‍යක්ෂවරයා විසින් එම පැමිණිල්ල යොමුකර තිබුණේ එහි මිනීමැරුම් විමර්ශන අංශයටයි. එහි නිලධාරින් සිදුකළ විමර්ශන අනුව අධිකරණයට කරුණු වාර්තාකොට අබ්බාස් ගුලාම්ගේ දේහය යළි ගොඩගත්තෙ 2019 වසරේදියි. ගොඩගත් දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරින් තිදෙනෙකුගේ අධීක්ෂණයෙන් පවත්වා තිබුණේය. එහෙත් එම මරණ පරීක්ෂණ වාර්තාවේ යම් ප්‍රමාදයක් සමඟ විමර්ශනද අඩාළ විණි.

මේ අතර මීට මාස හයකට පමණ උඩදී සීඅයිඩීහි නව අධ්‍යක්ෂවරයා ලෙස පත්ව ආවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නයි. ඔහුගේ අවධානයට මේ විමර්ශනය ලක්වීමත් සමඟ එම විමර්ශන බාර කෙරුණේ සීඅයිඩීහි මහජන පැමිණිලි අංශයටයි. ඒ අනුව සීඅයිඩීය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි එච්. ආර්. වෙදමුල්ලගේ මෙහෙයවීමෙන් මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුසිත කහගල්ල ප්‍රමුඛ උපපොලිස් පරීක්ෂක චමින්ද බණ්ඩාර ඇතුළු නිලධාරිහු නැවත මෙකී විමර්ශන ආරම්භ කළහ. ඒ වන විටත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබුණේ නැත.

මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වීමත් සමඟ එහි වූයේ අබ්බාස් ගුලාම්ගේ හකු ඇටයේ පිපිරීමක් සහ වම්පස ඉල ඇටයක පිපිරීමක්ද සිදුව ඇති බවත් මොට බලයකින් යෙදවූ බාහිර තෙරපුමකින් එය සිදුවී ඇති බවත්ය. ඒ වන විට විමර්ශන නිලධාරින් සිදු කළ සියුම් විමර්ශන ඔස්සෙ අබ්බාස් ගුලාම්ගේ මරණය ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට බොහෝ තොරතුරු රැස්කරගෙන තිබුණේය. අනතුරුව අබ්බාස් ගුලාම් ඝාතනයට සහාය දුන් ඔහුගේ පුත් අලි ගුලාම්ගේ මිතුරකු විමර්ශන නිලධාරින්ගේ බාරයට ගෙන ප්‍රශ්න කෙරිණි. ඒ අනුව සිදුවී ඇත්තෙ මෙවැන්නකි.

අබ්බාස් ගුලාම්ගේ බාල පුතු 37 හැවිරිදි අලි ගුලාම් අමුතුම චරිතයකි. ඔහුගේ කාර්යාලයද වූයේ පියාගේ කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලේම වෙනත් කාමරයකය. අලි ගුලාම් විවාහ වී සිටි කාන්තාව කලකට පෙර මෙරට ප්‍රධාන පෙළේ බස් සමාගමක හිමිකරුවකුගේ දියණියකි. අලි ගුලාම් විසුවේ ඇගේ කෝට්ටේ පාර, ඇතුල් කෝට්ටේ පිහිටි නිවෙසේයි. අලි ගුලාම් සිය පියාගේ ව්‍යාපාරයන්හි මුදල් අයථා ලෙස පරිහරණය කිරීම නිසා පියාගෙන් නිතර දෝෂාරෝපණයට ලක්වෙමින් සිටියේය.

“මොනවද උඹ කරන්නෙ... පිස්සු වැඩ කරන්නෙ නැතිව... සල්ලි නාස්ති නොකර හිටපන්...“ ඒ අබ්බාස් ගුලාම් පුත්‍රයාට නිතර කියන වදන්ය.

එසේ සිටියදී ණය තුරුස් හේතුවෙන් අලි ගුලාම් ග්‍රෑන්ඩ්පාස්හි ඇඩම් එක්ස්පෝ ප්‍රධාන කාර්යාලය පිහිටි අක්කර 8ක ඉඩමෙහි ඔප්පුවට සමාන ව්‍යාජ ඔප්පුවක් සාදා මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවකට තබා ණයක් ලබාගෙන තිබුණේ හොර රහසේයි. කලක් යද්දී අලි ගුලාම් එම ණය මුදලට නිසි පරිදි පොලි හෝ ණය වාරික ගෙවීමද පැහැර හැරියේය. අනතුරුව බැංකුව එම ණය මුදලට ඇපයක් ලෙස තබා තිබූ ඔප්පුව පිළිබඳව වැඩිදුර පරීක්ෂා කිරීමක් කළේය. එහිදී බැංකුව අනාවරණය කරගත්තෙ අලි ගුලාම් බැංකුවට දී ඇත්තෙ ව්‍යාජ ඔප්පුවක් බවයි. මෙරට බැංකුවල විශ්වාසවන්ත ගනුදෙනුකරුවකු වන අබ්බාස් ගුලාම්ට ඒ බව දැනුම් දීමට බැංකු නිලධාරිහු සූදානම් වූහ. ඒ අනුව අබ්බාස් ගුලාම්ගේ ඝාතනයට පෙර දින බැංකු නිලධාරින් අබ්බාස් ගුලාම් අමතා කීවේ,

“සර්... කාරණාවක් කියන්න තියෙනවා... අපිට ඔබතුමා හමුවෙලයි ඒ දේ කියන්න ඕනෙ...“

“හරි මහත්මයා... එහෙනම් හෙට එන්න මගේ කාර්යාලයට... මාව හමුවෙන්න...“ අබ්බාස් ගුලාම් කීවේය.

බැංකු නිලධාරිහු පියා හමුවීමට එන බව සැල වූයේ අලි ගුලාම්ටය. අලි ගුලාම් බියට පත්වූයේය. ව්‍යාජ ඔප්පු සැකසීම ඇතුළු තමන් සිදු කළ තව තවත් මගඩි වැඩ පියාට සැලවුවහොත් මහත් අවුලක් සිදුවන බව අලි ගුලාම්ට සිහිපත් වූයේය. ඔහු ඒ බව කීවේ සිය මිතුරෙකුටයි.

ඒ අනුව බැංකු නිලධාරින් ඒමට පෙර පියාව ‘ඉවරයක්‘ කිරීමට සැලැසුමක් සිතුවේය. සිය ටයි පටිය ගෙන පියාගේ ගෙළ සිඳ ඝාතනය කිරීම සැලසුම විය. එහිදී ටයි පටියට යෙදිය යුතු ගෙළ සිරවන ගැටය සැකසීමට මිතුරා ඉදිරිපත් වුණේය.

“මං ටයි ගැටේ ගහලා දෙන්නම්... උඹ ගිහින් බෙල්ලට දාලා ඇදපන්... එතකොට ඉවරයි...“

එලෙස මිතුරාට කියා ටයි ගැටය සකසා ගත් අලි ගුලාම් බැංකු නිලධාරින් එන දින පියා කාර්යාලයට එන තෙක් මඟ රැක සිටියේය. විනාඩි කිහිපයක් ගතවෙද්දී පෙරවරුවේ පියා කාර්යාලයට පැමිණියේය. එසැණින් ආයතනයේ පිළිගැනීමේ නිලධාරිනිය හමුවට ගිය අලි ගුලාම්,

“කාවවත් තාත්තගෙ කාමරේට එවන්න එපා... තාත්තත් එක්ක මට ලිපි ලේඛන වගයක් හදන්න තියෙනවා...“ යැයි කීහ. අනතුරුව අලි, මිතුරා සමඟ පියාගේ කාර්යාල කාමරය අසලට ගියේය. මිතුරා කාමරයේ දොර අසල කිසිවෙක් එතැයි මඟ රැක සිටියේය. ගුලාම් පියා හමුවට ගොස් ටයි පටිය බෙල්ලට දමා ඇද්දා පමණි. ඒත් සමඟ අබ්බාස් ගුලාම් මරහඬ දී මියැදුණේය. එසැණින් ටයි පටිය මිතුරාටදී ඔහුව එම ස්ථානයෙන් පිටමං කිරීමට තරම් අලි ගුලාම් සූක්ෂ්ම වූයේය.

ඒත් සමඟ අලි ගුලාම් විලාප තැබුවේ ‘තාත්තට අමාරු‘ යැයි කියමිනි. එම ස්ථානයට කාර්යාලයේ සියල්ලෝම ක්ෂණිකවම එක් වූහ. සැණින් එම ගොඩනැඟිල්ලේම වෙනත් කාර්යාල කාමරයක සිටි අබ්බාස්ගේ වැඩිමහල් පුත්‍රයාද පැමිණියේය. පුතුන් දෙදෙනා විසින් පියා රෝහල්ගත කිරීමට උත්සුක වූයේය. ඒ අසල පෞද්ගලික රෝහලක් වුවත් අලි ගුලාම් පෙරැත්තය පෑවේ පියා ජාතික රෝහලද පසුකොට නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලකට රැගෙන යාමටයි. ඒ ඔහු පෙර සිට සැලැසුම් කළ සියල්ල අනුව සිදුවී ඇති බව විමර්ශනවලදී හෙළි වේ.

එම ඝාතනයෙන් වසර හතරකට පසු එනම් පසුගිය 11 වැනිදා අලි ගුලාම් බිරියගේ කෝට්ටේ නිවෙසේ සිටියදී සීඅයිඩී අත්අඩංගුවට පත්වූයේය. පසුගිය 12 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. එදින අලි ගුලාම් බන්ධනාගාරයට රැගෙන යද්දී ඔහුගේම හස්තයක් විසින් මාධ්‍යයටද බාධා කිරීම් සිදු වූයේ රූපගත කිරීම්ද වළකාලමිනි.

මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වූ ඉමහත් ගෞරවයට පත් ශබිර් අබ්බාස් ගුලාම් හුසේන්ගේ මරණය ස්වාභාවික මරණයක් ලෙස හුවා දක්වමින් වැළලී යාමට ඉඩ තිබුණත් සීඅයිඩී නිලධාරින්ගේ විමර්ශනයෙන් මේ වන විට සියල්ල හෙළි වී අවසානය. කොතෙක් සැලසුම් කළ ද දක්ෂ නිලධාරීන්ගේ කැපවීමෙන් අපරාධ හෙළිවීම වැළැක්විය නොහැක.

Comments